සිරස ටීවී මගින් පැවැත්වූ ද වොයිස් ශ්‍රී ලංකා සීසන් 3 තරගය පසුගිය දා නිමාවට පත්වුණා. අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා වුණේ ගම්පොල ඉමේෂ් සංදීප. ද වොයිස් ශ්‍රී ලංකා තරගයේ පියවරෙන් පියවර ඔහු ඉදිරියට ආපු හැටි වගේම ඔහුගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කරන්න මීවිත අපි ඉමේෂ්ව මුණගැහුණා.
ඉමේෂ්, ද වොයිස් වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මම මුලින්ම සිරස ආයතනය මගින් පැවැත් වූ ගොට්ටැලන්ට් වැඩසටහනට සම්බන්ධ වුණා. ඒකෙන් පස්සෙ තමයි ද වොයිස් ශ්‍රී ලංකා සීසන් 3 වැඩසටහනට අයැදුම්පතක් යොමු කරන්නෙ. ඒ අනුව ඔඩිෂන් එකකට සහභාගි වෙලා පියවරෙන් පියවර ඉදිරියට එනව.

අවසන් මහා තරගයේදි කිරුළ හිමිවෙන්නෙ ඔබට. ජයග්‍රහණය ගැන දැනෙන හැඟීම මොන වගේද?
අද වනවිට මේ සැබෑවෙලා තියෙන්නෙ අවුරුදු තුනහතරක් පුරාවට තිබුණ හීනයක්. මේ ජයග්‍රහණය පිටිපස්සෙ ලොකු මහන්සියක් වගේම ලොකු කැපකිරීමක් තියෙනව. ඒ වගේම මගෙ පිටිපස්සෙ ලොකු ටීම් එකක් ඉන්නව. විශේෂයෙන්ම මගේ මාමා අපේ රටේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුරංග ලක්මාල්.
ඉමේෂ්ගෙ විස්තර ටිකක් කියමු?
මගේ ගම ගම්පොල. පාසල් ගියේ ගම්පොල ජිනරාජ පිරිමි විද්‍යාලයට. අම්මා ගෘහනියක්. තාත්තා ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරනව. මට එක නංගි කෙනෙක් ඉන්නව.

පාසල් කාලයේදි විෂයයක් හැටියට සංගීතය හැදෑරුවාද?
පාසල් කාලයේදී මම සංගීතය හැදෑරුවා, නමුත් කවදාවත් වේදිකාවකට නැගල සිංදුවක් කියල නැහැ.
ඉමේෂ් කොළඹ ඇවිත් මොකද කළේ?
මම කොළඹ ඇවිත් අවුරුදු දෙකක් විතර කෝච් කෙනෙක් ළඟ වෝකල් ටේ්‍රනින් කළා. එහෙම කළේ වොයිස් වැඩසටහන ටාගට් කරල.
ගම්පොල ඉඳන් කොළඹ ආපු ගමනෙ අත්දැකීම් මොන වගේද?
මම සතියකට දවස් දෙකක් කොළඹ පන්ති එනව. නැගිටින්නෙ පාන්දර තුනට. එහෙම ආවත් මට කොළඹ නවතින්න තැනක් තිබුණෙ නැති නිසා හවසට ගෙදර යනව. ඒ යනකොටත් රෑ නවය දහය වෙනව. මේ විදිහට තමයි අවුරුදු දෙකක් ගෙවුණෙ.
මේ වැඩවලට ගෙදරින් ලැබුණ සහයෝගය?
ඇත්තටම සාර්ථකව මගේ වැඩටික කරගන්න පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මම කොළඹ එනකොට සංගීතය ගැන කිසිම දැනුමක් තිබුණෙ නැහැ වගේම අඩුම තරමින් සංගීත භාණ්ඩයක්වත් තිබුණෙ නැහැ. මේ අතර මගේ ලොකු තාත්ත තමයි මගේ සංගීත ගමන පටන්ගන්න අඩිතාලම දාල දුන්නෙ. මට මුල්ම සංගීත භාණ්ඩය ලැබුණෙත් ඔහුගෙන්.
දැන් සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්ද?
වෘත්තීය මට්ටමෙන් නැතත් යම්තාක් දුරට කී බෝඩ් වාදනය කරන්න හැකියාවක් තියෙනව.
ඔබ වැඩිපුරම ගායනා කළේ හින්දි ගීත?
ඔව්, එච්. ආර්. ජෝතිපාලයන්ගෙ ගීත කිහිපයක් හැරුණකොට තරගය පුරාවටම ගායනා කළේ හින්දි ගීත.
ඇයි එහෙම කළේ?
ඉන්දියන් ක්ලැසිකල්, හින්දුස්ථාන්, කර්නාටක වගේ මියුසික් මම ස්ටඩි කරන නිසා ඒ ආභාෂයෙන් තමයි හින්දි ගීත ගායනයට යොමු වුණේ.
කෝච් සුපුන් මොකද කිව්වෙ?
මගේ කෝච් සුපුන් පෙරේරා මේ වෙලාවෙ ආදරෙන් මතක් කරන්න ඕන. ඔහු තමයි මට හොඳම කමෙන්ට් එක දුන්නෙ. ඒ ගෝල්ඩන් වොයිස් කියන නමින්.
පටන්ගැන්මේදි අවසන් මහා තරගය සඳහා සහභාගි වෙනව කියන ඉලක්කයක් තිබුණද?
බ්ලයින්ඩ් එකට එද්දිනම් එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. තරගයෙන් තරගය ඉදිරියට එද්දි අවසන් මහා තරගයට සහභාගි වෙනව කියන හීනය තිබුණ. නමුත් ජයග්‍රාහකයා වෙනව කියල මම හිතුවෙ නැහැ.
ඔබ ගොට් ටැලන්ට් එකට ඉදිරිපත් වුණෙත් ගායනයෙන්?
ඔව්, ඒ තරගයේදී තමයි මම මුලින්ම වේදිකාවක ගීත ගායනා කළේ. එතැනදිත් මගේ ටාගට් එක වුණේ වොයිස් ශ්‍රී ලංකා තරගය.
මේ හැම උත්සාහයකින්ම ඔබේ බලාපොරොත්තුව වුණේ රියැලිටි කිරුළක් ජයග්‍රහණය කිරීමද?
ඔව්, ඇත්තටම මගේ බලාපොරොත්තුව වුණේ රියැලිටි කිරුළක් ජයග්‍රහණය කිරීම. මගේ ගම වන ගම්පොලට කිරුළ ගේනව කියන බලාපොරොත්තුව මට ඇති වුණේ මීට අවුරුදු තුනකට කලින්. ඒ වෙනුවෙන් දවසට පැය පහක් හයක් විතර පුහුණුවීම් කළා. අද ඒ මහන්සියේ ප්‍රතිඵල තියෙනව.
රියැලිටි තරගයට ඉදිරිපත් නොවුණා නම් ඉමේෂ් මොනව කරයිද?
රියැලිටි තරගයට ඉදිරිපත් නොවුණා නම් මම මෝටර් මැකෑනික් කාර්මික ශිල්පියෙක් විදිහට වැඩ කරයි.
මොනවද ඉමේෂ්ගෙ බලාපොරොත්තු?
මං වටා ඉන්න ෆෑන් බේස් එක වෙනුවෙන් මම යමක් කරන්න ඕන. ඒ වෙනුවෙන් ඔරිජිනල් ආටිස්ට් කෙනෙක්, එහෙමත් නැතිනම් සෝලෝ ආටිස්ට් කෙනෙක් හැටියට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
ඔබේ මාමා සුරංග ලක්මාල්ගෙන් ලැබුණෙ මොන වගේ සහයෝගයක්ද?
මගේ මාමා, ඔහුගේ යාළුවන් වන ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වගේ තවත් ගොඩක් දෙනෙක් ඉන්නව මට උදව් කරපු. මගේ මාමා සෝෂල් මීඩියා පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලබා දුන්නා.
මහේෂ් එදිරිසිංහ