2014 දි කල් පැනපුවත් තිබිලා
හොර ලේබල් ගහලා විකුණනවාලු
රසායනික ද්‍රව්‍ය ගණනය කරන්න දින 3ක් ගතවෙයි
නියම වටිනාකම තවම ගණනය කර නෑ
නීති විරෝධී රසායනික ද්‍රව්‍යවර්ග තෝරන නිලධාරීන්
වසර ගණනාවක් පුරා දහස් ගණනක ගොවි ජනතාව රවටමින් ව්‍යාජ හා නීත්‍යානුකූල නොවන අයුරින් ගම්පොළ නගරයේ පවත්වාගෙන ගිය පොහොර හා පළිබෝධනාශක වෙළෙඳසලක් හා ගබඩාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් නීති විරෝධී කෘමිනාශක හා පොහොර තොගයක් සොයාගනු ලැබ ඇත.
ගුවන් හමුදා බුද්ධි තොරතුරු අනුව ගම්පොළ කඳවුරේ පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරී සහායෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු පළිබෝධ නාශක විමර්ශන නිලධාරීහු, පාරිභෝගික සේවා අධිකාරිය හා පොහොර ලේකම් කාර්යාංශ නිලධාරීහු මෙම වැටලීම කළහ.
ගම්පොළ නගරයේ නුවරවීදීයේ ඇති මෙම තොග ගබඩාව හා වෙළෙඳසල මහල් දෙකකින් සමන්විත අතර එම මහල් දෙකේ ම තිබී මෙම ව්‍යාජ පොහොර හා පළිබෝධනාශක වර්ග සොයාගනු ලැබීය.
පසුගිය පොහොර හිඟය සමග ගොවීන්ට නොමිලයේ ලබා දුන් දියර පොහොර වර්ග මෙම වෙළෙඳසලෙන් අලෙවි කරන බවට ලද තොරතුරු මත ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ එහි තොරතුරු රැස්කර තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම වෙළෙඳසලේ එවැනි නීත්‍යානුකූල නොවන භාණ්ඩ රැසක් ගොවීන්ට හොර රහසේ අලෙවි කරන බවය.
මේ තුළ පරිභෝජනයට ඉතා අහිතකර තහනම් වල්නාශක, අනෙකුත් අහිතකර තහනම් පළිබෝධනාශක, ලියාපදිංචි නොකළ රසායනික ද්‍රව්‍ය හා පොහොර තොග, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය මෙන්ම හඳුනා නොගත් පොහොර වර්ග හා පළිබෝධනාශක, මිනිස් භාවිතයට ඉතා විෂ රසායනික ද්‍රව්‍ය හා උග්‍ර විෂ කාණ්ඩයේ කෘෂිද්‍රව්‍ය තොග තිබී සොයාගනු ලැබීය.
නිත්‍යානුකූල නොවන මේ සියලු රසායනික ද්‍රව්‍ය එදිනෙදා අලෙවියට තබා ඇති නිත්‍යානුකූල පොහොර තොග අතර සඟවා තබා තිබී ඇත.
මෙම පොහොර ගබඩාවේ තිබී 2014 ආදී වසර දහයකට අධික කාලයකට පෙර කල් ඉකුත් වූ විවිධ පළිබෝධනාශක වර්ග තොග සොයාගනු ලැබූ අතර පාරිභෝගිකයන්ට ඒවා අලෙවි කිරීමේදී මොවුන් සකසා ඇති නව ලේබල් ඒ සඳහා අලවා විකිණීම සිදුකර තිබේ.
මෙම සොයා ගත් ද්‍රව්‍ය අතර මෙරට ලියාපදිංචිය තහනම් ඒ. එන්. යූ. 71 කාණ්ඩයේ වල්නාශක බෝතල් 310 ක් ,තවත් එවැනි දරුණු වල්නාශක බෝතල් එකසිය අසූ තුනක් ද සොයාගෙන තිබුණි.
මෙම ගබඩාවේ හා වෙළෙඳසලේ තිබූ රසායනික ද්‍රව්‍ය ගණනය කර වර්ග කිරීමට මෙම නිලධාරී කණ්ඩායම්වලට පුරා දින තුනක් ගත වුණි.
එහි නියමිත වටිනාකම තවමත් රැස් කරමින් සිටින බව එම නිලධාරීහු පවසති.
රැස් කර ගත් මෙම නීති විරෝධී තොග පිළිබඳව නිත්‍යානුකූල පියවර ගැනීමට ඒ ඒ අංශ විසින් පියවර ගැනීමට නියමිතය.
වෙළෙඳසලේ හිමිකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකෙරේ.
මෙම වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ මධ්‍යම පළාත් විමර්ශන නිලධාරීන් වන එස්.පී.එස්.ආරියදාස, ඒ.එම්.එස්. කුමාරදාස, මධ්‍යම පළාත් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.එම්.එස්. කරුණානායක, කෘෂිකර්ම උපදේශක කේ.ජී.එස්.පී. ගුණසේකර, ආර්.පී. ජයලත් ඇතුළු පළිබෝධනාශක විමර්ශන නිලධාරීහු ද පොලිස් විශේෂ කාර්ය බළකා ගම්පොළ කඳවුරේ
ස්ථානාධිපති නලින්ද උඩඅරඹ මහතා ඇතුළු නිලධාරීහු ද ගුවන් හමුදා බුද්ධි අනිලධාරීහු ද එක්ව සිටියහ.
ගම්පොළ -සුරංග දිල්හාන්