ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල 100ක්
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා දෙකකට ප්‍රහාර
ප්‍රහාරවලින් පසු ලෝක තෙල් මිල සියයට 14 කින් නඟී
ඉරානයේ පිහිටි ලොව විශාලතම ගෑස් නිධියටත් ඊශ්‍රායලය බෝම්බ හෙළයි
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරාන ඊශ්‍රායල ගැටුම කලාපයම උණුසුම් කරන මහා යුද්ධයක් බවට පත්ව තිබේ. යේමනයේ හූතී සන්නද්ධ කණ්ඩායම ඉරානය සමග එක්ව බැලස්ටික් මිසයිලවලින් ඊශ්‍රායලයට පහරදී තිබේ.
ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති මිසයිල ප්‍රහාර සියයකින් අවම වශයෙන් පුද්ගලයන් දස දෙනකු මියගොස් තවත් 200ක් දෙනකු තුවාල ලබා තිබේ. ප්‍රහාරවලින් ලාංකික කාන්තාවක ද සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා ඇත.
ඊශ්‍රායලය ටෙහෙරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගර ඉලක්ක කර ගනිමින් මිසයිල 100ක් එල්ල කර ඇති බවයි. ඉරාන ප්‍රහාරවලින් මධ්‍යම ටෙල් අවිව් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක් වන බැට් යම් නගරයේ ගොඩනැඟිලිවලට හානි සිදුව තිබේ. මිසයිල ප්‍රහාරයෙන් බැට් යම් නගරයේ ගොඩනැඟිල්ලකට සෘජුවම හානි සිදුවී ඇති ආකාරයත්, සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණි.
ඊශ්‍රායලය ටෙහෙරානයට ඈතින් පිහිටි ප්‍රදේශ වෙත පවා ප්‍රහාර එල්ල කළේය. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉස්ෆහාන් නගරයයි. මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් පතල් සහ විවිධ කර්මාන්ත ශාලා පිහිටි එරට දැවැන්ත න්‍යෂ්ටික යටිතල පහසුකම්වලින් සමන්විත නගරයකි.

එසේම ඉරානයේ පිහිටි ලොව විශාලතම ගෑස් නිධියට ද ඊශ්‍රායලය බෝම්බ හෙළා තිබේ. ඇමෙරිකාවට සහ රුසියාවට පසු ලොව තුන්වන විශාලතම ගෑස් නිෂ්පාදකයා ඉරානය වන අතර එහි වාර්ෂිකව ඝන මීටර් බිලියන 275 ක පමණ ගෑස් නිපදවයි. එය ගෝලීය නිෂ්පාදනයෙන් සියයට 6.5 ක් පමණ වේ. ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු සිකුරාදා ලෝක තෙල් මිල සියයට 14 කින් ඉහළ ගිය අතර තෙල් බැරලයක මිල ඩොලර් 73 දක්වා ඉහළ ගොස් තිබිණි.
ඊශ්‍රායලය ටෙහෙරානයේ ඉන්ධන ගබඩා දෙකකට පහර දුන් බව ඉරාන තෙල් අමාත්‍යාංශය ඉරිදා අලුයම නිවේදනය කර තිබිණි.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු සෙනසුරාදා ප්‍රකාශ කර තිබුණේ “අයතුල්ලාගේ පාලනයට අයත් සෑම ස්ථානයකටම, සෑම ඉලක්කයකටම අපි පහර දෙන්නෙමු” ඉතා ඉක්මනින්ම ඔබට ටෙහෙරානයේ අහසේ ඊශ්‍රයල ගුවන් යානා පෙනෙනු ඇත. අපි අයතුල්ලාගේ පාලනයට අයත් සෑම ඉලක්කයකටම පහර දෙන්නෙමු” යනුවෙනි.
මේ අතර ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය කැට්ස් සිය එක්ස් ගිණුමේ “ටෙහෙරානය ගිනි ගනිමින් තිබේ” යනුවෙන් සටහන් කර තිබුණි.