ධීවර වරායවලට ශීතාගාර පහසුකම් ලබාදෙන්න – සජබ ජාතික ධීවර ලේකම්
නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. සුළඟේ වේගය ඉහළ යා හැකියි, මේ මොහොතේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන්න.
මේ පසුගිය දින කීපය පුරාවටම ධීවර ජනතාවගේ හද සසල කරවන පුවත්ය. මේ නිසාවෙන්ම ධීවර ජනතාව නිරන්තතරයෙන් රූපවාහිනිය දෙස දෑස් යොමු කර සිටින්නේ කොයි මොහොතේ ද අයහපත් කාලගුණ තත්ත්වය පහව යෑම විකාශය වන්නේද කියා.
එක් දින ධීවර යාත්‍රාකරුවන්, තෙප්පම්කරුවන් මේ ආකාරයට පීඩා විඳින්නන් වෙති. මහ මුහුදේ කැළඹීමෙන් නැගෙන්නා වූ අකාරුණික රළ පහරේ කලබලය කොයි මොහොතේ ද සමනය වන්නේද කියා බලාපොරොත්තු පොදි බැඳ ගෙන මහමුහුද වෙත නෙත් අයා බලා සිටීමට හැරෙන්නට ඔවුනට අන් කිසිවක් කළ නොහැකිය.
ඒ දවස වාරකන් හා වලාල සමය ඔවුන් හොඳින් හඳුනති.
නිශ්චිත කාලයට වාරකන් සමය නිමවන බව ඔවුහු දනිති. බටහිර මුහුදු තීරයේ ඇතැම් ධීවරයෝ වාරකන් සමයට නැඟෙනහිර මුහුදේ මසුන් මැරීම සඳහා කටයුතු කරති. ඒ යමක් කමක් කරගත හැකි අයය. නැත්තෝ සුසුම් හෙළමින් සිය ජීවිතේ ගැට ගසා ගන්නට විවිධ පැතිකඩ ඔස්සේ වෙර දරති. වාරකන් සමය නිම වීමට ඔන්න මෙන්න තිබියදී යළිත් ඔවුන් බටහිර මුහුදු වෙරළට පැමිණේ. මේ සංසිද්ධිය දැන් කළ නොහැක. ඒ වෙනදා මෙන් නිශ්චිත කාලයට, වෙලාවට මුහුදේ හැසිරීම සිදු නොවන නිසාය. කාලගුණයේ හැසිරීම් රටාව වෙනස්ය. වර්ෂාව සුළඟ හේතුවෙන් සක්‍රීය වන රළපෙළ ධීවරයාගේ ජීවිත අඩපණ කරති.
මේ ක්‍රියාවලිය අපේ රටේ පමණක් නොව වෙනත් රටවල ද පවතින්නකි. එහෙත් ඊට මුහුණ දීම සඳහා ඔවුන් සතුව විසඳුම් ඇත. එම රටවල වරායන්වල සහ වෙනත් සුදුසු ස්ථානවල ශීතාගාර ගබඩා පහසුකම් සලසා තිබේ. නමුත් අපේ රටේ වරායන්වල පවතින ශීතාගාර පහසුකම් තිබේද යන්න ප්‍රශ්නාර්ථයක්. එවැනි පහසුකම් තිබුණ ද අවම මට්ටමක පවතින බවද ධීවරයෝ පවසති.
රට වටේම මුහුද තිබෙන, ධීවර කර්මාන්තයෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ධීවර ජනතාවට ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පැවති රජයයන් කිසිදු අවධානයක් යොමුකර නැති බව ධීවර ජනතාව චෝදනා කරති. මේ ගැටලුවලට විසඳුම් ලැබීම සිහිනයක් බවයි ධීවර ක්‍ෂේත්‍රයේ නියැළෙන්නන් පෙන්වා දෙන්නේ.
පවතින තත්ත්වය පිළිබඳ ධීවර ජනතාව අපට කියන්නේ….
සුනිල් ප්‍රනාන්දු මහතා,
අපිට දුක හොඳට පුරුදුයි. අපි හම්බ කළොත් අපේ ජීවිත ගැට ගසා ගන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතුව අපි පීඩාවට පත් වෙද්දි ඇහැක් ඇරලා බැලන කෙනෙක් නෑ. ඒක තමයි ඇත්ත. සමහර වෙලාවට අපේ ඉල්ලීම් ඉල්ලලා ලේ රහ දැනෙනකම් කෑගැහුවත්, අහස උසට විරෝධය දක්වන පුවරු ඔසවා තැබුවත් පැවති කිසිම රජයක් අප දෙස බැලුවේ නෑ.
විරෝධතාවලදී අපව විසුරුවා හැරියේ මොකක් හරි පචයක් ගහල. තාවකාලික පැලැස්තර දාලා. දැන් බලන්න අද පවතින තත්ත්වය මාළු ගබඩා කරන්න ශීතාගාර පහසුකම් තිබුණ නම් අපිට මේ වගේ දුක් විඳින්න ඕන නැහැ.
මේක අපි කියන්නේ වත්මන් රජය මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කරල අපිට මේ තියෙන ප්‍රශ්නවලට පිළියමක් ලබා දෙන්න කියලා.

අයිරින් මැටිල්ඩා මහත්මිය
අපේ ප්‍රශ්න කියන්න ගියොත් කෙළවරක් නෑ. ඒ කිසිම දේකට පිළිතුරක් කිසිම රජයකින් අපිට ලැබුණේ නැහැ. ඇත්තෙන්ම මේ පවතින කාලගුණික තත්ත්වයට ධීවර ජනතාව කොයි ආකාරයට මුහුණ දෙන්නේ කියල විසඳුමක් ලබා දෙන්නවත් ඒගොල්ලෝ ගාව සැලසුම් තිබුණේ නැහැ. අපි එදා ඉඳන් කළේ අපි හම්බ කෙරුවා අපි කෑවා… අපෙන් රජයට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මීට වඩා රජය අවධානය යොමු කරන්න ඕන ධීවර ජනතාව නඟා සිටුවන්න. එතකොට තමයි අපිටත් රටටත් හොඳ කලදසාවක් යන්නේ. මේක තේරුම් ගන්න ඕන.
පවතින මෙම තත්ත්වය හමුවේ වයඹ මුහුදු තීරයට නැඟෙනහිර පළාතෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීමට කටයුතු කරති. එම මාළුවල මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක පවතින්නේ. හුරුල්ලා කිලෝ එක රුපියල් 1300 සිට 1400 දක්වා, බෝල්ලු, කුම්බලා රුපියල් 1200 යි 1300 යි. සාලයා සූඩයා 900 යි 800යි. කෙසේ වෙතත් මෙම මිල ගණන් යටතේ මාළු මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාවක් නැති බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව පාරිභෝගික ජනතාවගේ අදහස්
ආර්. ප්‍රසන්න මහතා
ඇත්තෙන්ම අද මාළු කෑල්ලක් කන්න බැරි තත්වෙට පත්වෙලා. ඒ තියෙන මාළුත් අයිස් ගහපුව දින ගණන් පරණ ඒවා. කන්න බැරි තත්ත්වයක තමා පවතින්නේ. කරවල මිලත් අධිකයි. අපි බලන් ඉන්නවා කවද්ද මේ තත්ත්වය නැතිවෙන්න කියලා.
පවතින මුහුදු මාළු හිඟය නිසා බොහෝ විට වැව්, කලපු ආශ්‍රිත මාළුවලට මේ දිනවල විශාල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් බොහෝ අතුරු මාර්ගවල පවා තෙප්පලි ඇතුළු මසුන් වර්ග විකිණීමට කටයුතු කරන අයුරු දක්නට ලැබේ.
පවතින ධීවර ක්‍ෂේත්‍රයේ අර්බුදය සම්බන්ධව විමසීමක් කළ අවස්ථාවේ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ධීවර ලේකම් නිරූක ප්‍රනාන්දු මහතා…
පසුගිය ජනාධිපතිවරණයේ අපේ පක්ෂයේ නායකතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව හමුවී කරුණු විමසීමේදී ඔවුනගේ පවතින ප්‍රධානම ගැටලුවක් වුණේ මේ වගේ කාලගුණික තත්ත්වයන් හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන්නේ කෙසේද යන්න.
ඒ අවස්ථාවෙ නායකතුමාගේ සැලසුම්වලින් දැඩි අවධානය යොමුකර තිබුණේ මාළු ගබඩා කරන්න අවශ්‍ය ශීතාගාර පහසුකම් සෑම ධීවර වරායකම ක්‍රියාත්මක කරන්න.
අද ඒ තත්ත්වයක් නොමැති වීමෙන් මොන තරම් ධීවර ජනතාව පීඩාවට පත්වෙලාද? කෙසේ වෙතත් වත්මන් රජය ධීවර ජනතාවගේ පවතින ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව වේදිකාවල හඬ නැඟුවා. නමුත් අද ඒවාට විසඳුම් ලබාදීම පේනතෙක් මානයකවත් නෑ.
අමරනන්ද විජේසේකර – මහවැව