හැව්ලොක් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක සන්තකයේ තිබී රන් ආලේපිත ටී – 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත
බන්ධනාගාර ගතකර සිටින තමා ඇපමත මුදාහරින ලෙසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගොනුකර ඇති ඇප ඇයැදුම්පත සම්බන්ධයෙන් විභාගය ලබන 14 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (30දා) දින නියම කළේය.
එම ඇප අයැදුම්පත ඊයේ (30දා) කැඳවූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම ඇප අයැදුම්පත විභාගයට ගැනීමට ප්‍රමාණවත් තරම් කරුණු ඇති බවට නිගමනය කොට එම නියෝගය කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකාර දුමින්ද දිසානායක මහතාගේ සේවකයා මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදාහැර ඇති බැවින් ඔහු විසින් මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇති සාක්‍ෂි ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරුවරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය. නීතිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ එකී විමර්ශන සිදුකර ඇති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වාදෙමින් විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක