කිසියම් දේශපාලන සංකල්පයක් යථාර්යක් බවට පත් කළ හැකි වන්නේ එහි ඓතිහාසික සන්දර්භය පිළිබඳව පැහැදිලි දැනුමක් ඇතිව සාකච්ඡා කරන විටදීය. එවැනි අවබෝධයකින් තොරව නාම පදවල ආකර්ෂණීය බව පමණක් පාවිච්චි කිරීම එය විහිළු සහගතව කෙළවර කර ගැනීමකි. මේ දිනවල කටගැස්මට ගන්නා ‘පුනරුදය’ සත්‍ය වශයෙන්ම ඔවුන් දැනුවත්ව සිටින දෙයක්ද යන්න මට පැහැදිලි නැත. නමුත් ‘පුනරුදය’ යථාර්ථයක් බවට පත් කළ හැකි නම්, ලංකාවේ දේශපාලන දේහය නිරෝගීමත් පරිපූර්ණ තත්වයකට පත් ඇති බවද පිළිගත හැකිය.
පාප්වරයාගේ බලයෙන් යටපත් කරගෙන සිටි ඉපැරණි ග්‍රීක ශිෂ්ටාචාරයේ දැනුම් පද්ධතිය මධ්‍යතන යුගයේදී නැවත ගවේශනය කිරීම නිසා ඇති වූ ශ්‍රාස්ත්‍ර ප්‍රබෝධය පුනරුදය නමින් හැදින්වෙයි (the rediscovery of classical Greek philosophy). ඒ සඳහා ඉතාලියේ ෆ්ලෝරස් ජනරජයේ පාලක මෙඩිකි පවුලේ ප්‍රධානීන් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා පූර්ණ අනුග්‍රහය සහ මඟපෙන්වීම කරන ලදී. පුනරුදයේ ඇති වූ ශාස්ත්‍ර ප්‍රබෝධය තේරුම් ගැනීමට නම් මධ්‍යතන යුගය පුරා ඉතාලියේ ෆ්ලෝරන්ස් සමූහාණ්ඩුවේ පාලනය සහ ඇය මෙහෙය වූ මෙඩිකි පවුලේ ආධිපත්‍යය පිළිබඳ තේරුම් ගත යුතුය.
ඉතාලියේ රෝම් (Rome) අගනුවර සිට කි.මී. 276 ක් උතුරින් පිහිටි ෆ්ලෝරන්ස් මුල් වතාවට යුද කඳවුරක් ලෙස සකස් කළ ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින්ය. රෝම අධිරාජ්‍යයේ පරිහානියෙන් පසුව ෆ්ලෝරන්ස් නගරය ටස්කනි පෞර රාජ්‍යයේ නගරයක් ලෙස නව අංග එකතු කරමින් දියුණුවට පත් වෙමින් සිටියදී මෙඩිකි පවුලේ ආධිපත්‍යයට නතුව යුරෝපයේ මූල්‍ය හා බුද්ධි කේන්ද්‍රය ලෙස ආධිපත්‍ය පැතිරවීය.
පුනරුදයේ බලපෑම කුමක්ද ?
මීට වසර පන්සීයකට පෙර ඉතාලියේ ෆ්ලෝරස් ජනරජයේ පාලක ධුරයට පත් ගිලියානෝ මෙඩිකි, කොස්මෝ ඩී මෙඩිකි, ලොරෙන්සෝ ද මෙඩිකි, පියෙරෝ මෙඩිකි ඇතුළු මෙඩිකි පවුල් ගසට අයත් සිය ගණනක් සාමාජිකයන් ඉතාලිය පුරා මානවවාදය පැතිරවීමටත්, ඉපැරණි ග්‍රීක-රෝම ශිෂ්ඨාචාරවල යටපත්ව පැවති දැනුම නවීකරණයටත් විද්‍යා ස්ථානවලට අනුග්‍රහ කළෝය. මෙම ෆ්ලෝරන්ස් ශාස්ත්‍ර ප්‍රබෝධයෙන් කුල්මත් වූ ස්පාඤ්ඥ, පෘතුගාල, බ්‍රිතාන්‍ය ආදී රටවල පාලකයන් ඉතාලි දේශ ගවේශකයන්ට පහසුකම් ලබා දී යටත් විජිත යුගයක් උදා කළෝය. අනෙක් අතට පුනරුදයේ අග්‍රඵලය ලෙසින් එංගලන්තයේ ඇතිවූ කාර්මීකරණය ඇති විය. ඒවායේ ප්‍රතිඵලය වූයේ, ඉතාලිය උත්පාදනය කළ නව දැනුම පදනම් කරගත් තාක්ෂණික, විද්‍යාත්මක ලෝකයක් යටත් විජිත වලට ගලා යෑමයි. එහි නියත ප්‍රතිඵලය වී ඇත්තේ අදටත් බලපාන පරිදි ඉතාලි පුනරුදයේ බලපෑම් අනුගතව දිවි ගෙවීමට මනුෂ්‍ය වර්ගයාටම සිදු වීමයි.
ප්‍රංශ භාෂාවෙන් නැවත උපත යන අදහස ඇති රිනැස්සිටා (Rinascita) යන්න ඇසුරින් ඉංග්‍රීසි ‘Renaissance’ යන්න සකස් වී ඇත. ‘රිනැසියන්ස්’ යන්නෙහි පරිවර්ථන පදයක් ලෙස, දිනවල ප්‍රසිද්ධ කර ඇති ආකාරයේ ඊනියා, ‘නව උපතක්’ නොවේ. ‘යලි ඉපදීම’ ද නොවේ. එවැනි පදගතාර්ථයකින් පුනරුදය නැමැති ඓතිහාසික ක්‍රියාවලිය කිසිසේත්ම තේරුම් ගත නොහැකිය. එසේ නම් පුනරුදය යනු කුමක්ද? ‘පුනර් + උදය’ යන්න සන්ධි වීමෙන් පුනරුදය යන්න ශබ්ද වෙයි. ‘පුනර්’ යනු ‘නැවත’ යන්නයි. ‘උදය’ යනු ‘ආරම්භය, උන්නතිය, උපත හෝ ආලෝකයයි’. පුනරුදය යන්නෙහි වාචාර්ථය ‘නැවත ඇතිවන ආලෝකය හෝ උපත’ ලෙස අදහස් කළ හැකිය. මෙයින් ගම්‍ය වන්නේ කලින් තිබී, නැතිව ගිය දෙයක් නැවත ඇති කිරීමකි. ‘පුනරුදය’ යන්නෙහි සන්දර්භීය අර්ථය තේරුම් ගැනීමට ඉතාලිය ද අයත් මධ්‍යධරණී මුහුදු කලාපයේ ප්‍රධාන අධ්‍යාපන ඉතිහාසයේ පහත දැක්වෙන මූලික යුග තුන ගැන තේරුම් ගත යුතුය.
- සම්භාව්‍ය ග්‍රීක-රෝම ශිෂ්ඨාචාර යුගයම (antiquity) (ක්‍රි. පූ. 500 සිට ක්‍රි.ව. 500 දක්වා)
- අදුරු යුගය (The Dark Ages) ක්‍රි.ව. 500 සිට 1300 දක්වා
- මධ්‍යතන යුගය (medieval period) ක්‍රි.ව. 1300 සිට 1500 දක්වා

ක්‍රි.ව. 500 සිට 1300 දක්වා යුරෝපයේ අඳුරු කාල පරිච්ඡේදය වතිකානුවේ කෲරතර පාලනයට යටත්ව පල්ලියේ ඉගැන්වීම් කණ්ඩනය කළ පර්යේෂණ සහ ඉගැන්වීම් සහමුලින්ම විනාශ කර දැමූ යුගයකි. අඳුරු යුගය පුරා බයිබලය ඉක්මවා ශ්‍රාස්ත්‍ර දියුණුවට කැප වූ විද්‍යාඥයන්, පර්යේෂකයන් සිය දහස් ගණනක් පණ පිටින් පුළුස්සා දමන ලදී. එකල බයිබලයට පරස්පර වූ කිසිවක් ප්‍රචාරණය කළ නොහැකිව තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ ශිල්ප-ශ්‍රාස්ත්‍ර අංශයෙන් බෙලහීන ව සිටි ක්‍රිස්තියානි රාජ්‍යයන් කුරුස යුද්ධ වලින් ජයගත් මුස්ලිම්වරු, දේශපාලන බලයද, පෙරදිග වෙළෙඳ මාර්ග ද අත්පත් කර ගැනීමයි. මේ අයුරින් ක්‍රිස්තියානි බලය අහෝසිවීමේ තර්ජනයට පිළිතුරක් සොයා ගැනීම උදෙසා විද්‍යාව හා තාක්ෂණය දියුණු කළ යුතු විය. මෙහි ප්‍රතිඵයක් ලෙස, පාප්වරයාගේ බලයෙන් යටපත් කරගෙන සිටි ග්‍රීක ශිෂ්ටාචාරයේ දැනුම් පද්ධතිය මධ්‍යතන යුගයේදී නැවත ගවේශනය කිරීම නිසා ඇති වූ ශ්‍රාස්ත්‍ර ප්‍රබෝධය පුනරුදය නමින් හැඳින්වෙයි (the rediscovery of classical Greek philosophy). ඒ සඳහා ඉතාලියේ ෆ්ලෝරස් ජනරජයේ පාලක මෙඩිකි පවුලේ ප්‍රධානීන් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා පූර්ණ අනුග්‍රහය සහ මගපෙන්වීම කරන ලදී. පුනරුදයේ ඇති වූ ශාස්ත්‍ර ප්‍රබෝධය තේරුම් ගැනීමට නම් මධ්‍යතන යුගය පුරා ඉතාලියේ ෆ්ලෝරන්ස් සමූහාණ්ඩුවේ පාලනය මෙහෙය වූ මෙඩිකි පවුලේ ආධිපත්‍යය පිළිබඳව තේරුම් ගත යුතුය. මෙඩිකිවරු ආර්ථික, දේශපාලන සහ ආගමික යන අංශ තුනක ආධිපත්‍යය පැතිරවීමට සමත් විය.
මෙඩිකි පවුලේ දේශපාලන ආධිපත්‍යය
රෙස් පබ්ලිකා ෆොරොන්ටිනා (Res publica Florentina) හෙවත් ෆ්ලෝරස්න් සමූහාණ්ඩුවේ දේශපාලන බලය බැංකුකරුවන්ගේ පවුලකට නතුවීමෙන් ඉතාලියට වාසනාව උදාවීමේ කතාව මෙඩිකි හවුස් (The House of Medici) හෙවත් මෙඩිකි පවුල් ගස යටතේ කතා කළ යුතුය. ක්‍රි.ව. 1434 සිට 1569 දක්වා කොස්මෝ ඩී මෙඩිකි, පියෙරෝ ඩී මෙඩිකි, ලොරෙන්සෝ ද මෙඩිකි, ගිලියානෝ මෙඩිකි, පියෙරෝ මෙඩිකි ඇතුළු මෙඩිකිවරු 14 දෙනෙක් ෆ්ලෝරන්ස් හි පුරපති ධුරයට පත් විය. ගියෝවන්නි මෙඩිකි එම පවුලේ බලය ෆ්ලෝරන්ස් හි දේශපාලනය නතු කරගත් පසු ඔහුගේ මුණුබුරා වන (පියරෝ මෙඩිචිගෙ පුත්‍ර) ලොරෙන්සෝද මෙඩිකි හඳුන්වනේනේ ද අති උතුම් ලොරෙන්සෝ (Lorenzo “the Magnificent”) යන නමින්ය. මේ දීර්ඝ පාලන සමයේදී මෙඩිකිවරු කොතරම් කීර්තිමත් තත්ත්වයක පසුවීද යත් කැතරීන් ඩී මෙඩිචි සහ මාරියා ඩී මෙඩිචි යන මෙඩිචි පවුලේ තරැණියන් ප්‍රංශ අධිරාජ්‍යාට විවාහ කරදීමට සමත් විය. මේ නිසා බටහිර යුරෝපය පුරා මෙඩිකි පවුලේ දේශපාලන හා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය විය.
මෙඩිකි පවුලේ ආර්ථික ආධිපත්‍යය
ගියෝවන්නි මෙඩිචි විසින් ෆ්ලෝරන්ස් හි 12 වන බැංකුව ලෙස 1397 දී මෙඩිචි බැංකුව (Medici Bank) ආරම්භ කිරීම පුනරුදයේ අර්ථයෙන් අතිශය තීරණාත්මක අවස්ථාවකි. එතැනින් පටන් ගත් මෙඩිකිවරු 14 වන සියවස අවසන් වන විට ලෝක මූල්‍ය බල කේන්ද්‍රය ෆෝරන්ස් ජනරජයට (Republic of Florence) අත්පත් කර දීමට සමත් විය. මෙඩිකිවරු තම පවුල තම ධන සම්පත ඉතාලියේ අධ්‍යාපන උන්නතියට කැප කිරීමේ ප්‍රතිඵලය ලෙස එතෙක් මෙතෙක් මනුෂ්‍ය වර්ගයා අත්පත් කර නොගත් අද්විතීය ජයග්‍රහණ රාශියක් අත්පත් කරගැනීමට සමත් විය.
මෙඩිකි පවුලේ ආගමික ආධිපත්‍යය
ඉතාලියේ ආර්ථික බලය අත්පත් කරගැනීමට සමගාමීව, මෙඩිකි පවුලෙන් පාප්වරු හතර දෙනෙක් බිහිකරගැනීම දක්වා ඔවුන් බලවත් විය. ඒ අනුව, x වන ලියෝ පාප්වරයා, vii වන ක්ලෙමෙන්ට් පාප්වරයාද, iv වන පියස් පාප්වරයාද, xi වන ලියෝ පාප්වරයාද ලෙස මෙඩිකි පවුලේ සමාජික පූජකවරුන් 4 දෙනෙකු පාප් ධුරයට පත් වීමෙන් යුරෝපය පුරා පැතිරීගිය මහා බලයක් සහ සමාජ අවනතභාවයක් මෙඩිකි පවුලට ඇති කර ගැනීමට හැකි විය.
ඉහත දැක්වූ පරිදි ආර්ථික, ආගමික සහ දේශපාලන අංශවල බලය නතුකරගත් මෙඩිකිවරුන්ට තමන්ගේ අභිලාශයන් අනුව ‘ඉතාලිය සංස්කරණය කිරීමට’ සමත් විය. ඔවුගේ පරමාදර්ශවලට අභියෝග කළ හැකි වෙනත් බලවතුන් කිසිවෙක් ඉතාලියේ නොවීය. පුනර්ජීවන යුගය උදාවූයේ එකී බල-ආධිපත්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතියට වැය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

මෙඩිකිවරු යටතේ අධ්‍යාපනයේ නැඟීම,
ඉතාලි අධ්‍යාපන ඉතිහාසය කීර්තිමත් ඉපැරණි විශ්වවිද්‍යාල වලින් පිරී ඇත. ක්‍රි. ව. 1158 දී පිහිටුවූ බොලොන්ගා විශ්වවිද්‍යාලය (University of Bologna) සහ ක්‍රි. ව. 1222 දී පිහිටුවූ පාදුවා විශ්වවිද්‍යාලය (University of Padua) ඇතුළු විශ්වවිද්‍යාල 13 ක් ඉතාලිය පුරා විසිර තිබියදී මෙඩිකි පවුලේ ධනය වැය කර ෆ්ලෝරන්සි හි ‘යුනිවර්සිටා ඩිග්ලි ස්ටඩි ඩී ෆිරෙන්ස් (Università degli Studi di Firenze) නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටු වීය. ‘යුනිවර්සිටා ඩිග්ලි ස්ටඩි ඩී ෆිරෙන්ස’ හි ප්‍රකාශනයක් ලෙස සම්භාව්‍ය ග්‍රීක මහා කවි හෝමර්ගේ (Homer) ඉලියඩ් (Iliad) හා ඔඩිසි (Odyssey) වීරකාව්‍ය දෙකෙහිම ඉතාලි අනුවාද ප්‍රකාශයට පත් කිරීම නිසා සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍ය හා දර්ශනය අධ්‍යනයට නව ප්‍රබෝධයක් ඇති විය. රෆායෙල් සැන්තියෝ විසින් පාප්තුමාගේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවක තේල්ස්ගේ සිට සිනෝ දක්වා වසර 500 ක් පුරා ග්‍රීසියේ විසිර සිටි දාර්ශනිකයන් එකම රාමුවක සම්පිණ්ඩනය කර ඇතෑන්ස් හි පාසල (The School of Athens) නමින් ද ග්‍රීක කවියන් සහ සාහිත්‍යධරයන් එකම තලයක සම්පිණ්ඩනය කර පර්නාස් (The Parnassus) නමින් ද අඳින ලද සිතුවම් ද ග්‍රීක සභ්‍යත්වය ඉතාලිය මත ප්‍රතිස්ථාපන කිරීම සංකේතවත් කළේය. එසේම අඳුරු යුගය පුරා පල්ලියේ දැනුම් වාරණය නිමා කරන බවද එයින් ප්‍රකාශ වෙයි. ෆ්ලෝරන්ස් හි බැංකුකරුවකු සහ දේශපාලකයකු වූ කොස්මෝ ඩී මෙඩිචි (Cosimo di Giovanni de’ Medici (1389 – 1464) 1444 දී ෆ්ලෝරන්ස් මහජන පුස්තකාලය (public library in Florence)පිහිටුවීය. චිත්‍ර කලාව, ප්‍රතිමා නිර්මාණ ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍ය දියුණු කිරීමට රන් ෆ්ලෝරින් හය ලක්ෂයක් (600,000 gold florins) පමණ වියදම් කර ඇති බව සැලකෙයි. එය වර්තමාන මුදලින් ඩොලර් මිලියන 500 කට අධිකය.
ඉතාලි මානව වාදය
කොස්මෝ ඩී මෙඩිකි අන් හැම ඉක්මවා පැරණි ග්‍රීක දාර්ශනිකයන් ෆ්ලෝරන්ස් අධ්‍යාපන පීඨවලට හඳුන්වාදීමට ඉදිරිගාමී තීරණ කීපයක්ම ගත්තේය. ඒ අතරින් ප්ලේතෝනික් ඇකඩමි (Platonic Academy (Florence) පිහිටුවීම පුනරුදුයේ සංන්ධිස්ථානයකි. ප්ලේතෝනික් ඇකඩමියේ දාර්ශනිකයන් ‘මිනිසා වඩා වැදගත්ය’ යන මතය නිර්භීත ලෙස වතිකානුව පාමුල පැතිරවීම නොවන්නට පුනරුදය එහි ඇති නොවනු ඇත. මධ්‍යතම යුගය පුරා පාප්ගේ ඍජු අධ්‍යාත්මික පාලනයට යටත් ඉතාලි අර්ධද්වීපයේ මනුෂ්‍යා දෙවියන්ට දැඩි ලෙස යටත් කර තිබුණි. ඉතාලි මානවාදය (Italian humanist) පල්ලියේ බලපෑමෙන් තොරව මිනිසාට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ මානවවාදයේ පැතිරීමයි. ප්ලේටෝ කේන්ද්‍රයේ ප්‍රමුඛයන් වන නිකොලො ඩී නිකොලොයි (Niccolò de’ Niccoli) සහ ලියනාඩෝ බුරුනි (Leonardo Brniu) ඉතාලි මානවාදය (Italian humanist) පතුරවා ශාස්ත්‍ර ඥානය සඳහා මහජනයා පෙළඹවීමට මූලිකත්වය ගන්නා ලදී.
වාස්තු විද්‍යාව හා චිත්‍ර කලාව
ජියොර්ජියෝ වසාරි (Giorgio Vasari: 1511 – 1574) නමැති ශ්‍රේෂ්ඨ කලා ඉතිහාසඥයා මෙඩිකි පාලකයන්ගේ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සේවය කරද්දී ග්‍රීක වාස්තුවිද්‍යාව හා ප්‍රතිමා කලාව ඉතාලිය පුරා පැතිරවීමට පර්යේෂණ වලට මහත් සේ උපකාර කළේය. ඇකඩමියා ඩී බෙලෙ ආර්ටි ඩී ෆිරෙන්සි (Accademia di Belle Arti di Firenze) නම් ලලිත කලා අධ්‍යන පීඨයක් ලොරෙන්සෝ විසින් ෆ්ලෝරන්ස් හි ආරම්භ කළේය. මයිකල් ආන්ජිලෝ නමැති ශිල්පියා ග්‍රීක-රෝම සම්භාව්‍ය මූර්තිවල පුරාවස්තු අධ්‍යයනය කරන ලද්දේ එහිදීය. එසේම ෆ්ලෝරස් හි කලාගාරයක් පවත්වාගෙන ගිය වෙරෝකියෝ (Andrea del Verrocchio) ලියනාඩෝ ඩාවින්චි ආදී ලෝකප්‍රකට සිත්තරුන් බිහි කරන්නට හේතු විය. සම්භාව්‍ය ග්‍රීක-රෝම ගෘහනිර්මාණ ලක්ෂණ එක්තැන් කළ අභිමානවත් ගොඩනැඟිලි ඉතාලිය පුරා ඉදිවන්නට විය. මේ අතරන් වඩාත්ම අවධානයට ලක්වන වාස්තු නිර්මාණ දෙකකි. ෆ්ලෝරන්ස් හි ප්‍රතාපවත් බව විදහා දැක්වෙන ෆ්ලෝරන්ස් කැතඩල් (Florence Cathedral ) නමැති අති දැවන්ත නිර්මාණය අනොල්ෆෝ ඩී කැම්බියෝ (Arnolfo di Cambio) විසින් සැලසුම් කරන ලදී. වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව (Saint Peter Basilica) මයිකල් ආන්ජිලෝ සහ ඩොනෙටො (Donato Bramante) විසින් සැලසුම් කරන ලදී.
පුනරුද සමයේ විසූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්චි තම ජීවිත කාලයම විවිධාකාර පර්යේෂණ වලට කැප කළේය. පසු කාලීනව ඔහුගේ කටු සටහන් එකතුවක් කොන්ඩෙක්ස් අරුන්ඩල් (Codex Arundel), කොන්ඩෙක්ස් ලෙයිස්ටර් (Codex Leicester) සහ කොඩෙක්ස් වින්ඩ්සර් (Codex Windsor) නමින් ප්‍රකාශයට පත් කර ඇත. ඩාවින්චිගේ සංකල්ප පර්යේෂකයන් මේ දක්වා අධ්‍යයනය කරමින් සිටී. යුද ටැංකිය, හෙළිකොප්ටරය සහ කැමරාව ඉන් කීපයකි. මොනා ලීසා, අන්තිම රාත්‍රී භෝජනය ආදී සුප්‍රකට චිත්‍රවල ශිල්පියා වන ඔහු අසීමිත පරාසයක ශ්‍රාස්ත්‍ර ඥානය මෙහෙය වූ පුනරුදයේ පඥාප්‍රදීපය ලෙස සැලකිලි ලබයි.
ඉතාලි පුනරුදය යටතේ සිදු වූයේ පල්ලියේ ආධිපත්‍ය විසින් යටපත් කර තිබුණු ඉපැරණි ග්‍රීක දර්ශනය නවීකරණය කරමින් මධ්‍යකාලීන ඉතාලියට බලපෑ සමාජ, දේශපාලික හා සංස්කෘතික ගැටලු විසඳා ගැනීමට දැරූ ප්‍රයත්නයක් බව පෙනෙයි. දර්ශනය, මානවාදය, සාහිත්‍ය, චිත්‍ර, මූර්ති, ගෘහනිර්මාණ ශිල්පය, වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, යුද ශිල්පය ආදී නෙක විධ අංශවල දැවැන්ත නිර්මාණ පුනරුද සමයේ බිහිවිය. ඒ සියල්ල මෙහෙය වන ලද්දේ උගත්-බලවත්-ධනවත් ප්‍රභූ පැළැන්තික් තම ධනය ශාස්ත්‍ර ප්‍රබෝධයට වැය කළ නිසාවෙන්ය. එබැවින් ප්‍රභූ විරෝධී මහජන ව්‍යාපාරයකින් ඉතාලි පන්නයේ පුනරුදයක් ඇති කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.
ඉතාලි පුනරුද පන්නයේ පුනරුදයක් ලංකාවේ ඇති කිරීමට නම්, ‘රටේ ඉතිහාසයෙන් තෝරාගත් ඓතිහාසික ස්වර්ණමය යුගයක’ ආර්ථික-සාමාජීය-අධ්‍යාපන දර්ශනයක් උද්දීපනය කළ යුතුය. වෙනත් ලෙසකින් කිව හොත්, ‘පැරණි සමෘද්ධිමත් යුගයක යටපත්ව ඇති දැනුම් පද්ධතියක්’ නගාසිටුවීමට සැලැස්මක් තිබිය යුතුය. ‘රටේ ඉතිහාසයෙන් ඓතිහාසික ස්වර්ණමය යුගයක්’ තෝරා ගන්නේ නම්, අපට ඇත්තේ අනුරාධපුර යුගයේ මැද භාගයයි. එනම් ක්‍රිස්තු වර්ෂ 300 සිට ක්‍රිස්තු වර්ෂ 900 දක්වා වසර 600 ක කාල පරිච්ඡේදය ලංකාව ලෝකයේ දැවැන්ත ආර්ථිකයක් මෙහෙය වූ දැනුම් කේන්ද්‍රස්ථානයක්ව පැවති කාල පරිච්ඡේදයයි. එවකට ලංකාවේ අභයගිරි විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ බුද්ධි කේන්ද්‍රයක් ලෙස නැග ආවේය. රට වටා ඇති වරායවල් වලින් අවලෝකිතේශ්වර බෝධිසත්ව රූප හමුවන්නේ බෞද්ධ රටවල් ජාලයක ලංකාව කේන්ද්‍රස්ථානය දරා ඇති බවය. මේ නිසා මහායාන බුදු දහමේ බලපෑම සහිතව ලංකාවේ වාණිජ හා ආගමික අංශ දෙකෙන් දකුණු ආසියාවේ සැලකිය යුතු තත්ත්වයක පසු විය. එකී වාණිජ ජාලයේ පංගු කරුවකු ලෙස ලංකාව සම්බන්ධ වූ ආකරය ලංකාව නැවත ගොඩනැඟීමේදී අධ්‍යයනය කළ යුතු බව මගේ හැඟීමයි. නැති නම්, අනුරාධපුර යුගයේ ඉතිහාසය ලංකාව නැවත ගොඩනැඟීමට අධ්‍යනය කළ යුතු බව මගේ හැඟීමයි.
ලලීන්ද්‍ර සන්නස්ගම,
සීවලී මධ්‍ය විද්‍යාලයය
[email protected]
WhatsApp: 071 4373562