දියේ ගිලුණු අය බේරාගැනීමට කතුන් තිදෙනා වැවට පනී
දිඹුලාගල ඇල්ලේවැවෙහි 08දා උදෑසන 9.00 ට පමණ දිය නෑමට ගිය පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ සිට ඇල්ලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට 08 දින උදේ පැමිණි පිරිසකි. 08 දින උදේ පැමිණි ඔවුන් ගමන් මහන්සිය නිවා ගන්න දිය නෑමට ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ රැෆ්ටන් වත්ත, බංගලාවත්ත රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ලිහිණි පතිනිකා ද සිල්වා, කේ. මේනකා දර්ශනී, ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා, මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න යන අය බව ඒ සම්බන්ධ පරීක්‍ෂණ පවත්වන අරලගංවිල පොලිසිය පවසයි. මියගිය අයවලුන් අතර මව සහ දියණියක්ද වන බව පොලිසිය පවසයි. කොළඹගේ මේනකා සහ ගුනානන්ද වඩුගේ රුවන් යන අය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
ඇල්ලේවැව 332 ලිපිනයේ පදිංචි කේ. රංග ප්‍රියදර්ශන මහතාගේ ඥාති නිවසට ඔවුන් 08දා පැමිණීමෙන් අනතුරුව ඇල්ලේවැවෙහි දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බව අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

ඇල්ලේවැව වැවෙහි දිය නෑමට ගිය අවස්ථාවේදී පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලීමත් සමග ඔහු බේරා ගැනීම සඳහා මෙම කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති අතර එහිදී ඔවුන්ද දියේ ගිලී ඇති බව මූලික පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම අනතුරු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
දිඹුලාගල – ප්‍රසන්න සිල්වා , ඇලහැර නිශ්ශංක වෙලගෙදර සහ දෙහිඅත්තකණ්ඩියේ -රණතුංග