ප්‍රවීණ ලේඛක ගත් කතුවර පියසේන වික්‍රමගේ ලියූ අලුත්ම ග්‍රන්ථය නුගේගොඩ ‘පින්සර දුටු නන් විසිතුරු’ (1950-1958) යනුවෙන් දැන් ප්‍රකාශිතය. අලුත්ම ආරක නිර්මාණ පෙළහරක් වූ එහි කතුවරයා ස්වකීය ළමා විය ‘පින්සර’ ලෙස ආරෝපණය කරමින් 1950-1958 නුගේගොඩ පැවති පසුබිම මැනවින් විචිත්‍රණය කරයි. සරසවි ප්‍රකාශනයක් වූ එහි ඇතුළත් කතා දෙකක් ඉහතින් දැක්වේ. එදා පැවති ජාතික සමගිය, ගම ගැන ද එහි ඇති කතා අතීතයේ මිහිර ආශ්වාදජනක ලෙස අප හමුවේ තබයි. එහි පසුවදන මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර ලියා තිබේ.
පින්සර දුටු නන් විසිතුරු හෙළි කරන අපූර්ව අතීතය
පුංචි කෝච්චි කතන්දර
කොළඹ – සිට දුව ආ ‘පුංචි කෝච්චිය’ නවත්වන එක් ප්‍රධාන නැවතුම් පොළක් තමයි නුගේගොඩ දුම්රිය පොළ… කුචු – කුචු ගා එන පුංචි කෝච්චිය දුවන්නේ වාෂ්ප බලයෙන්;
‘අඟුරු කකා වතුර බිබී
කොළඹ දුවන යකඩ යකා!’
කිව්වත් වගේ දුම් කෝච්චි ඇන්ජිම, කළුම කළු පාටයි! හතරැස් පෙට්ටි හැඩයේ කළු දුම්රිය එන්ජිමකින් ඉදිරියට ඇදගෙන ගියා. දුම්රිය රියැදුරාගේ සහයට අඟුරු දමන්නා සිටියා; ගිනියම් වූ අඟුරු රන්වන් පාටින් ගිනියම් වෙලා! එන්ජිම උඩ කොටසේ ඇති ලොකු දුම් බටයෙන් පිටවෙන දුම, දුම්රිය ඉදිරියට ඇදෙන විට දිගු දුම් වලාවක් විහිදුවනවා! දිගට – දිගට විහිද යනවා. නිකම් දුමාර පෙරහරක් වගේය!
ඉතින් මගී දුම්රිය මැදිරිවල ගමන් යන මගීන්ගේ ඇඟේ පුංචි අඟුරු කුඩු වැටී තිබෙනු පින්සර අත්දැකීමෙන්ම දන්නවා!
එන්ජිමත් පුංචි, ධාවනය කරන රේල් පාරත් පුංචි, මගී දුම්රිය මැදිරිත් පුංචි, පුංචි කෝච්චිය ධාවනය වුණෙත් පුංචි වේගයකින්.
‘පුංචි කෝච්චිය’ හැදුවෙ ලංකාවට එවන්න නෙවෙයිලු…! වෙනත් කොහේද රටකටලු! ඉතින් ඒ රටෙන් පුංචි කෝච්චි එපා! කිව්වලු! ඒ පාර ලංකාවට පුංචි කෝච්චි ටික පටවල එව්වේ! මේ පින්සර පුංචි කෝච්චිය ගැන අහපු කතන්දරයක්.

මුල් කාලයේ පුංචි කෝච්චි කොළඹ සිට ඕපනායක දක්වා ගිහින් තියෙන බවට වාර්තා ඇති බව පින්සරට කියා දී තිබුණා. ඒ විතර ද! පින්සර පොඩි කාලයේ පුංචි කෝච්චියෙන් රත්නපුර පාරෙ සිරිපාද වන්දනා කරන්නන් ගිහින් ඇති බවට මතක හේතුවක් ද තිබුණා. වන්දනා නඩය හිටි දුම්රිය මැදිරියෙ හිටි පින්සර, ඉණේ තිබුණ හවඩිය ගලවල එළියට විසි කරනවා මතකයි! කේන්ති ගිහින්ද? නැත්ද? කියා නම් පින්සරට මතක නැහැ.
ඒ කාලයේ පොඩි පිරිමි ළමයින්ට ‘ඉණේ පාළුව යන්න’ සුදු යකඩින් ද කොහෙද හදපු දම්වැල් විශේෂයක් පලඳවන සිරිතක් තිබුණා. හවඩියේ කොන් දෙකේ එය ඉණට තබා තද කරගන්නට අවශ්‍ය කොකු වගේ දෙයක් තිබුණා.
ඉතින් නුගේගොඩ පුංචි කෝච්චි දුම්රිය පොළ පිහිටා තිබුණෙත් හරිම අපූරු තැනකයි; දුම්රිය පොළ හදා තිබුණේ උඩ පැත්තේ බෑවුමක් කපලා. ඒ සමතලා කළ බිම්කඩේ, දුම්රිය අංගණයේ බඩු දුම්රිය නැවැත්විය හැකි ආකාරයෙන් රේල් පීලි සකසා තිබුණා. අංගණයේ ඒ කොටසට දෙපසට විහිදි පියස්සක් (ඉංග්‍රීසි ‘ටී’ අකුරේ හැඩයට උඩින් දෙපසට නැමුවා සේ) සකසා තිබුණා.
ප්‍රධාන අංගනයේ දුම්රිය මාර්ගය, දුම්රිය දෙකකට මාරු විය හැකි ලෙස මගී දුම්රිය වේදිකාව ඉදිරිපිට සකසා තිබුණා.
දුම්රිය පොළ උඩ පැත්තෙන් බෑවුම එක මායිමක් වුණා; අනෙක් පැත්තෙන් මායිම වූයේ දුම්රිය පොළ ඉදිරිපිටින් ඇදුන පටු මඟයි. පටුමඟේ වම්පස උස ගස් පෙළක්; ඊට ඔබ්බේ ‘යූ.සී. පාර්ක්’ අන්දර වැට නිල්ලක් විහිදමින් පැතිරුණා.
දුම්රිය පොළ ප්‍රධාන ගොඩනැඟිල්ල තනා තිබුණේ කළු ගලින් බවයි, පින්සරට පෙනී ගියේ. දුම්රිය පොළේ ගොඩනැඟිල්ලේ සිට දෙපසට සුදු පාට ගෑ, (හිස පැත්ත උල් හැඩයෙන් යුත්) ලී වැට ඉතා අලංකාර පෙනුමක් ගෙනාවා. එය එක් පැත්තකින් පරණ කැස්බෑව පාරේ රේල් ගේට්ටුව දක්වාත්, අනෙක් පැත්තෙන් පල්ලිය පාරේ රේල් ගේට්ටුව දක්වාත්, ලී වැට ඉදිකර තිබුණා. ඒ දෙකෙළවරේම, ‘සිග්නල් දෙන මුරකරු කුටි’ තිබුණා. ඒ අද්දර ඉහළ – පහළ දැමිය හැකි ‘සිග්නල්’ කණුවෙන් සංඥා දීමට ඉහළ – පහළ දැමීමට හැකි අණ්ඩක් තිබුණා. කුටිය තුළ නිල් සහ රතු කොඩි රෝල් කර තිබුණා.
මුළු දුම්රියපොළම සුදෝ සුදු පාටින් හුනු පිරියම් කර සුදෝ සුදින් බැබලුණා. පටුමඟට මුහුණපා ඇති දුම්රිය පොළ ප්‍රධාන දොරටුව දෙපසත් සුදු ලී පටිවලින් දෙපසම ඇතුළු වන සීමා ලකුණු කළා වගෙයි. ඇතුළු වූ තැනම වම්පස ‘ප්‍රවේශ පත්‍ර කවුළුවයි’. දුම්රිය ස්ථානාධිපති නිල ඇඳුමත් සුදෝ සුදු ඇඳුමක්; හිස් වැස්මත් සුදුයි! අමුතු තේජාන්විත බවක් ඒ නිල ඇඳුමේ තිබුණා. දුම්රිය, දුම්රිය පොළට ඇතුළු වනවාත් සමගම දුම්රිය ස්ථානාධිපති ‘ටැබ්ලට්’ මාරු කරන ලීලාව හරි අපූරුයි!
උදය සහ සවස කොළඹ රටේ රාජකාරි කරන උදවියගෙන් වැඩි වශයෙන් දුම්රිය පොළ පිරී යයි. ඒ හැර පාසල් සිසුන් මෙන්ම සිය කටයුතුවලට පිටත්ව යන සාමාන්‍ය උදවිය ද ඉන්නවාය!

රේල් ගේට්ටුව වහන්නට පෙර සීනුව නාද වෙනවා. රේල් ගේට්ටුව වැසෙනවා; වාහන තදබදය දෙපැත්තේම තිබෙනවා. විනාඩි පහක් හෝ ඊට වැඩි කාලයක් ‘රේල් ගේට්ටුව’ වැසී තිබෙන වේලාවන් ද තිබුණා. ඒ දුම්රිය ප්‍රමාදයන් හේතුවෙන්.
දුම්රිය පොළේ මගී වේදිකාව තරමක දිග බිම් තීරුවක්. දුම්රිය පොළ වහලයේ මල් වැල්ය. බිම් තීරුවේ කැනාස් මල් පිපී පඳුරුය. තැන තැන මල් පෝච්චිය.
මේ සියල්ලෙන් සපිරි නුගේගොඩ දුම්රිය පොළ ඇතුළත අංගනය සිහිපත් කරන්නේ උඩරට දුම්රිය පොළක් වගේ නේ දැයි පින්සරට කල්පනා වුණා.
ඇතැම් හවසක දුම්රිය පොළටත්, යූ. සී. පාර්ක් එකටත් මැදින් ඇති පටුමඟේ ඇවිද යාමට පින්සර ආශා කළා; පෙත් මඟ හරිම පියකරුයි! ඇවිද යනවිට හිතට හරි නිස්කාංසුයි.
- නල්ලයියා – වීරසිංහ මුදලි – කීගල් –
බර්ගර් – මුස්ලිම් – නන් විසිතුරු
මිතුරු සපිරි !
1958 අවුරුද්ද ලබන තෙක්, නුගේගොඩ සිංහල උදවිය, යාපනයේ දෙමළ උදවිය, බර්ගර් ජාතික උදවිය, ඉන්දියානු දෙමළ, කේරළ, මලයාලි කම්කරු උදවිය වෙනසකින් තොරව සිටියා කියායි පින්සරට හිතුණේ. නුගේගොඩ පදිංචි සිංහල උදවියගෙන් වැඩිදෙනා ගමෙන් නගරයට සංක්‍රමණය වූ උදවියයි; ඒ වගේම ඒ අතර ලංකාවේ උතුරෙන්, දකුණෙන්, නැඟෙනහිරෙන්, වයඹින්, රජරටින්, අම්පාර – මොණරාගල වගේ ඈත පළාත්වලින් ආපු අයත් උන්නා. නුගේගොඩ ‘පැණි කඩේ’ උදවිය ඇවිත් සිටියේ මීගොමු – හලාවත දිහාවෙන්.
ඉන්දියානු පිරිවර තමයි, මේ හැමෝටම වඩා වෙනස් වුණේ. පානදුර විවිධ ගම්වලින් ඇවිත් සිටි මුස්ලිම් උදවියත් දැක්ක තැන හඳුනා ගන්න පිළිවන්කම තිබුණා. හිසට ගැට ගැසූ ලේන්සු, වළලුකරින් උඩට අඟල් ගණනක් කොටට අඳින සරොම්, අත් දිග බැනියම් මේ මූලික ලක්ෂණ සේ පින්සරට පෙනී ගියා.
නිවී සැනහුණ මිනිස්සු
නුගේගොඩ ගමේ ඇත්තෝ සතුටින් – සන්තෝෂයෙන් සිටි බවයි පින්සරට පෙනී ගියේ. ජීවිතය හරිම සාමකාමියි. හැමෝටම හැම දෙයම තිබුණාමත් නොවෙයි. ඒත් හැමෝම තමන්ගේ පාඩුවේ කටයුතුකළා; පුද්ගලික වාද – භේද නොදැක්ක තරම්!
වැඩි දෙනා ගමේම උදවියයි. පිටගම්කාරයන් සිටියා නම් නාවල පාරේ ගෙවල් පේළියේ ගෙයක් කුලියට ගෙන පදිංචි වූ පවුල් පමණයි. පාරම්පරික පවුල්වල වැඩිදෙනා රජයේ සේවකයන්.
ඒ අතර ව්‍යාපාරික පවුල් කිහිපයක් ද සිටියා. දොන් පීරිස් වීරසිංහ මුදලිතුමා ඉන් කැපී පෙනුණා. එතුමා පිටකොටුවේ සිංහල බෙහෙත් බඩු වෙළඳාම මහා පරිමාණයෙන් කළා. එතුමාට ආණ්ඩුවෙන් ‘මුදලි’ තානාන්තරයක් ද පිරිනමනු ලැබුවා. නුගේගොඩ ගමේ පන්සල වූ ශ්‍රී විජයවර්ධනාරාම පන්සලට යන ගුරු පාරේ එතුමා පදිංචිව සිටියා.
විජයවර්ධනාරාම පන්සලට යන පාර පටන් ගන්නා ඉසව්වේම (නාවල පාරට මුහුණලා) නල්ලයියා ‘බැංකු මැනේජර්’ මහතාගේ ගෙදරයි; කොළඹ ලංකා බැංකුවේ සේවය කළ එතුමා, උදේට ‘ටසෝ’ රෙද්දෙන් මැසූ කලිසම් කෝට් හැඳ, ටයි පටියක් පැලඳ, සූට්කේසයක් ද අතින් දරා ගමන් කරන්නේ අභිමානයෙන්.
නුගේගොඩ ගමේ පුද්ගලික වාහනයක් භාවිත කළේ දොන් පීරිස් වීරසිංහ මුදලිතුමායි. මුලින් ‘වෑන්ගාඩ්’ වර්ගයේ රියක් භාවිත කළා; පසුව ‘බෙන්ස්’ වර්ගයේ කාරයක යාම් ඊම් කළා.
අනෙක් බොහෝ දෙනා ගමන් කළේ බසයෙන්; බයිසිකල් ‘පාපැදි’ භාවිතය බහුලව තිබුණා. මොටෝ සයිකලයක් පැද යන අය දුටුවේ ඉඳ හිටයි. පින්සරගේ අයියාට හම්බර් වර්ගයේ අලුත්ම පාපැදියක් තිබුණා.
විජයවර්ධනාරාම පන්සල පාර පටන් ගන්නා අනෙක් පස විසුවේ එදිරිසිංහ පවුලයි. ඔහුත් රජයේ සේවකයෙන්. පැරණි පන්නයේ වටකුරු කුලුනුවලින් වට වූ ගෙදර ඉදිරිපස කවාකාර ඉස්තෝප්පුවක්; පුටු පෙළක් දුර වාරයකට තබා තිබුණා. සිංහල උළු සෙවිලි කළ නිවස සුවිශාලයි.
එදිරිසිංහ ගෙවත්ත නාවල පාර මායිමේ සිට, විජයවර්ධනාරාම පන්සලේ මායිමේ පිහිටි ගුරු පාර දක්වා විහිදී විශාල වත්තක්; වත්තේ කෙළවර තිබූ කජු ගස් යායේ කජු පුහුලන් බහුල කාලයට ගමේ කොල්ලෝ කුරුට්ටෝ හෙමි හෙමින් එහි යාම සුලබ දැක්මක්.
එදිරිසිංහ පවුලේ ඉඩමට යාව, ජයකොඩි පවුල වාසය කළා. ඔවුන් අතර ඥාතිත්වයක් ඇතැයි ද කියාවුණා. ඒ නිවසත් පැරණි පන්නයේ කුලුනු සහිතයි. සිංහල උළු සෙවිලි කළ වහලක්; මිදුලේ ඉදිරිපස විශාල දෙල්ගහ වට කර, සුදු වැලි ඇතිරූ වටකුරු මාවතක් තිබුණා. වැටේ අරලිය මල් ගස් පෙළක්. සුදු අරලිය මල් කිනිතිවලින් විටෙක ඒ ගස් පිරී යනවා.
ජයකොඩි මහතා ද, ඊට අල්ලපු වැටේ පෙරේරා මහතා ද රජයේ සේවකයන්. පෙරේරා මහතා ද තැන්පත් චරිතයක්. නිවාස දෙකේම පිරිමි සහ ගැහැනු ළමයින් වශයෙන් දරුවන් දෙදෙනකු බැගින් සිටියා.
ඊට එහා පැත්තේ පුංචි පටුමඟේ බර්තොලමියුස් නම් බර්ගර් ජාතික දරු පවුලගෙ නිවාසයයි; ඉරිදා උදේ ඔවුන් නුගේගොඩ පල්ලියේ යාඥාවට යාම සුලබ දැක්මක්; ඒ පවුලේ අම්මා හඳින්නේ දණහිසින් පහළට විහිදි ගවුම්ය. පිරිමි දරුවාත්, පියාත් කලිසම් කමිස හඳිනවා. දියණිය අම්මා මෙන්ම, ගවුම් හඳියි.
දවසක් දා පින්සර ඒ නිවසට ගියේ අම්මාගේ පණිවිඩයකටයි. උවමනාව ඉටු කර දුන් ඒ බර්ගර් මාතාව,
“ගෙදර ගියහම අම්මට කියන්න – මං කිව්වා කියලා – කුකුල් බෙටිත් බේතට උවමනා වෙනවය කියා!” යනුවෙන් පවසා සිටියා.
පින්සර ගෙදර යන ගමන් කල්පනා කළේ ‘ඔය කුකුල් බෙටි ඕන තරම් තියෙද්දී – එහෙ කුකුල් බෙටි මොකටද?’ කියායි. එනමුදු වයසින් වැඩෙන විට පින්සර එය ඇනුම් පදයක් බව දැනගත්තා.
තවත් බර්ගර් පවුල් කිහිපයක්ම මේ ගෙවල්වලට එහායින් තිබූ ගෙවල් පේළියේ සිටියා; නැන්සි අක්කා, යසෝ අක්කා සහ එව්ලින් අක්කා හැදුනේ මෙයින් එක් නිවසක් වූ ‘පීටර්’ ගේ නිවසේ. අවිවාහක අක්කලා දෙන්නා සමග පීටර් එහි පදිංචිව සිටියා. පීටර්ද අවිවාහකයි!
අම්මා ඇයගේ මිතුරියන් වූ පීටර්ගේ අක්කලා මාර්ගයෙන් පින්සර දහවල් පාසල් ගොස් පැමිණි පසු, ඉංග්‍රීසි කතාව පුහුණු වීමට මේ ‘ලන්සි ගෙදරට පංගාර්තු කිරීමට’ සමත් වූවා. පින්සරගේ ගුරුවරිය වූයේ නැන්සි අක්කා. හුරුබුහුටි තලඑළලු නැන්සි අක්කා චාම් තරුණියක්.
මේ වනවිට නැන්සි අක්කා රජයේ සේවයේ යෙදී සිටි ප්‍රේමදාස නම් තරුණයා සමග පෙමින් වෙළී උන්නා. ඇතැම් සවසක විජයවර්ධනාරාම පන්සලට හැරෙන තැන වදුල් ගහන වැට අද්දර ප්‍රේමදාසත් – නැන්සි අක්කාත් පෙම් පිළිසඳරේ යෙදී සිටිනු සුලබ දැක්මක්.
රීගල් සිනමාහලේ ‘ටිකට්’ පරීක්ෂකවරයකු ලෙස සේවය කළ බර්ගර් තරුණයා, හිස කෙස් මොල්ලියක් සේ මුදුන් කර පීරන්නෙක්; සුදෝ සුදු වතින් සැරසුණු අයෙක්; ඔහු අපගේ ආකර්ෂණය දිනූවෙක්. ඔහු හැඩ වැඩයි. ඔහු ලොකු අයියාගේ යාලුවෙක්.
ඒ ඉදිරිපිට කොලෝනියල් මෝටර් සමාගමේ සුපවයිසර්වරයකු ලෙස සේවය කළ බර්ගර් ජාතික කීගල් පවුල විසූ ගෙදර මායිම්ව තිබුණේ, මැල්වත්ත නමින් හඳුන්වන රබර් වතු යායටයි. පසුකල ‘ඇඩ්ලින් විතාරණ මිනීමැරුම් නඩුවේ’ සාක්ෂිකරුවකු ලෙස ද ඉදිරිපත් වූවා පින්සරට මතකයි.
ඉතින් සිංහල, දෙමළ, බර්ගර් ආදී විවිධ ජන කණ්ඩායම් නුගේගොඩ ගමේ විවිධ වර්ණ පදාස වගෙයි.
ඉන්දියානු කම්කරු උදවිය නම් ටික කාලයක් ලංකාවේ ඉතා මහන්සියෙන් වැඩ කර මුදලක් හරි හම්බ කරගෙන ගම් රටවල් බලා පිටත්ව යාම සිරිතයි. ‘එක්කෙනෙක් – දෙන්නෙක් ලංකාවට සින්න වෙනවා’ කියා වැඩිහිටියන් කියනු පින්සර අසා තිබුණා.
පියසේන වික්‍රමගේ