සාහිත්‍ය කලා හා සංස්කෘතික සටහන්
ශ්‍රී ලාංකික සෞන්දර්ය කලා විජිතයෙහි ප්‍රමුඛ අංග ලෙස හැඳින්වෙන සිනමාව හා නාට්‍ය කලාව අරබයා සුවිශිෂ්ට සම්ප්‍රදානයන් එක් කළා වූ ද එනිසාම ඒ ක්ෂේත්‍රයන් ස්වකීය නිර්මාණ පෞරුෂයෙන්ම දික්විජය කළ හැකිවූ ද ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා පිළිබඳ මේ සංක්ෂිප්ත සටහන ලියනු ලබන්නේ මේ වනවිටත් ඔහු ගිලන්ව සිටින බව ඇසූ පුවතින් උපන් කම්පිත හැඟීමෙන් ද යුතුවය. දින ගණනාවක්ම කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලද ධර්මසිරි දැන් මඳක් සුවපත්ව රෝහලෙන් පිටව ගොස් සිටියි. ධර්මසිරිගේ රංග කලා ප්‍රතිභාව මෙන්ම නිර්මාණ කුසලතාව පිළිබඳ මෙරටේ සහෘද හා රසික ප්‍රජාවට අමුතු හැඳින්වීම් අවශ්‍ය ද නොවේ. එහෙත් ඇත්ත වසයෙන්ම රටක පොදු ජනතාව සඳහා මෙන්ම සිය හෘදයාංගම කලා නිර්මාණ උදෙසා ජීවිතයම කැප කරන බොහෝ විද්වතුන්ගේ හා කලාකරුවන්ගේ ද ජීවිත සැඳෑව බෙහෙවින් දුක්මුසුය. ජනතාවගේ ආදරයට ගෞරවයට අමතරව බොහෝ සද්කලාවරුන්ට ඉතිරි වන්නේ කීර්ති ප්‍රශංසා හෝ බුහුමන් පමණි.
මෙරටේ ආණ්ඩුවල මෙන්ම පාලකයන්ගේ ද ස්වාභාවය කෙබඳුදැයි ජනතාව ද දනිති. කලාකරුවන්ට විද්වතුන්ට ලැබෙන විශේෂ අනුග්‍රහයක් ද නැත. පුද්ගල ආධ්‍යාත්මයෙහි නිධන්ව පවතින සෞන්දර්ය කලා ප්‍රතිභාව කෙබඳු අමිල සම්පතක් දැයි බොහෝ පාලකයෝ නොදනිති. සමාජ සංස්කෘතික දරිද්‍රතාව දුරලීමට කැපවන බොහෝ සද්කලාකරුවන්ගේ දසාව එයයි. මගේ මතකයට නැඟෙන්නේ සුවිශිෂ්ට කලා පෞරුෂයක් වූ සංගීතඥ සුනිල් සාන්තයන්ය. එකල පැවති ගුවන් විදුලිය සමග තම කලාවේ නිදහස වෙනුවනේ සටන් වැදුණු ඔවුන් කිසිදු පාලකයකු අබියස නොනැමී වෙතත් දුෂ්කර වෘත්තිවලින් සොච්චමක් උපයා දිවි රැකගත් අයුරු ද ඒ කලා ඉතිහාසය තුළ සටහන්ව තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය ද එදා මේ අසාමාන්‍ය සංගීත ප්‍රතිභාවට සැලකුවේ නැත.
මා මේ අවධාරණය කළේ ධර්මසිරි බණ්ඩාරනායක ද එබඳු අභීත හා අදීන කලා පෞරුෂයක සාඩම්බර හිමිකරුවකු බව සිහිවීමත් ඉන් ලද කම්පනයත් නිසාය. මෙරටේ කලාව මෙන්ම කලාකරුවා ද සරණාගත තත්ත්වයකට වැටී තිබීමේ දුර්දසාව ගැන ධර්මසිරි ද බොහෝවිට චෝදනා, විවේචන කර තිබේ. සමාජ අසාධාරණය, දූෂිත දේශපාලනඥයන්ගේ මර්දනය පිළිබඳ ඔහුගේ නාට්‍ය නිර්මාණවල ප්‍රබුද්ධ ඇඟවීම් ද අප්‍රමාණව දැකගත හැකිය. අසූව දසකයේ රාජ්‍ය භීෂණ අඳුරින් රටම වෙළා ගනිද්දී ධර්මසිරි බණ්ඩාරනායක ඒ භීෂණ ආධිපත්‍යයට අභියෝග කිරීමට තරම් නිර්භය විය. ඒ ධවල භීෂණ (1988) නාට්‍යය වේදිකාගත කරමින්ය. ධවල භීෂණ ජගත් කීර්තිමත් කලාකරුවූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක සිංහල පරිවර්තනය විය.
බ්‍රෙෂ්ට්ගේ නාට්‍යය හිට්ලර්ගේ ආඥාදායකත්වයට එරෙහි ප්‍රබල ප්‍රකාශනයක් ලෙස ගෞරවයට පාත්‍ර වූවකි. අර්තුරෝ උයී යන පුද්ගල නාමයකින් බ්‍රෙෂ්ට් සිය නාට්‍යය හඳුන්වා තිබුණි. ඔහු දූෂිත මැරයෙකි. මේ මැරයා ෆැසිස්ට් වාදයේ සංකේතයකි. දැඩි ආඥාදායක හිට්ලර් මැරයකු ලෙස දැක්වූ බ්‍රෙෂ්ට් කුරිරු පාලකයන්ගේ නිර්දය ස්වරූපයත් ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරත් පිළිබඳ ප්‍රේක්ෂකයා ඥානනය කිරීමට එය යොදාගත්තේය. ධවල භීෂණය එදා පැවති පාලකයන්ගේ අමන විලාසයට ද සරදම් කළ අයුරු අපට මේ මොහොතේදීත් සිහියට නැඟෙයි. අර්තුරෝ උයිගේ චරිතය නිරූපණය කිරීමට රංග ශිල්පියකු යොදා ගැනීම පවා එදා අසීරු බව ධර්මසිරි පවසා තිබුණි. එයට හේතුවූයේ ඒ මැර චරිතය එවක කිසියම් දේශපාලන චරිතයක් සමග සමාන කර තිබීමය. කුමක් වුවත් යක්ෂා ගමනය නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන කීපයක් ද ලැබුණි. වසරේ හොඳම නිළිය වූයේ එහි රඟපෑ කෞශල්‍යා ප්‍රනාන්දුය. ධර්මසිරිට හොඳම පරිවර්තන අධ්‍යක්ෂ සම්මානය ලැබුණි.
කෙසේ හෝ මේ වකවානුව වනවිට විශාල වසයෙන් රාජ්‍ය ඇගැයුමට ලක්වූයේ නිහාල් සිල්වාගේ සාජන්ට් නල්ලතම්බිය. එහෙත් රාජ්‍ය නාට්‍ය උලෙළේ දී එය ප්‍රතික්ෂේප වූ අයුරු ද අපට මතකය. පාලකයන්ගේ පැසසුමට ලක් වුවද නල්ලතම්බි ජනප්‍රිය නාට්‍යයක් විනා හරවත් – ගැඹුරු නාට්‍යයක් ලෙස ප්‍රේක්ෂක හා විචාරක ඇගැයීමට ලක්වූයේ ද නැත. මේ නිසාම නිහාල් සිල්වා පුන්තිලා නමින් නාට්‍යයක් නිර්මාණය කර පවසා සිටියේ තමන් උපයාගත් මුදලින් පුන්තිලා රඟ දක්වන බවය. එහෙත් එය ද සාර්ථක නිෂ්පාදනයක් නොවීය.
මේ වනවිට කලා ක්ෂේත්‍රවල තවත් විවාදයක් ද විය. ඒ රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා ආණ්ඩුව බහුජාතික සමාගමක අනුග්‍රහය ලබාගැනීම පිළිබඳවය. එහිදී ධර්මසිරි නියෝජනය කළේ බහුජාතික සමාගම්වලට කලාව යටත් නොවිය යුතුය යන මතවාදයයි. එහි ප්‍රතිඵලයක් ලෙස යක්ෂා ගමනය සඳහා හිමි වූ මුදල් ප්‍රතික්ෂේප කිරීමට ද ධර්මසිරි අභීත විය. යක්ෂා ගමනයට හොඳම නිළිය සම්මානය දිනා දුන් අද ප්‍රකට නාට්‍ය ශිල්පිනියක ලෙස සිටින කෞශල්‍යා ප්‍රනාන්දුගේ මෙන්ම ධර්මසිරිගේ එම ප්‍රතිචාර සම්බන්ධයෙන් විවිධ ඇගයීම් මෙන්ම ප්‍රශංසාවන් ද සිදුවූ අයුරු අපට ද මතකය. මේ පිළිබඳව ද සමහරුන්ට විවේචන තිබුණි. ඔවුන්ට අනුව ජනතාව සූරාකමින් වැඩෙන ධනපතියන්ගෙන් වුවද එබඳු ප්‍රදානයන් ලැබීම වරදක් නොවේ. එහෙත් ධර්මසිරිගේ ස්ථාවරය වූවේ කලාව මුදලට වෙන්දේසි නොවිය යුතු බවත් ආණ්ඩුවකට එබඳු මූල්‍ය අනුග්‍රහයක්වත් කළ නොහැකි නම් පාලකයන් ලැජ්ජා විය යුතු බවය.
ධර්මසිරිගේ තවත් නාට්‍යයක් වූ මකරාක්ෂයා ද පාලකයන්ගේ අමන ක්‍රියාකාරකම්වලට නිර්දය ලෙස ප්‍රතිචාර දැක්වූවකි. තුන් හිස් මකරා සහ පාලක පන්තියේ ප්‍රබල චරිත අනන්‍ය වන බව දුටු ප්‍රේක්ෂකයෝ ද මකරාක්ෂයා හදවතින්ම වැලඳ ගත්හ. ප්‍රේක්ෂකයන් රඟහලින් පිටවූයේ ප්‍රබුද්ධ මනසකින් යුතුවය. මෙසේ අවධාරණය වන්නේ ධර්මසිරි නිවැරදි සමාජ දේශපාලන විඥානයකින් කලාව භාවිත කළ බවය. කලාකරුවා ජනතාවට යථාර්ථ ඥානය සම්පාදනය කිරීමේ වගකීම ඉටු කළ යුතුය යන්න ඔහු පිළිගෙන තිබුණි. කලාව ඉතිහාසයට වඩා බැරෑරුම් වනු පමණක් නොව දාර්ශනික ද වන බව ඇරිස්ටෝටල්ගේ ද අවධාරණයයි.
ධර්මසිරිගේ සිනමා භාවිතය ගැන ද මෙහිදී සඳහනක් කළ යුතුය. ඔහු සිනමාවේදී වඩාත් රැඩිකල් නොවූ බව කෙනකුට පෙනී යා හැකිය. ඔහු රංගනයෙන් දායක වූ බක්මහ දීගේ (දයානන්ද ගුණවර්ධන) වැනි චිත්‍රපටයක් සරල හාස්‍ය දනවන්නක් බව සමහරු කියති. එහෙත් ඒ චිත්‍රපටයේ වැඩවසම් රදළ පන්තියක හැසිරීම්වල නොගැඹුරු ද පෙන්වා දෙයි. ඒ හැටේ දසකය වැනි දසක හයකට නොඅඩු පසුබිමක මෙරටේ ප්‍රභූ පන්තිය තුළ සිදුවන ජීවිත චර්යාවෙන් බිඳක් එහි අපට දැකගත හැකිය. සයිමන් නවගත්තේමගේ ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයට නැඟූ ධර්මසිරි එකල ද පැවති ලිංගික සූරාකෑම්, සුළු මුදලාලි පෙළැන්තියේ අමන හැසිරීම් වෙත ප්‍රේක්ෂක අවධානය යොමු කරවයි. සුද්දි – රොමියල් හා ධනපති මුදලාලි පෙළැන්තිය පිළිබඳ සිනමාත්මක කියවීමක් එහිදී අපට දැකගත හැකිය. තුන් වෙනි යාමය, හංසවිල, බවදුක ආදී සිනමා නිර්මාණවලින් ධර්මසිරි මෙරටේ ප්‍රබුද්ධ සිනමාකරුවන්ගේ සමාගමට ඇතුළත් වී සිටියි. මේවා අතර තුන්වෙනි යාමය පර්යේෂණාත්මක සිනමා කෘතියක් මෙන්ම විරල අත්දැකීමකි. මේවා ගැන සැකෙවින් හෝ දැක්වීමට මෙම ලිපිය තුළ අවකාශ මඳය. ඇත්ත වසයෙන්ම මෙම කුඩා ලිපියේ අරමුණ වූයේ ඒ සියලු නිර්මාණ පිළිබඳ විමර්ශනයක් නොව, එවන් විශිෂ්ට සම්ප්‍රදායක් නාට්‍ය කලාවටත් සිනමාවටත් එක් කළ සුවිශේෂ කලා පෞරුෂයක් පිළිබඳ ආවර්ජනයක් කිරීමය. එබඳු කලාකරුවකුගේ අනාරක්ෂිත ජීවිත සැඳෑව පිළිබඳව සංස්කෘතික කලා නිලබල අවධානය යොමු කරවීමටය.
මේ සටහන ආරම්භයේදී පැවසූ පරිදිම මෙරටේ කලාකරුවන් කෙරෙහි දක්වන රාජ්‍ය අවධානය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. පාලකයන් හා අදාළ නිලබල බොහෝවිට විද්වතුන්, කලාකරුවන් කෙරෙහි අවධානය යොමු කරන්නෙත් ඇගයුම් පැසසුම් සිදු කරන්නෙත් පියවි ඇසට බව ද අපි දනිමු. එහෙත් වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ධර්මසිරි පිළිබඳ පුවත සැල වූ සැණින්ම වහාම මැදිහත් වී කටයුතු කළ බව ද වාර්තා විය. එය උතුම් මානුෂීය ප්‍රතිචාරයක් මෙන්ම මෙරටේ කලාකරුවන් දිරිගන්වනු ලබන ප්‍රතිචාරයක් බව ද ප්‍රශංසාත්මකව සඳහන් කළ යුතුය. ඇමැතිවරයාගේ එම ප්‍රතිචාරය ඔහුගේ ශාස්ත්‍රාලීය පසුබිමත් කලා රසඥතාවත් පිළිබඳ ලකුණක් ලෙස ද අපි දකිමු. එය ධර්මසිරිගේ ගිලන් කයට නොව ඔහුගේ කලා මෙහෙවරට දැක්වූ ප්‍රතිචාරයක් බව ද නිසැකය.
ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන්ට නිදුක් නීරෝගී බවත් චිර ජීවනයත් පතමු. ඔබෙන් රස හව් දැන විඳගත් සුවහසක් රසික ප්‍රජාව ද මෙහිදී ඔබ අත්නොහැර සිටින බව ද නිසැකය.
ගාමිණි සුමනසේකර