ලග්ගල තෝරපිටිය ඛෙත්තාරාම විහාරයේ බුදු මැඳුරේ කරඬුවක් තුළ තැන්පත් කර තිබූ රුපියල් 640,000ක් පමණ වටිනා මැණික් ගල් 4 සොරකම් කළ හිටපු නාවික හමුදා සෙබළකු සොරා ගත් මැණික් ගල් 4 සහ විදේශීය රටක නිෂ්පාදනය කළ බෝර 12 ගිනි අවියක් ද සමග මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඛෙත්තාරාම විහාරයේ දායකයකු බව පොලිසිය කියයි. පසුගිය දිනක විහාරයේ බුදු මැඳුරේ දොර කඩා ඇතුළු වී එහි කරඬුවක තැන්පත් කර තිබූ මැණික් ගල් 4 සොරකම් කර ඇති බව තෝරපිටිය ඛෙත්තාරාම විහාරයේ විහාරාධිපති හිමියන් විසින් ලග්ගල පොලිසියට පැමිණිලි කර තිබේ. පැමිණිල්ල ලැබුණ සැණින් පරීක්ෂණ පැවැත්වූ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකපිට තෝරපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු ළඟ තිබී ගංජා පැකට් 2 ක් අත්අඩංගුවට ගෙන ඇත. ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ සඟවා තිබුණු බෝර 12 ගිනි අවියක් ද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී තෝරපිටිය ඛෙත්තාරාම විහාරය ආසන්නයේ ඇති පැරණි ගොඩනැගිල්ලක් තුළ බුදු මැඳුරෙන් සොරාගත් මැණික් ගල් 4 සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක, මාතලේ පොලිස් අධිකාරි එස්.ඩී.එම්. පාරුක් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් හිංකෙන්ද මහතාගේ අධීක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක ඩී.එම්.ආර්.අයි. දමයන්ත, පොලිස් සැරයන් (44882) කරුණාතිලක, (57165) ජගත්, (57243) රණසිංහ, (76141) පොලිස් රියැදුරු මංජුල යන මහත්වරුන් මෙම වැටලීම සිදුකළහ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නාවුල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇලහැර නිශ්ශංක වෙලගෙදර