රට ජාතිය ආගම හා භාෂාව ඕනෑම රටක තම මව්බිමට ආදරය කරන මිනිසෙකුගේ හෘද වස්තුව හා සමානය. සිංහල භාෂාවට අද්විතීය සේවයක් ඉටු කළ ප්‍රාඥයින් අතර සිංහල ශබ්ද කෝෂයේ කතෘවරයාණන් ලෙස කටයුතු කළ පුංචි බණ්ඩාර සන්නස්ගල නාමය සදා බැබළේ. එතුමාගේ 110වන ජන්ම සමරුව පසුගිය ජුනි 15ට යෙදුණි. සන්නස්ගල මහතා බෙහෙවින් ආදරය කළ තම පාසල වූ පානදුර ශාන්ත ජෝන් විදුහලේ ආදී සිසු සංගමයේ 119වන සංවත්සර සභාව අද (ජූනි 29) ට යෙදී තිබීම ද විශේෂිත ය. එම අපූරු ඓතිහාසික බැඳීම හා විද්වත් යුග පුරුෂයකුගේ ශාස්ත්‍රීය භූමිකාව ගැන මතකය අවදි කිරීම ද ආස්වාදනීයය.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති 1915 ජුනි 15 වන දින ආචාර්ය පී. බී. සන්නස්ගල උපත ලැබුවේ ඌව පළාතේ පට්ටිපොල කඳු පාමුල පිහිටි අඹවෙල හි අඹගස්දෝවේගෙදර නම් සුන්දර ගම්මානයේ ය. ඌව පළාතෙන් බිහි වූ වඩාත්ම කීර්තිමත් පෙරදිග විද්වතා ලෙස ඔහුව විශේෂයෙන් සැලකේ.
ඔහු පවුලේ වැඩිමලා වූ අතර කුඩා කල සිටම විශිෂ්ට අධ්‍යාපනික දියුණුවක් ඇතිකර ගත්තේය. කෙසේ වෙතත්, ඔහු ජීවත් වූ එම ගමට විදුලිය, නළ ජලය හෝ මාර්ග නොතිබූ බැවින්, බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය විසින් පිහිටුවන ලද ප්‍රාදේශීය පාසලට සැතපුම් ගණනක් ඇවිදීමට අවශ්‍ය විය. එවකට හොඳින් සංවර්ධනය වූ පිරිවෙන් අධ්‍යාපනය තුළින් මුල්කාලීන අධ්‍යාපන අවස්ථා සැපයීමට දායක වූ ප්‍රමුඛ භික්ෂුවක් විසින් ඔහුගේ අධ්‍යයන හැකියාවන් හඳුනා ගන්නා ලදී. ඔහු තම පන්තියේ ඉහළම ස්ථානයෙන් පිරිවෙන් අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගනිමින් සම්මාන රාශියක් දිනා ගත්තේය. මේ තුළින්, ඔහු පාලි, සංස්කෘත සහ සිංහල වැනි පෙරදිග භාෂාවන් ගැඹුරින් අධ්‍යයනය කර විශිෂ්ටත්වයට ද පත් විය.
වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළත් වූ අතර එවකට මෙරට ප්‍රමුඛතම ඉංග්‍රීසි පාසලක් වූ එහි සිට හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තේය. සන්නස්ගල මහතාගේ ජීවිතයේ කැපී පෙනෙන කාල පරිච්ඡේදයක් ගත වූයේ මෙම පානදුර ප්‍රදේශය මූලික කරගෙනය. ශාන්ත ජෝන් පාසලේ අධ්‍යාපනය ලැබූ එම වකවානුව බ්‍රිතාන්‍ය අධ්‍යාපනය මුල් කරගත් කදිම දැනුම් ආයෝජනයක් විය.

ඉංග්‍රීසීන් මේ රටේ පාලනය භාර ගත් 18වන සියවසේ මුල්භාගයේදී ඔවුන්ගේ පාලනයට පොහොනා පිරිස් පුහුණු කරවාගැනීම සඳහා මේ රටේ ප්‍රධාන ස්ථානයන්හි ඉංග්‍රීසි පාසල් ඇරඹූහ. ඒවායේ ඉගෙනීම ලැබූ පිරිස් සමාජයේ උසස් වන අයුරු පෙනී යද්දී එම ඉංග්‍රීසි පාසල් අධ්‍යාපනය එක්තරා ක්‍රමයක ව්‍යාපාරයකට හැරී මිෂනාරීවරුන්ගේ පාලනයට අයත් විය. අනතුරුව යම් යම් හේතු මත පසුව ඒ පාසල් පෞද්ගලික ආයතන බවට ද පත් විණි. පාණදුරේ සාන්ත ජෝන් පාසල ද සිරිල් ජෑන්ස් මහතාට අයත් වූයේ එබඳු අවස්ථාවක යැයි සන්නස්ගල මහතාගේ වාර්තාවේ දක්වා තිබේ.
තවද 19 වන සියවස මැද භාගයේදී පමණ පාණදුරේ පැවති ආණ්ඩුවේ එකම ඉංග්‍රීසී පාසල වූයේ මෙය බව පෙනී යයි. ආණ්ඩුවෙන් මිෂනාරී ආයතනයකට අයත් වූ එම පාසල බොහෝ දුරට පිරිහී තිබූ අවස්ථාවක එහි ප්‍රධාන ගුරුවරයකු වශයෙන් පත්වූ සිරිල් ජෑන්ස් මහතා පසුව එම පාසල අයත් කරගෙන දියුණුවට පත්කොට තිබේ. ඒ කැපවීම නිසාම මෙරට එක් යුගයක දී ලංකාවේ පැවති අද්විතීය පාසල් දෙක තුන අතර පාණදුරේ සාන්ත ජෝන් විද්‍යාලය ද බැබළෙමින් තිබූ බව සන්නස්ගල මහතා විසින් පෙන්වා දේ. එය මෙරට පැවති බ්‍රිතාන්‍ය සමයේ අධ්‍යාපන ක්‍රමය ගැන දැකීමට හැකි කදිම දෘෂ්‍යාවලියක් බඳු ය.
පසුව එතුමා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (ගෞරව) ලබා ගත් අතර, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.
ඔහුගේ ලේඛන ජීවිතය ආරම්භ වූයේ ඔහුගේ උපාධි අපේක්ෂක අවධියේදී බව විශ්වාස කෙරේ, එසේම දිනමිණ, සිළුමිණ සහ අනෙකුත් සිංහල පුවත්පත් හා ප්‍රකාශන සඳහා ද දායක වී ඇත. ඔහු විවාහ වූයේ, දී දුම්බර නියෝජනය කරමින් ලංකා රාජ්‍ය කවුන්සිලයේ සාමාජිකාවක් ලෙස ප්‍රථම වරට 1931 ව්‍යවස්ථාදායකයට ඇතුළු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ නලිනි රත්නායක සමග ය. ආචාර්ය සන්නස්ගලගේ වෘත්තීය ජීවිතය 1947 දී ආරම්භ වූ අතර එයට මුල් ප්‍රකාශන කිහිපයක් ඇතුළත් වේ. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ සිංහල සාහිත්‍ය වංශය වන අතර එය තවමත් සිංහල සාහිත්‍යයේ සමස්ත ඉතිහාසය පිළිබඳව ලියන ලද එකම ග්‍රන්ථය ලෙස පවතී. මෙය වැදගත් ශාස්ත්‍රීය කෘතියක් සේම විද්වතුන් සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් ද වේ.
ඔහුගේ වෘත්තීය ජීවිතයේ පසුකාලීනව, ශබ්දකෝෂ විද්‍යාව හැදෑරීම ද විශේෂිත ය. නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් ශබ්දකෝෂ විද්‍යාව පිළිබඳ වැඩිදුර හැදෑරීමට කටයුතු කළේය. විශේෂයෙන් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ කාර්යාලය වැනි ලෝක ප්‍රසිද්ධ විද්වත් ආයතන ඔහු ගේ දැනුම විශද කිරීමට මහෝපකාරී වූ බව පෙනේ. තවද එතුමා 1950 ගණන්වල සිංහල ශබ්දකෝෂ ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇති අතර සිංහල ශබ්දකෝෂයේ කර්තෘවරයා ලෙසින් විශිෂ්ට කාර්යාවලියක් ද ඉටු කළේය.
නිශාන්ත චාමින්ද පීරිස්