රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත ” (Green Channel) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ගුවන් මගීන් 06 දෙනෙකු 19 දින ගුවන් තොටුපොළ රේගු නිලධාරී සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතරින් සිව් දෙනෙකු පිරිමි ගුවන් මගීන් වන අතර ඉතිරි දෙදෙනා කාන්තා ගුවන් මගීන් වේ. ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකු විදේශීය ගුවන් මගී කාන්තාවෝය. ඔවුන් සියලු දෙනා ඩුබායි, සාජා සහ බැංකොක් යන ගුවන් තොටුපොළවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 420 ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් සියලුම දෙනා අත් අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
කටුනායක – ටී.කේ.ජී. කපිල