වියදම් වාර්තා නොදුන් 2700 කට එරෙහිව විමර්ශන
පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ විපක්‍ෂයේ සභිකයන් 223 කගේ නම් මැතිවරණ කොමිසමට ලැබී නැතැයි එම කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (15දා) පැවැසීය.
මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් 2700ක් පමණ ආදායම් වියදම් වාර්තා කොමිසම වෙත පසුගිය සිකුරාදා (13දා) වන විටත් ලබාදී නැතැයි ද ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අදාළ පොලිස් ස්ථානවලට ලබාදී ඇති බවද රත්නායක මහතා කීය.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ගැසට් කිරීම සඳහා එවන ලෙස අදාළ පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කර ඇති බවත් කොමිසමට ලැබුණු සභිකයන් 104 කගේ නම් පසුගිය සිකුරාදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවත් ඒ මහතා පැවැසීය.
විපක්‍ෂය නියෝජනය කරන බොහෝ දේශපාලන පක්‍ෂ තුළ පවතින මත ගැටුම් මෙම නම් එවීම ප්‍රමාද වීමට හේතු වී ඇති බවට වාර්තා වේ.
චමින්ද සිල්වා