49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වුෂු ක්‍රීඩාව සඳහා මධ්‍යම පළාත නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් වුෂු තරගාවලිය පසුගියදා මහනුවර කුණ්ඩසාලේ දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.
මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලිය සඳහා සහභාගි වූ අතර මෙහිදී කාන්තා බර පන්ති දෙකක් හා පිරිමි බර පන්ති හයක් යටතේ තාඔලු හා සන්දා යන අංශයන්ගෙන් සුදුස්සන් තෝරා ගැනීම සිදුවිය. ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා 30 දෙනකු මෙහිදී සුදුසුකම් ලබා ගන්නා ලදී. එහිදී සන්දා ඉසව්ව නියෝජනය කිරීම සඳහා කාන්තා හා පිරිමි 16 දෙනකු සුදුසුකම් ලැබූ අතර තාඔලු අංශයෙන් කාන්තා හා පිරිමි 12 දෙනකු මෙහිදී සුදුසුකම් ලැබීය.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. යූ. නිශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර ජයග්‍රාහකයන් වෙත පදක්කම් හා සහතික පිරිනැමීමේ අවස්ථාවට ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. යූ. නිශාන්ත, මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි ලක්ෂ්මන් විජේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන