මොනතරම් කලා නිර්මාණ කළත් අපි එක තැන…
2015 තාප්පවල සිතුවම් ඇඳීම පටන් ගත්තෙ මමයි…
දවස් එකහමාරකින් දඹ ගහක අලි මුහුණක් කැටයම් කළා…
වටිනාකම ලැබෙනකම් නිර්මාණ කරන්න ඕනෑ…
යකඩ මනමාලි ගීතයේ වචන මගෙ…
අපේ රටේ කලාකරුවන්ට බෙදන්නෙ හැඳි කිහිපයකින්…
බකමූණ දුෂ්කර ප්‍රදේශයකි. එහෙත් මිණි කැට උපදින, වගාවට සරු පොළොවක් සහිත සක්‍රීය පෙදෙසකි. වස්ගමුව මහ වන පෙත, නිල්ලෙන් සුදිලෙන කෙත් වතු, නිල් දියවර ගලා බසින පුළුල් ඇළ මාර්ග නෙත ගැටෙන විට ‘කැලේ වැද්දගෙ’ කලා ඇහැයෙන් ගම නිර්මාණය නොවීම ගැන මම පුදුම වීමි.
“මම ගමට ආදරෙයි… ඉස්කෝලෙ යන කාලෙ චිත්‍රයක් අඳින්න දුන්න හැටියෙ මම ඇන්දෙ අපේ ගම. අදටත් කලා නිර්මාණ කරන්න රට වටේ ගියත් මාසයකට දවස් කිහිපයක් ගමේ ඉන්න ඕනෑ. වස්ගමුව වන පෙත දෙසින් හමන සුළඟත් මට සැපක්…” ලී කැටයම්, බිත්ති සිතුවම්කරණය මෙන්ම ඉවතලන යකඩවලින් නිර්මාණ විශාල සංඛ්‍යාවක් කර ඇති සමන්ත කුමාර වෙනස්ම කලා ශිල්පියෙකි. වෙන අය යටතේ නිර්මාණයක් හෝ කිරීමට අකැමැති හේ, නිදහස් නිර්මාණකරුවෙකි. පාසල් කාලයේ සිටම කැටයම් කැපීමට, මඟුල් පෝරු, පිරිත් මණ්ඩප්ප, වෙසක් – පොසොන් උත්සවවලට පහන් කූඩු හා තොරණ නිර්මාණයට ගමේ ප්‍රසිද්ධියට පත්ව සිටි සමන්ත කුමාර සිදාදියට කලඑළි බසිනුයේ 2013 වර්ෂයේදී ය.
‘හබරණ සංචාරක හෝටලයක ලොබියේ අලියෙක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. මගෙ අදහසක් විදිහට අබලි යකඩවලින් තුන්පත් රෑනක් නිර්මාණය කළා. තුන්පත් රෑන දකින හුඟ දෙනෙක් හෝටලයෙන් මගෙ නම්බරය ඉල්ලගෙන කතා කරලා අගය කළා. නිතර අලි දැකීම, අලින්ට ළෙන්ගතුවීමත්, පුංචි සන්දියේ ඉඳල අලින්ගෙ රූප ඇඳීම, ඒ නිර්මාණය සාර්ථක කරගන්න පිටිවහලක් වුණා කියලා හිතෙනවා. ඒ වගේම වැඩිපුර මම ජීවත් වෙන්නෙ කැලෑවේ. කිසිම දවසක වන සතෙක්ගෙන් කරදරයක් වෙලා නෑ. සත්තු මට ළෙන්ගතුයි. මම සතුන්ට ආදරෙයි. ඇළට, දොළට, ගහට කොළට ළෙන්ගතුයි. කැලෑවට වෙලා නිදහසෙ ඉන්නකොට සිතුවිලි දෝරෙ ගලනවා. සොබාදහමට ළෙන්ගතුවීම හා එය විඳීම භාවනාවක්. කැලෑවේදී අසීමිත නිදහස් බවක් දැනෙන්නෙ සොබාදහමට ඇති ළෙන්ගතුකම නිසයි. ‘කැලෑ වැද්දා’, ‘තනි අලියා’ කියලා නම් පටබැඳෙන්නත් කැලෑ ජීවිතය හේතු වුණා. ‘තනි අලියා’ නම මට ගැම්මක්. ‘කැලේ වැද්දා’ බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒ නිසා ඒ නම් දෙකට මම ගොඩක් කැමැතියි. සංජීව ගායනා කරන ‘කැලේ වැද්දා’ ගීතයත් මගෙ සිතුවිල්ලක්. සංජීව මගෙ සිතුවිල්ලට ජීවය දුන්නා. කැලේ ඉන්නකොට නිතර තුන්පත් රෑන් ඇහැගැටෙන නිසා තුන්පත් රෑන නිර්මාණය කරන්න පහසු වුණා. ඒ නිර්මාණය දකින අය අදටත් මට කෝල් කරලා අගය කරනවා. ඒ දිරිගැන්වීමත් එක්ක පන්සල්වල චිත්‍ර අඳිමින් හිටිය මම මෙටල් ආර්ට්වලට පූර්ණ කාලය කැප කරන්න පටන් ගත්තා…” ලී කැටයමක් කරමින් සිටි සමන්ත එම වැඩේට යොමු විය.

බකමූණ, කිරිඔය හද්දපිටිසර ගම්මානයේ දුප්පත් පවුලක ඉපිද අතරගල්ලෑව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හේ, කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. සරසවි වරම් ලැබීමට ඔහු සමත් වී නැත. එහෙත් සමන්ත කුමාර දැන් කලාගාරයක් වැනි ය. මේ වන විට නිර්මාණ විශාල සංඛ්‍යාවක් කර ඇති ඔහු ප්‍රසිද්ධ ස්ථානවල, සංචාරක හෝටල්වල දැවැන්ත ‘මෙටල් ආර්ට්’ විස්සක් පමණ කර ඇත. උණවටුන ‘අරලියා’ බීච් හෝටල් පරිශ්‍රයේ අබලි යකඩ යොදාගෙන නිර්මාණය කර ඇති අඩි 45 ක් උස මොනරා ඔහු අතින් නිර්මාණය කර ඇති විශාලතම නිර්මාණයයි. එහෙත් මේ වන විට ඔහුගේ නිර්මාණ එකතුවේ ජනප්‍රියතම කලා කෘතිය ‘යකඩ මනමාලි’ ය. අබලි යකඩවලින් හැඩ කළ මනමාලිය අතිශය ජනප්‍රිය වී ඇත්තේ නිර්මාණකරණයත් සමග ඔහුගේ සිතේ ඇඳුණු සිතුවිලිවලට, ජනප්‍රිය ගායන ශිල්පී සංජීව ලෝන්ලියස් ‘අමු’ හැඩයට ගායනා කරන බැවිනි.
‘යකඩ මනමාලි’ නිර්මාණය කරගෙන යනකොට සිතට නැඟුණු සිතුවිලි සංජීවට කතා කරලා මම කිව්වා. යකඩ මනමාලි ගීතය ලියලා පද රචනය කරලා ගායනා කළේ සංජීව. උපරිමයෙන් කළා. හිතාගන්න බැරි විදිහට ජනප්‍රිය වුණා. ඒ වගේම ‘කැලේ වැද්දා’ ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණා. මගේ නම කොහේවත් නොකියවුණත් ඒ නිර්මාණවලට මම ආදරය කරනවා. මට ගීත ගායනා කරන්න බෑ. ඒත් ලස්සනට සින්දු ලියන්න පුළුවන්…”
පින්තූරයක් ගන්න කැප් එක ගලවමු ද? මම ඔහුගෙන් ඇසුවෙමි.
‘කැප් එක නම් ගලවන්නෙ නෑ. මේකත් මගෙ ආර්ට් එකක්…” හීන්දෑරි මුහුණත් තහඩුවේ ළෙන්ගතු සිනාවක් පහළ විය. කේඩෑරි ශරීර කූඩුව වැසුණු ඇඳුම, පැලඳුම චාම් ය. කතාව ද සංවරය.
රැවුලෙන් අරගලකරුවකුගේ ස්වරූපය දිස් වුවද ජීවන අරගලය හැරුණුවිට ඔහු කරන අරගලය නිර්මාණකරණය පමණි. එහෙත් 2015 වර්ෂයේදී ප්‍රථම වතාවට තාප්පවල සිතුවම් ඇඳ ඇත්තේ ඔහු ය.
“කිරිල්ලවල හන්දියේ පන්සලේ තාප්පයේ පෙරහැරක් ඇන්දා. ඒක දැකලා ගොඩක් දෙනෙක් මට කියලා නිවෙස් බිත්තිවල, තාප්පවල සිතුවම් ඇඳගත්තා. අන්තිමේ ‘වෝල් ආර්ට්’ රැල්ලක් බවට පත් වුණා. ඒ රැල්ල දිහා බලාගෙන ඉඳලා මම නිරාමිස සතුටක් වින්දා. දැන් ඒ රැලි ඉවරයි. ඒත් අදටත් මට කියලා තාප්පවල චිත්‍ර ඇඳගන්නා අය ඉන්නවා. සංචාරක හෝටල්වල වෝල් ආර්ට් ගොඩක් කරනවා. ඒ වගේම කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ අමතක නොවන නිර්මාණයක් කළා. දවසක් ඒ සේනාසනයේ ලොකු හාමුදුරුවෝ දුරකථනයෙන් කතා කරලා මෙහේට ඇවිත් නිර්මාණයක් කරලා දෙන්න කියලා මට කිව්වා. පහුවෙනිදාම පින්සල් ටිකත් අරගෙන මම ගියා. නායක හාමුදුරුවෝ බොහෝම හොඳින් පිළිගෙන ‘මෙන්න මේ ගහෙ අලියෙක් නිර්මාණය කරල දෙන්න’ කියලා මැරුණු දඹ ගහක් මට පෙන්නුවා. ආවාස ගෙය ඉදිරිපිට තියෙන මහ විශාල ගසක්. හාමුදුරුවෝ වැඩමකරපු මුල් කාලයේදී වැඩඉඳලා තියෙන්නෙ ඒ දඹ ගහෙ සෙවණ යට. උන්වහන්සේට ලොකු සේවයක් කරපු ගසක්. ඒ නිසා මැරුණු ගහ කපා ඉවත් කරන්න හාමුදුරුවන්ට හිත දීලා නෑ. මැරුණු දඹ ගහෙ අලියෙක් නිර්මාණය කරන්න තීරණය කරල තියෙන්නෙ ගහට කරන කෘතගුණ සැලකීමක් විදිහටයි…”
“අවුරුදු දහයකින් විතර ලී කැටයමක් කරලා නෑ. හාමුදුරුවන්ට අභියෝගයක් භාරගන්න පුළුවන් නම් මම නිර්මාණයක් කරන්නම්” මම කිව්වා.


“මට ඔයාව විශ්වාසයි… බය නැතිව මේ ගහෙ ලොකු අලියෙක් නිර්මාණය කරන්න. ඔයා ඒ වැඩේ ලස්සනට කරනව කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා…” හාමුදුරුවන්ගේ දිරිගැන්වීම මට ලොකු ශක්තියක් වුණා. ඒත් මම ගෙනිච්චෙ පින්සල් විතරයි. පන්සලෙන් ගයින්ඩරයක් ඉල්ලගෙන, ඒකට ගැළපෙන තලයක් හදාගෙන දවස් එකහමාරකින් දඹ ගහෙ පැත්තක අලියෙක්ගෙ මුණක් කැපුවා…”
“පදම් කරලා උදලු මිටක් හදාගන්නත් දවස් දෙකක් යනවා. මේ මහ ගහ කපලා, කොටල දවස් එකහමාරෙන් අලියෙක් නිර්මාණය කළේ කොහොමද” ඒ ගමේ මිනිස්සු පුදුම වුණා… මහ දඹ ගහේ පැත්තක නිර්මාණය කරන ලද අලි මුහුණේ පින්තූරයක් හේ, මට පෙන්නුවේ ය. දින එකහමාරක් වැනි කෙටි කාලයකින් එවැනි නිර්මාණයක් කිරීම ගැන මම ද විස්මයට පත් වීමි.
“ලී කැටයම් කැපීමට දැන් නවීණ උපකරණ තියෙනවා. සමහර උපකරණ අපේ රටට ඇවිල්ලත් නෑ. අපේ රටේ තියෙන උපකරණ මිලදී ගන්න මට වත්කම් නෑ. ඒත් මම අන්තර්ජාලයෙන් එම උපකරණ ක්‍රියාත්මක කරන ආකාරය ඉගෙනගන්නවා. ඊට පස්සෙ අපි ළඟ තියෙන උපකරණ ඒ සමාන ආකාරයට හදාගෙන කැටයම් නිර්මාණය කරනවා. නියන්වලින් කැටයම් කපනවට වඩා ඉක්මනට තලවලින් කපන්න පුළුවන්…” කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දඹ ගහට දැක් වූ කතෘගුණ සැලකීම හා සමාන කෘතවේදීත්වයක් සමන්ත අධ්‍යාපනය ලැබූ පාසලට සිදු කර ඇත. ඒ මොරගහකන්ද ජලාශය නිර්මාණය කිරීමත් සමග ජලයට යට වී ගිය එම පාසලේ ගොඩනැඟිලි පෑවිල්ලට නැවත මතු වූ පසු එම ස්ථානයට ගොස් ‘ආයෙමත් වරායක්’ නමින් ගීතයක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැරීම ය. නිර්මාණකරණයට පමණක් නොව, නිර්මාණ ගීතවත් කිරීමට ද සමන්ත කුමාර අතිදක්‍ෂ ය. එහෙත් පෙළගැසෙන කතාවේ මේ වචන ටික නම් අතිශය සංවේදී ය.
“ස්ටිකර් කපන්න පුළුවන්. ෆොටෝග්‍රැපික්, ෆෝටෝ එඩිටින් කරනවා. විවිධ නිර්මාණ කරනවා. ඒත් පවුල නඩත්තු කරන්න ආදායමක් හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. එහෙම වෙලා තියන්නෙ මගෙ අයකිරීම් උපරිම අවම නිසයි. මට ඕන මුදල් නෙමෙයි, කලාව. ලොකු සිහින නෑ. අදටත් මම ගමන් බිමන් යන්නෙ පරණ ස්කූටරයේ. පරණ වාහනවලට කැමැතියි. ඒත් වාහන එකතු කරන්න මට වත්කම් නෑ. යකඩවලින් පරණ වාහන නිර්මාණය කරල සතුටු වෙනවා. කලාව විකුණලා කාලකණ්ණි සතුටක් විඳිනවට වඩා කලා ලොවට වැඩක් කරලා ලබන සතුට උතුම්. කලාව ව්‍යාපාරයක් කරගත්ත අය හැර අපේ රටේ සියලුම කලාකරුවන් ආර්ථික වශයෙන් පොහොසත් නෑ. ඒ වගේම අපේ රටේ කලාකරුවන්ට බෙදන්නෙ හැඳි කිහිපයකින්. නාගරික පන්තියේ කලාකරුවන්ට ඇතිවෙන්න වැඩ තියෙනවා. ඔවුන්ටත් වඩා, දක්ෂතා තිබෙන ග්‍රාමීය කලාකරුවො කැලෑවටම පරවෙලා යනවා. එහෙත්ම කලාකරුවෙක් තමයි කැලෑවෙන් සිදාදියට නිර්මාණ අරගෙන යන්නෙ. ඒ නිසා තමයි අලුත් පරම්පරාව නිර්මාණකරණයට වැඩි කැමැත්තක් නැත්තෙ. ‘යකඩ මනමාලි’ ගීතයෙන් කියන්නෙත් ගමේ කලාකරුවන් ගැන තමයි…”

“ඒත් මම ළමයින්ට කියන්නෙ, හොඳම පෑන – පැන්සල ලැබෙන තෙක් බලා නොසිට තියෙන සම්පත්වලින් නිර්මාණයක් කරන්න උත්සාහ ගන්න කියලා. සහජ දක්‍ෂතාවය හඳුනාගෙන ඒ ඔස්සෙ නිතරම නිර්මාණ කරන්න ඕනෑ. යම් තැනකදී අපේ නිර්මාණවලට වටිනාකමක් ලැබෙනවා. ඒ වටිනාකම ලැබෙන තෙක් අපි නිර්මාණ කරන්න ඕනෑ. කලා ලොවේ නමක් හදාගන්නා තෙක් මුදල් ගැන හිතන්න එපා. මුදල් ගැන හිතුවොත් කලාව ව්‍යාපාරයක් වෙනවා. ඒ ව්‍යාපාරවලට පැවැත්මක් නෑ. අවබෝධයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් ගමනක් ගිය නිසා තමයි අද මගෙ නිර්මාණවලට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ. කලා ලොවේ නමක් හදනවා කියන එක ලේසි නෑ. ඒත් මම ‘බ්‍රෑන්ඩ් නේම්’ එකක් හැදුවා. ඒ නිසා තමයි කොළඹ අය බකමූණ, කිරිඔය බැද්දට ඇවිත් මගේ නිර්මාණ අරගෙන යන්නෙ. ලංකාවේ විශාලතම සංදර්ශන වේදිකාව නිර්මාණය කිරීමේ භාග්‍ය උදාවෙලා තියෙන්නෙ. මෙවර දීප් ජංගල් සැණකෙළියේ ලොකුම වේදිකාව අඩි එකසිය 140 ක් දිගයි. අඩි හැත්තෑපහක් උසයි. ඒ වේදිකාවේ නිර්මාණය කරන්නෙ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ මෙරට ඉදිකර ඇති ප්‍රධාන ගොඩනැඟිලිවල ආකෘති. ඒ නිර්මාණය කරන්නෙ ලීවලින්. පසුගිය අවුරුද්දෙ දීප් ජංගල් සැණකෙළියේ ප්‍රධාන වේදිකාවට මම නිර්මාණය කළේ අලියෙක්. ඒ වේදිකාවත් අඩි සියයක් දිගයි. අඩි හතළිහක් පළලයි. 2015 අවුරුද්දෙ ඉඳලා දීප් ජංගල් සැණකෙළියේ වේදිකා නිර්මාණය කරන්නෙ මමයි. අලුත් නිර්මාණයක් කරලා ගොඩ එන්න උත්සාහ කරන අයට දීප් ජංගල් සැණකෙළිය මාරම ශක්තියක්. දීප් ජංගල් සැණකෙළියේ ජනප්‍රිය වෙන චරිත හුඟදෙනෙක් නතර වෙන්නෙ පිටරවල. ඒ අය ගොඩ. දීප් ජංගල් වේදිකා නිර්මාණ කිරීම ලැබීම මටත් ලොකු භාග්‍යයක්. මගෙ එකම ප්‍රාර්ථනාව දීප් ජංගල් සැණකෙළිය හරහා අපේ කලාව ලෝකයට පෙන්වීම. ඒ වගේම ගමේ කලාකරුවන් කැලේට පර නොවී සිදාදියේ සුවඳ විහිදුවන තැනට පත් කිරීමත් මගෙ සිහිනයක්…” හේ, සිහින් සිනා රැල්ලකින් මුව සරසා ගත්තේ ය.
මේ වන විට සමන්ත කුමාර මෙරට තරු පන්තියේ හෝටල් රාශියක් තම නිර්මාවලින් හැඩ කර හමාර ය. එම නිර්මාණවලට විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ද ඉහළින් තිබෙන බව වාර්තා වේ. එහෙත් ඔහු ජනප්‍රියත්වය හමුවේ උඩඟු වී නැත. ගැමිකම, අව්‍යාජ බව, අවංකභාවය කෙලසාගෙන නැත. පාසලේ පළමු පන්තියේදී ඇඳපු චිත්‍රය සුරක්‍ෂිතව සංරක්‍ෂණය කරගෙන සිටින තරමට හේ, මුල මතක චරිතයකි. ජීවිතයට හා සමානව කලාවට ආලය කරන හේ, ප්‍රමුඛස්ථානය ලබාදෙනුයේ මුදලට නොව නිර්මාණයට ය. වෘත්තියෙන් උපයන ආදායමෙන් කාලා ඇඳලා, දරුවන් දෙදෙනා යහපත් පුරවැසියන් බවට පත් කිරීමට අවස්ථාව ලැබේ නම් හොඳටම ප්‍රමාණවත් බව හේ, අවසානයට වචන කළේ ය.
තරංග රත්නවීර