මීට අවුරුදු 159කට පෙර එනම් 1866දී පිහිටුවන ලද කොළඹ නගර සභාව මේ වෙලාවේ ඇත්තේ එන්පීපී – ජේවීපී පාලනය යටතේය. එක අතකින් මෙය හොඳ ප්‍රවණතාවකි. අපගේ වැටහීමට අනුව රටේ ජනාධිපති සිටින පක්ෂයට පළාත් පාලන ආයතනවල ද පළාත් සභාවල ද බලය හිමිවිය යුතුය. මේ ආයතන විරුද්ධ පක්ෂවලට ගියවිට ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය ඒ ඒ ආයතන මට්ටමින් මරා ගන්නට පටන් ගනී. මෙයට බොහෝ කලකට පෙර චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටියදී ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ අගමැතිත්වයෙන් පිහිටුවනු ලැබීය. චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදය සහ රනිල්ගේ යූඑන්පී මතවාදය අතර පරස්පරයන් තිබේ. ඒ නිසා ආණ්ඩුව බලයට පත්වූ දා සිටම විධායකය සහ ව්‍යවස්ථාදායකය මරා ගන්නට පටන් ගත්තේය. ඉන්පසු ආණ්ඩුව පිහිටුවා අවුරුද්දක් ගතවන විට චන්ද්‍රිකා යූඑන්පී ආණ්ඩුවේ අමාත්‍යාංශ මාරු කරන්නට පටන් ගත්තාය. මේ නිසා ආරවුල දෙගුණ විය. ආණ්ඩුව පිහිටුවා අවුරුද්දක් ඉක්මවී තවත් ස්වල්ප කාලයක් ගතවූ සැණින් ජනාධිපති විසින් ආණ්ඩුව විසුරුවා හැර අලුත් ඡන්දයක් කැඳවන ලදී. මේ ඡන්දයේදී බලය හිමිවූයේ චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමටය. එතැන් සිට ගහමරා ගන්නේ නැති රාජ්‍ය පාලනයක් යළි පටන් ගත්තේය. කොළඹ නගර සභාව යනු පොඩි ආයතනයක් නොවේ. මෙය යටතේ හයලක්ෂයක ජනගහනයක් සිටිති. එසේම කොළඹ නගර සභාවේ දොළොස් දහසක පිරිසක් සේවය කරති. කොළඹ යනු මේ රටේ ආර්ථික මර්මස්ථානයයි. එය ප්‍රසිද්ධ වැසිකිළියක් ලෙස පෙනෙන්නට පටන් ගත්තොත් හා ගඳ ගසන්නට පටන් ගත්තොත් කිසිම කෙනකු ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැත. කොළඹ නගර සභාවේ අලුත් නගරාධිපතිනි වන ව්‍රායි කැලී බල්තසාර්ට මේ පුවත්පතේ සුබපැතුම් හිමි වේ. මෙතෙක් කලක් කොළඹ නගර සභාව පාලනය කරන විශේෂ කොමසාරිස් භද්‍රානි ජයවර්ධනට වඩා හොඳින් අලුත් නගරාධිපතිනිය කටයුතු කරනු ඇති බව අපගේ අදහස වේ. භද්‍රානි ජයවර්ධන කොළඹ නගර සභාව පාලනය කරනවිට හැම දෙයක් ගැනම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුව තිබිණ. ඒ නිසා ඇතැම් සේවාවන් කරගැනීමට නොහැකිව ඇය දුර්මුඛ වූවාය. එය ඇයගේ වරද නොව ක්‍රමයේ වරද ය. කොළඹ නගර සභාව ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට විවිධ පක්ෂවලට අතින් අතට මාරු වූ ආයතනයකි. ශ්‍රී ලංකා සහ යූඑන්පී යන පක්ෂ දෙක පසුගිය අවුරුදු 159 තුළ වැඩි කාලයක් මේ නගර සභාව පාලනය කළේය. එක්තරා අවස්ථාවකදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරයට ඉතාම සාමාන්‍ය පන්තියේ ත්‍රිරෝද රථ රියැදුරෙක් පත්විය. එය අහම්බයකි. හැකි පමණින් ජනතාවට සේවය කළ ඒ නගරාධිපතිතුමා අද කුඩා සිල්ලර කඩයක් කරගෙන යයි. ඔහු සත පහක් සොරකම් කර නැත. මේ නිසා විශාල තොග කඩයක් නොව ඉතාම කුඩා සිල්ලර කඩයක් කරන තත්ත්වයට ඔහු ඇදවැටිණ.
කොළඹ නගර සභා බල ප්‍රදේශය යනු විෂම ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ඇති භූමියකි. මෙහි එක් ප්‍රදේශයක කුඩු ඇසුරුම් කරනු ලැබේ. තවත් ප්‍රදේශයක කුඩු විකුණනු ලැබේ. තවත් ප්‍රදේශයක කොන්ත්‍රාත් මිනීමරුවෝ සිටිති. තවත් ප්‍රදේශයක් ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරයි. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ඉතා හොඳ ඉස්කෝල ඇත. ලංකාවේ හොඳම ඉස්කෝල ඇත්තේ එම ඉස්කෝල අතරය. ඒ අතර කිසිදු ප්‍රගතියක් නැති ඉතා දුප්පත් ඉස්කෝල ද මේ නගර සභාව තුළ තිබේ. හොඳම පාසල ළඟම පාසල යන්න පල් බොරුවකි. හොඳම පාසල ළඟින් පිහිටන්නේ ඉතාම කලාතුරකිනි. කොළඹ තිබෙන හොඳම පාසල්වලට සැතපුම් 30, 40 ගෙවාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණෙති. මේ නිසා කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම නගරාධිපති සතු වගකීමකි. එමෙන්ම මත්ද්‍රව්‍යවලට යොමුවූවෝ ද තවත් විවිධ පාදඩ චරිත ද ගණිකා වෘත්තියෙන් යැපෙන උදවිය ද කොළඹ නගරය පුරා සිටිති. මෙහිදී අපි ගණිකා වෘත්තිය අවතක්සේරු නොකරමු. ඇතැම් ගැහැනියක එම වෘත්තියේ යෙදෙන්නේ සිය දරුවන් නඩත්තු කරනු පිණිසය. එක්කෝ ඇගේ සැමියා කුඩුකාරයෙකි. නොඑසේ නම් ඔහු ඉන්නේ හිරේ ය. එසේත් නැත්නම් ගහකින් වැටී හෝ රථයකට යටවී ඔහුගේ අත පය කැඩිලාය. මේ නිසා ඔහුගේ බිරිඳට අවසානයේදී සිදුවන්නේ ලිංගික ශ්‍රමිකයකු වීමටය. මේ වෘත්තිය නිසා සමාජ රෝග පැතිරෙයි. අලුත් නගරාධිපතිනි බල්තසාර් මහත්මිය මේ තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කොළඹ කාකදූපත, කිඹුලාඇළ හෝ වෙනයම් පැල්පත් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන දෙමව්පියන්ගේ දරුවන් ඔවුනගේ පියාගේ මවගේ ජීවන වෘත්තියෙන් ඔබ්බට ගොස් රටේ විද්වත් වෘත්තිකයන් කළ යුතුය. එවැනි උදවිය රටේ අනාගතය භාරගන්නා තරමට දැනුමින් සන්නද්ධ කළ යුතුය. කළ යුතුම වෙනස එයයි.
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ තිබෙන ඊළඟ ප්‍රශ්නය වන්නේ වීථි දරුවන් සහ යාචකයන් පිළිබඳ ගැටලුවයි. යාචක වෘත්තිය යනු ප්‍රයිවට් ලිමිටඩ් එකක් වැනි බිස්නස් එකකි. එක යාචක මුදලාලි කෙනකු ළඟ වෘත්තියට යාචකයෝ සීයක් පමණ සිටිති. යාචකයන් එම රස්සාව කරන්නේ පඩියකටය. යාචක මුදලාලි ඔවුන්ට ඉඳුම් හිටුම් ද තුන්වේලටම කෑම ද දෙන අතර දවස අවසානයේදී සියලුම යාචකයන් තමන් හම්බ කළ මුළු කලෙක්ෂන් එකම යාචක මුදලාලිට දිය යුතුය. ඔහු එයින් දෛනික වැටුපක් යාචකයන්ට ගෙවයි. යාචකයකු ඇතැම් දවසක අඩු ආදායමක් ඉපයූව ද මුදලාලි එය නොතකා දවස් පඩිය ගෙවයි. කොළඹ නගරය තුළ කාටවත් ස්වාධීනව හිඟා කන්නට බැරිය. එසේ කරන්නට ගියොත් යාචක මුදලාලිලාගෙන් ඇසිඩ් පහරවල් කන්නට සිදුවේ. ඇතැම් මවුවරු දවසේ කුලියට කුඩා දරුවන් ගෙන ඔවුන්ට නිදිපෙති පොවා කරේ ගසාගෙන හිඟමනේ යෙදෙති. මේ දරුවෝ ලොකු වුණු පසු කිසිදු අධ්‍යාපනයක් නොලබා හිඟමනටම යොමුවෙති. දවසින් දවස යාචකත්වය ප්‍රසාරණය වෙයි. ලංකාවේ හැම මුල්ලකම යාචකයෝ සිටිති. ඇමරිකාවේ හැම නගරයකම යාචකයෝ සිටිති. යාචකත්වය යනු කිසියම් සංකල්පයකි. කොතරම් අතාර්කික සංකල්පයක් වුව ද එමගින් මුදල් ඉපයිය හැකි නිසා යාචකයෝ එම වෘත්තිය අත්නොහරිති.
පාරවල් කැඩුණු තැන් ද ජලාපවහනය හරියාකාරව සිදුනොවන තැන් ද ඉතා අපිරිසිදු ගඳගහන තැන් ද කොළඹ නගරය පුරා තිබේ. හරි වැස්සක් වැස්සොත් කොළඹ ජරා මඩගොඩක් වී ගඳගහන්නට පටන් ගනී. ඉදිරි අවුරුදු 5 තුළ කොළඹ නගරය පිරිසිදු කර දිව්‍යමය තලයක් බවට පත්කිරීමට නොහැකි බව අපි දනිමු. එහෙත් සුරපුරයක් වෙනුවට අඩුම ගණනේ පිරිසිදු නගරයක් බවටවත් කොළඹ නගරය පත් කළ යුතුය. කොළඹ යනු කප්පම් පුරයකි. සියලුම නරක දේ වැඩියෙන්ම සිදුවන මේ නගරය, රටේ වැඩියෙන්ම හොඳ නගරය බවට පත් කිරීම අලුත් නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ යුතුකම සහ වගකීමය. ඇයගේ හෘද සාක්ෂිය ද එයම බව අපගේ හැඟීමය.