අනුරපුර පොසොන් කමිටුවේ අනුශාසනාවක් කරමින්
ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ කියයි
වන්දනාකරුවන් ලක්‍ෂ 17කට පහසුකම් දෙන්න අනුරපුරයේ සියල්ල සූදානම්
කමිටු අනුමැතියකින් තොරව ප්‍රචාරණ හෝ සැරසිලි එපා
දින 03ක් මස්කඩ වැසේ
පූජා නගරය වටා ජල කරාම 300ක්
තාවකාලික වැසිකිළි 600ක්
දන්සැල් 600ක් දැනටමත් ලියාපදිංචි වෙලා
වන්දනාකරුවන්ට තොරතුරු දෙන්න ජංගම යෙදවුමක්
2333 වැනි මෙවර පොසොන් උත්සවය ආධ්‍යාත්මික වන්දනාවක් ලෙස සලකා සියලු දෙනා සැමරිය යුතු බවත්, මුතුන් මිතන්ගේ සිට පැවත එන සංස්කෘතීන් හා උප සංස්කෘතීන් හා පුද පූජාවන් වෙනුවෙන් සමරන මෙවර පොසොන් උත්සවය සඳහා ලක්ෂ 10ත් 17 ත් අතර බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම බැතිමතුන් සඳහා සත්කාර කිරීමට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පහසුකම් සලසන සියලු දෙනා එක්ව සිටින බව රුවන්වැලිසෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පැවසූහ.
නායක හිමියන් මේ බව කියා සිටියේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පෙරේදා (3 දා) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොසොන් කමිටුවේදී අනුශාසනාවක් සිදු කරමිනි.
පුරාවිද්‍යා ස්මාරක ඇතුළු පූජා භූමියේ පරිසරය රැක ගනිමින් ආගමික වතාවත්වල යෙදෙන ලෙසද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නායක හිමියන් පවසයි .
පොසොන් කමිටුවේ අනුමැතියකින් තොරව කිසිවිටෙක කිසිදු මාධ්‍යයකින් ජාතික පොසොන් උත්සවය පිළිබඳව ප්‍රචාරණයන් සිදු නොකරන ලෙසත් අනුරාධපුර නගරයේ සැරසිලි නොකරන ලෙසත් අටමස්ථානාධිපති නායක හිමියන්ගේ අනුශාසනා පරිදි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව දිස්ත්‍රික් ලේකම් හා පොසොන් කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා පැවසීය.
මුස්ලිම් ජනතාවගේ උත්සව අවස්ථාවක්ද පොසොන් සතිය තුළ පවතින නිසා මස් කඩ වසා තැබීම ජුනි මස 9, 10 හා 11 යන දිනවලට පමණක් සීමා කෙරිණි.
පානීය ජලය සැපයීම බවුසර් මගින් මෙන්ම පූජා ස්ථාන අවට සවි කරන ලද ජල කරාම මගින් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. විවිධ ස්ථානවල බවුසර් රථ රදවන අතර ජල කරාම 300 ක් පමණ පූජා නගරය අවට සවිකර තිබේ.
වැසිකිළි පහසුකම් සඳහා අවශ්‍ය තාවකාලික වැසිකිලි 500කට ආසන්න ප්‍රමාණයක් ස්ථානගත කිරිමට ද පියවර ගෙන ඇත. මීට අමතරව ක්ලීන්
ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ද තවත් වැසිකිළි 100කට අසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
බැතිමතුන්ගේ ආහාර අවශ්‍යතාව සැපිරිම සදහා මේ වනවිට දන්සල් 600කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර මෙම සංඛ්‍යාව තවත් වැඩි වන බව දිසා ලේකම්වරයා සඳහන් කළේය.
පූජා නගරය ආශ්‍රිත විශාල ජලාශ වල මෙන්ම කුඩා වැව් ආශ්‍රිතව ද ජීවිතාකරක්ෂක සේවාවන් පවතින අතර නගරයෙන් පිට වැව් ගණනාවකට ද මෙම ජිවිතාරක්ෂක සේවා සපයා ඇත.
මෙවර පොසොන් වන්දනාවේ පැමිණෙන පිරිස්වල පහසුව සඳහා ජංගම යෙදවුමක් හදුන්වා දීමටද කටයුතු යොදමින් පවතී. මෙයින් වන්දනාකරුවන් පැමිණෙන වාහන වර්ගයට අනුව කවර දිශාවකට, කවර මාර්ගයකින් ගමන් කළ යුතුද යන්න හදුනාගත හැකියි. මිට අමතරව ජල පහසුකම් පවතින ස්ථාන, රථගාල් පිළිබඳව විස්තර, දන්සල්, වෛද්‍ය කඳවුරු, ජීවිතාකරක්ෂක සේවා ස්ථාන, සුපිරි වෙළෙඳසැල්, මාර්ගවල දුර සීමාවන්, අත්‍යවශ්‍ය දුරකතන අංක ආදිය ද හඳුනාගත ගත හැකි වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බවද සඳහන් විණි.
ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අමතර බස් සේවා රැසක් ක්‍රියාත්මක කර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍ය දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් අමතර දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ජුනි මස 09, 10 සහ 11 යන දිනවලදී එම දුම්රිය සේවා ක්‍රියාත්මක වේ, මීට අමතරව අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය ගමන් කිසිදු ගාස්තුවක අය නොකර නොමිලේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
පොසොන් කමිටුව සඳහා මහා සංඝරත්නය මෙන්ම අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර, ශාමිලා වික්‍රමආරච්චි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. සී. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න යන මහත්වරුන් මෙන්ම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක හා පෞද්ගලික ආයතන නියෝජිතයන් හා ආරක්ෂක අංශවල පිරිස් සහභාගී වූහ.
අනුරාධපුර සංචාරක – බී. ජී. චතුරංග