(අමුඩය බේරා ගැනීමේ අවසන් අවස්ථාව)
මැදපෙරදිග යුද්ධයක් දිගින් දිගටම ඇදී ගිය විට අප පත්වන තත්ත්වය ගැන ඊයේ මේ තීරුව ඔස්සේ අපි ඔබට පැවැසුවෙමු. ඒ අනුව දැනට ලෝකයේ පවතින ප්‍රමුඛ යුද තත්ත්වයන් ඉදිරිපිට ලංකාව වැටී තිබෙන්නේ ඉතාම අසරණ තැනකට ය. ලෝකයේ තිරිඟු සහ ඉරිඟු වැඩියෙන්ම නිෂ්පාදනය කරන රටක් වන්නේ යුක්රේනය යි. රුසියාව සහ යුක්රේනය යුද වැදීම නිසා ලෝක වෙළෙඳපොළේ තිරිඟු සහ බඩඉරිඟු හිඟයක් හටගෙන තිබේ. එහෙත් යුක්රේන් – රුසියන් යුද්ධය පටන්ගත් සමයේ මේ රට පාලනය කළ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් අද මේ රට පාලනය කරන අනුර දිසානායකගේ ආණ්ඩුවත් තිරිඟු පිටි සහ බඩඉරිඟු හිඟය රටට දැනෙන්නට ඉඩ දී නැත. හැබැයි මෙය දිගුකාලීනව කළ නොහැක. මේ යුදමය තත්ත්වයන් සදාකාලිකවම පවතින බවක් ලෝක වෙළෙඳපොළට හැඟුණොත් බඩු මිල ඉහළ යන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අහසට මිසයිල විදින වේගයෙනි. ඉන්දු-පකිස්තාන් යුද්ධය දිගටම තිබුණේ නම් එයින් ලංකාවට විය හැකි හානිය සුළුපටු නොවේ. මේ රටවල් දෙකම අපේ මිතුරෝ ය. ඒ නිසා යුද්ධය වෙනුවෙන් මේ පාර්ශ්ව දෙක අපෙන් උදව්වක් ඉල්ලුවොත් ඒ දෙගොල්ලටම උදව් කිරීමට අපට සිදුවේ. අප එසේ නොකළොත් අපට සිදුවන්නේ දෙපැත්තෙන්ම කන්නට ය. මැදපෙරදිග යුද්ධය තව දුරදිග ගියොත් අමුතෙල් බැරලය ඩොලර් පන්සීය ඉක්මවන බව අපි අවස්ථා කිහිපයකදීම කීවෙමු. එය එසේම සිදුවෙනවා ඇත.
බුදුන් වහන්සේ දේශනා කළ පරිදි යුද්ධයක් හට නොගැනීමට නම් එක්කෝ යුද්ධයට සූදානම් වන පාර්ශ්ව දෙකම නිරායුධ විය යුතුය. වෛරයට වෛරය නිමා කළ යුතුය. නොඑසේ නම් එම පාර්ශ්ව දෙකම එක තරමට සන්නද්ධ විය යුතුය. එසේ වූ විට කවුරුත් යුද නොකරති. දැනට ලෝකයේ තිබෙන නරකම තත්ත්වය වන්නේ දියුණු රටවල් වැඩිහරියක් තමන්ගේ යුද ශක්තිය ගැන කිසිදු තක්සේරුවකින් තොරව යුද්ධයට යෑමය. පිස්තෝලයක් සහ තුවක්කුවක් තිබෙන ගෙදරකට කඩුවක් අතින් ගෙන පැනීමෙන් කඩුව දරන්නාට සිදුවන්නේ ස්ථිර වශයෙන්ම වෙඩි කන්නට ය. පිස්තෝලයක් ඇති තැනකට යා යුත්තේ පිස්තෝලයක් රැගෙන ය. ඉරානය සමග යුද වැදීමේ දී ඉරානය සතු යුද බලය සහ පිරිස් බලය ගැන ඊශ්‍රායලයට කිසිදු තක්සේරුවක් නොතිබූ බව අපට පෙනී යයි. මේ නිසා අප කල්පනා කළේ ඊශ්‍රායලය මිසයිල දෙකක් ගසන විට ඉරානය යටත්වනු ඇති බව ය. එහෙත් අද ඉතා නපුරු තත්ත්වයකට මුහුණ දීමට ඊශ්‍රායලයට සිදුවී තිබේ. එරට සතු ප්‍රතිමිසයිල තොග අවසන් වෙමින් පවතී. මේ ප්‍රතිමිසයිලයක් ඩොලර් මිලියන හතරක් හෝ පහක් මිල වෙයි. ඉරානය යවන මිසයිල ඩොලර් දසදහසක්වත් මිල නැත. මිසයිලයක් සෑදීමේ දී ඔවුන් වැඩි මුදලක් වැය කරන්නේ මිසයිලයේ රොකට් එන්ජිමටත් එම මිසයිලයේ මඟ පෙන්වීමේ පද්ධතියටත් පමණි. ඔවුන් මිසයිල තුළට අන්තර්ගත කරන පුපුරන ද්‍රව්‍ය ඉතාම ලාභදායක වන අතර, මිලදී ගැනීමට ද ඕනෑ තරම් තිබේ. මේ මිසයිල ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නැත. ඉරානයට ජාත්‍යන්තර ප්‍රමිතියකින් වැඩක් ද නැත. ඉරානය මෙවැනි මිසයිලයක් ඊශ්‍රායලයට එවන විට එම මිසයිලය අහසේදීම පිපිරවීම සඳහා ප්‍රතිමිසයිල පහක් හෝ දහයක් යැවිය යුතු ය. එබැවින් ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් දෙක කියන පරිදි තව සතියක් පමණ යන විට ඊශ්‍රායලයේ ප්‍රතිමිසයිල තොගය අවසන් වෙයි. ඇමෙරිකාවට ද මෙහිදී ඊශ්‍රායලයට උදව් කිරීමට නොහැක. ඇමෙරිකාව, යුක්රේන් යුද්ධය පටන්ගත් අවස්ථාවේ දී එරටට විශාල අවි තොග ලබාදුන්නේ ය. එම අවස්ථාවේ දී ඇමෙරිකාවේ ජනාධිපති වූයේ ජෝ බයිඩන් ය. මෙම ආයුධවලින් සමහරක් දෙන ලද්දේ ආපසු ඇමෙරිකාවට භාරදීමේ පොරොන්දුව මතය. ට්‍රම්ප් සහ යුක්රේනය අතර තිබෙන නොමනාපය නිසා මේ ආයුධ දැන්ම ආපසු ලබාගැනීමට ද නොහැක. මේ මොහොතේ දී ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට කළ හැකිව ඇත්තේ බන්කර් බස්ටර් මිසයිලවලින් ඉරානයට පහරදීම පමණි. එහෙත් මේ මිසයිලය බන්කර්වලට පහරදීමට මිස වෙනත් ඉලක්කවලට පහරදීමට සුදුසු නැත. එසේම සතුරු රටවලින් එන මිසයිල මැඬපැවැත්වීම සඳහා ඊශ්‍රායලය විසින් තම අහසේ ස්ථානගත කර ඇති අයන් ඩෝම් නමැති මිසයිල නාශක උපක්‍රමය ද ඉරාන මිසයිල ඉදිරියේදී වැඩ කරන්නේ නැත. මෙය සමාන වන්නේ ගමේ පෙරන කසිප්පු සහ ස්කොට්ලන්තයේ මිල අධික විස්කි අතර පවත්නා තරගයට සමාන තත්ත්වයකි.
2014 දී ද ඊශ්‍රායලය මෙවැනිම තත්ත්වයකට පත් විය. ලෙබනනයේ හමාස් සංවිධානය සමග ඔවුන් යුද්ධයක් ආරම්භ කළ අතර ටික දිනකින් ඊශ්‍රායලයේ මිසයිල ඉවර විය. එවිට ඊශ්‍රායලය කළේ හමාස් සංවිධානය සමග සටන් විරාමයකට පිවිසීම ය. කොටි සංවිධානය ද ප්‍රේමදාස ආණ්ඩුව පැවැති සමයේ දී මෙයම සිදු කළේය. ඔවුන්ගේ ආයුධ ඉවරවීගෙන එන විට ඔවුන් ලංකා ආණ්ඩුවෙන් සටන් විරාමයක් ඉල්ලා ගත්තේ ය.
උතුරු-නැඟෙනහිර බංකර් සෑදීමට සිමෙන්ති ගෙන්වා ගන්නා ලද්දේත් එල්.ටී.ටී.ඊ. ගුවන් හමුදාව ගොඩනන්වන ලද්දේත් පිටරටවලින් ආයුධ ගෙන්වාගෙන අවසන් ඊළාම් යුද්ධයට එල්.ටී.ටී.ඊ. ය සූදානම් වුණෙත් මේ වකවානුවේදී ය. මේ යුද උපක්‍රම සියල්ලම අද වන විට මුළු ලෝකයම දනී. ඒ නිසා සිය කැමැත්තෙන් මේ යුද්ධ සියල්ලම නවත්වා අමුඩය බේරා ගැනීම පමණක් යුදකාමී රටවල්වලට ඉතිරි වී ඇත.