Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රජවරු පියවරු ගැන ආයෙත් කතා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රජවරු පියවරු ගැන ආයෙත් කතා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

රජවරු පියවරු ගැන ආයෙත් කතා

June 29, 2025
91 Views

පළාත් පාලන ඡන්දය අවසන් වී සති ගණනක් ගෙවී ගියත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පසුගිය සතිය වන විටත් සම්පූර්ණයෙන්ම අවසන් වී තිබුණේ නැත. ඊට හේතුව මාලිමාවේ කණ්ඩායමට වඩා බලය විපක්ෂයට වැඩි බොහෝ පළාත් පාලන ආයතනවල සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පවත්වන ඡන්දය ගැටලුකාරී වූ එකක් නිසාය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පැවැති රහස් ඡන්දය හා එම රහස් ඡන්දය පැවැත්වීම වෙනුවෙන් නාගරික කොමසාරිස් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත එතැන් පටන් මුළු රටටම බලපාන්නට පටන් ගත්තේය. නීත්‍යානුකූලව ගෙන බලන විට හරි වුවත් වැරදි වුවත් කොළඹ ආදර්ශය මුළු රටටම පූර්වාදර්ශයක් වූ නිසා විපක්ෂයට බලය වැඩි සෑම පළාත් පාලන ආයතනයකම එමගින් වාසි සැලසුණේ මාලිමාවේ කණ්ඩායමට යැයි කිවහොත් වැරදි නැත.

මේ ආකාරයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පමණක් විපක්ෂයට බලය වැඩි පළාත් පාලන ආයතන 14ක් තිබිණි. බලය පිහිටුවීම සඳහා පළාත් පාලන කොමසාරිස්වරිය පවත්වන ලද ඡන්දය රහස් ඡන්දයක් බවට පත්කිරීම නිසා මේ ආයතන 14 න් 13කම බලය පිහිටුවන්නට මාලිමාවේ කණ්ඩායම සමත් විය.

එහෙත් බලය පිහිටුවීම සඳහා බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ඡන්ද විමසීම තීරණාත්මක එකක් විය. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව, එය මුළු ලංකාවේම පළාත් පාලන ආයතනවල පැවති ගැටලුවට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේ එම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වූ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ආසන සංවිධායකවරුන්ගේ ක්‍රියාකලාපයන්හි ප්‍රතිඵලයක් හැටියටය.

බණ්ඩාරගම පළාත් පාලන ආයතනයේ මැතිවරණ ප්‍රතිඵලය වූයේ මාලිමාවට ආසන 16 හිමිවන විට මුළු මහත් ඒකාබද්ධ විපක්ෂයට ආසන 18ක් හිමිව තිබීමයි. මෙම ගැටලුව විසඳීම සඳහා ඡන්ද විමසීම තිබුණේ පසුගිය සතියේ වුවත් ඊට පෙර දින ගණනාවක සිටම ගොඩ වැඩි කර ගැනීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ආරම්භ කළ මෙහෙයුම දිවාරැයේ ක්‍රියාත්මක විය. මාළිමාව දිනවීම සඳහා එම මෙහෙයුම සංවිධානය කළේ රජයේ ප්‍රබලයකු වන නලින්ද ජයතිස්සයි. විපක්ෂයේ මන්ත්‍රී අසුන් 18 සමග නිරතුරුව කතාබස් කරමින් ඔවුන්ව එක මත එක රඳවා ගැනීමේ මෙහෙයුම අනිත් පැත්තෙන් ක්‍රියාත්මක කළේ බණ්ඩාරගම ආසනයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක පරිසරවේදී නයනක රන්වැල්ලයි. ඊට අමතරව රෝහිත අබේගුණවර්ධන හා ලලිත් චන්දන කුමාර විපක්ෂය එක්ව තබා ගැනීමේ මෙහෙයුමට කැමැත්ත පළ කර සිටියහ.

විපක්ෂයේ ආසන 18න් වැඩි කොටසක් තිබුණේ සමගි ජන බලවේගයට වුවත් එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, පොදුජන පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, බදියුදීන්ගේ මක්කල් කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ ආදී කණ්ඩායම් හතක් ඒ දහ අටදෙනා වෙනුවෙන් විපක්ෂයේ එක්ව සිටියහ. නයනක රන්වැල්ල පසුගිය මුළු කාලයම ගත කළේ මේ 18ට දෙනා තනි මතයක තබාගැනීමට එකී පක්ෂ හත සමග සාකච්ඡා කරමිනි.

මේ අතර නලින්ද ජයතිස්ස ඇතුළු මාලිමාවේ සංවිධායකයන්ද විපක්ෂයෙන් කීප දෙනෙක් තම කණ්ඩායම වෙත ඈඳා ගැනීමට ලොකු සටහන් ගෙන ගියහ. ප්‍රධාන පක්ෂවල නායකයන් හා ආසන සන්විධායකයන් හමුවෙමින් ඒ වෙනුවෙන් කළ සාකච්ඡා කෙළවරක් නොවීය. මෙහිදී මාලිමාව වැඩිපුර අවධානය යොමු කර තිබුණේ ජාතික ජනබලවේගයේ නියෝජිතයා හා බදියුදීන්ගේ මක්කල් කොංග්‍රසයේ නියෝජිතයා ස්වාධීන කර ගැනීමටය. ආරංචි වූ පරිදි මේ වෙනුවෙන්, දෙපැත්තක සිටියත් හොඳම මිතුරන් දෙදෙනකු වන ලාල්කාන්ත හා විමල් වීරවංශ පවා සාකච්ඡා කර තිබිණි.

එහෙත් විමල් වීරවංශගේ හා ජයන්ත සමරවීරගේ මතය වී තිබුණේ තම නියෝජිතයා විපක්ෂයේ කණ්ඩායම සමග අත්වැල් බැඳගෙන සිටිය යුතු බවයි. එහෙත් නායකයෝ කුමක් කීවත් එකී නියෝජිතයා සිටියේ දෙළොවක් අතරය. ඊට හේතුව ඒවා වතාවක් මාලිමාවේ කළුතර දිස්ත්‍රික් ප්‍රබලයෝ එම නිවසට පැමිණ ඔහු හා සාකච්ඡා කර තිබීමයි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ කේක් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොකු නමක් දිනූ “වාසනාවන්ත” ප්‍රබල ව්‍යාපාරිකයෙක් ද ඔහුගේ මතය වෙනස් කිරීම සඳහා නිතර යමින් එමින් හමුවෙමින් දැඩි ප්‍රයත්නයක යෙදී සිටියේය. ඔහුට අමතරව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අනිත් චංචල පුද්ගලයා වූයේ මක්කල් කොංග්‍රසයේ ඉක්‍රාම් මොහොමඩ්ය. ඔහුද දෙළොවක් අතර සිටියත් ඔහුගේ නායකයා වූ බදියුදීන් විපක්ෂයේ සන්ධානය හා එක්ව සිටීමට කැමැත්ත පළකර තිබුණි. පළාත් කොමසාරිස්වරිය සභාපති තේරීම සඳහා ඡන්දය පවත්වන්නට සූදානම් වූයේ ඔන්න ඔය පසුබිම තුළය.

මෙම ඡන්ද විමසීම පැවැත්වූයේ බණ්ඩාරගම සල්පිටි බද්ධ කාර්යාලයේය. එම ඡන්ද විමසීමේ අවස්ථාවට නලින්ද ජයතිස්ස, ඕෂදී ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ මාලිමාවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් පැමිණ සිටියහ. අනිත් පැත්තෙන් විපක්ෂය වෙනුවෙන් සහභාගි වී සිටියේ ආසන සංවිධායක නයනක රන්වැල්ලයි.

“කොමසාරිස්තුමිය අනිවාර්යයෙන්ම මෙතෙන්දී රහස් ඡන්දයක් පවත්වන්න හදනවා. ඒක තමයි එයාලයි සැලැස්ම. ඕගොල්ලො මොනම විදිහකටවත් ඒකට එකඟ වෙන්න එපා. සභාපති තෝරන්න රහස් ඡන්දයක් පවත්වනවා දැයි තීරණය කරන්න රහස් ඡන්දයක් තිබ්බොත්, ඔයාලා ආසනෙන් නැගිටලා “අපි කැමති නෑ” කියන එක ප්‍රකාශ කරන්න. පනතේ තියෙන්නෙම නම විමසා ඡන්දය ගන්න කියලනේ. එතකොට බලාගන්න පුළුවන් මාලිමාවට අමතරව කවුද පෙට්ටිය ළඟට ගිහිල්ලා රහස් කියන්නේ කියලා.” මෙතනදී නයනක විපක්ෂයේ සිටින දහ අට දෙනාම එම මතයට කැමැති කරවා ගන්නට සමත් විය. එහෙත් ජාතික ජනබලවේගයේ නියෝජිතයා කුමක් කරන්නේ දැයි ඒ වන විටත් ප්‍රශ්නයක් තිබිණි.

රහස් ඡන්දයක් පැවැත්වීමට පෙට්ටියක් ගෙනත් තබා කොමසාරිස්වරිය ඒ සඳහා නම් අඬගසනු ලැබීමේ දී මාලිමාවේ නියෝජිතයන් සියලුම දෙනා පෙට්ටිය ළඟට ගොස් ඡන්දය ප්‍රකාශ කළත් විපක්ෂයේ නියෝජිතයන් 18 දෙනාගෙන් 17ක් දෙනකුම ආසනයේ සිටම කීවේ රහස් ඡන්දයකට අපි කැමති නෑ කියාය. එහෙත් ජාතික ජනබලවේගයේ නියෝජිතයා පෙට්ටිය ළඟට ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.

මේ අනුව කොමසාරිස්වරිය ඡන්ද ගණන් කරමින් දෙපැත්තටම ඡන්ද 17 බැගින් තිබෙන බව නිවේදනය කළේය. දැන් කළ යුත්තේ කුසපත් ඇදීමකින් ජයග්‍රහණය තීරණය කිරීම බව ඇය කීවත් සභාව ඇතුළේ සිටි නලින්ද ජයතිස්ස කටහඬ අවදි කරමින් තම නියෝජිතයන්ට ඊට එකඟ වන්නට එපා යැයි උපදෙස් දුන්නේය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් ඇතුළු විපක්ෂයේ කණ්ඩායම කෑ කෝ ගසන්නට වූහ.

ඒ අතර නාගරික කොමසාරිස්තුමිය තම මතය ප්‍රකාශ කළේය.

කලින් කුසපත් ඇද ජයග්‍රහණය තීරණය කරනවා යැයි කී ඕ අවසානයේ කීවේ වෙනත් කතාවකි. රහස් ඡන්දයක් විමසන අවස්ථාවේ ක්‍රමානුකූලව පෙට්ටිය ළඟට පැමිණ තම ඡන්දය ප්‍රකාශ කර නැති 17 දෙනාගේ ඡන්ද අවලංගු බව ඕ ප්‍රකාශ කළාය.

එම තීන්දුවත් සමගම සභාවේ මහා ගාලගෝට්ටි ඇතිවන්නට විය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දෙනා ඇයගේ එම තීන්දුවත් සමගම යකා නටන්නට වූහ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කටයුතු කළ 16 දෙනාද මෙම අවස්ථාවේ ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් කෑ කෝ ගහන්නට වූහ. කොමසාරිස්වරියගේ තීන්දුව නිවැරදි බව කියමින් ඔවුහු විපක්ෂයට අභියෝග කළහ.

සභාව සන්සුන් කර ගැනීමට නොහැකි වූ තැන කොමසාරිස්වරිය කළේ සභාපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීමයි. එදා ඒ අයුරින් බණ්ඩාරගම පළාත් පාලන ආයතනයේ ගැටලුව අනාගතයට කල් තැබූ කොමසාරිස්වරිය සභාවෙන් හා ඉන් පිටත රැස්ව සිටිමින් ජනතාවගේ කෑකෝ ගැසීම් මැද පිටව ගියාය.

බණ්ඩාරගම ආසනයේ විපක්ෂයේ ක්‍රියාකාරීන් පැමිණ නයනක වට කරගෙන ඔහුට ප්‍රශංසා කරන්නට වූ අතර නලින්ද ජයතිස්ස ඇතුළු මාලිමාවේ කණ්ඩායම පිටත්ව යන්නට එළියට බැස්සහ.

යූ එන් නියෝජිතයාට නාමල්ගෙන් තරවටුවක්….

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවැති සැටියක් නොවීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන වෙන වැඩ කටයුතුවල නිරත වෙමින් තම තමන්ගේ ගම් පළාත්වල ය. ඒ අතර විපක්ෂයේ බොහෝ දෙනකු අවධානය යොමු කර තිබුණේ මේ දිනවල අධිකරණයේ විමසනු නඩු හබ ගැනය. තත්ත්වය එසේ තිබිය දී පහුගිය කාලයේ අපේ ප්‍රධානම මාතෘකාවක් වූ මැදපෙරදිග යුද්ධයට ද යම් විවේකයක් ලැබුණු ගානය. රටේ විශේෂ අවධානය දිනාගත් කිසිවක්ම තිබුණේ නැති තරම්ය. ඔය අතරතුර ලංකාවට විශේෂ අමුත්තෙකු පැමිණියේය.

මේ අමුත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ ලේකම්වරයාය. ඔහු පැමිණ රටේ නායකයන් හා විවිධ පක්ෂවල නායකයන් හමුවී කරන ලද සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ හමුවක් පවත්වන්නට කථානායකවරයා තීන්දු කළේය.

ඒ අනුව එම පක්ෂ නායක හමුව පාර්ලිමේන්තුවේදී පැවැතියේ පසුගිය අඟහරුවාදා දිනයේදීය. මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයන් පැමිණ සිටියහ. මේ වන විට පාර්ලිමේන්තුවේ උතුරු නැගෙනහිර පළාත්වල ඇතුළු ස්වාධීන කණ්ඩම්වල නියෝජනය වැඩි බැවින් පක්ෂ නායක රැස්වීමට දෙමළ මුස්ලිම් නියෝජිතයන්ගේ සහභාගිත්වය වැඩිය.

අනිත් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයාගේ අවශ්‍යතාවය වූයේද උතුරු නැගෙනහිර හා සෙසු පළාත්වල සුළු ජාතීන්ගේ ප්‍රශ්න ගැන වැඩිපුර කතාබහ කිරීම හා ඔවුන්ගේ අදහස් දැනකියා ගැනීම බව පෙනෙන්නට තිබිණි.

බිමල් රත්නායක ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වී සිටි අතර විපක්ෂ නායක සජිත් ද පැමිණ සිටියේය. පොහොට්ටුව වෙනුවෙන් නාමල් රාජපක්ෂත්, සර්වජනබලය වෙනුවෙන් දිලිත්ද, එජාපය හා සෙසු කණ්ඩායම් නියෝජනය කරමින් සිංහල ජාතික මන්ත්‍රීවරු කීප දෙනෙක්ද සහභාගි වී සිටියහ.

මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්නට විනාඩි 30ක කාලයක් ලැබිණි. එහිදී පළමුව කතාව පටන් ගත්තේ සජිත්ය. ලැබී තිබූ කාලයෙන් වැඩිම වේලාවක් ඔහු කතා කරමින් කී දේ බොහෝ දෙනකුට තේරුණේ නැත. ඉංග්‍රීසියේ හරබර ගැඹුරුම වචන ඔහුගේ කතාවට අන්තර්ගත විය.

උතුරු නැගෙනහිර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරද්දී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ හැසිරෙන්නාක් මෙන් ඉවක් බවක් නොමැතිව කතා කළේය…

ඔහු උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණකම් ගැන කියමින් යුද්ධ කාලයේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ ආකාරය විස්තර කළේය. අර්චුනා එසේ කතා කරන විට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කීපදෙනෙක්ද ඔහුට සහාය පළ කරමින් ඔහුගේ අදහස් සනාථ වන අයුරින් කතා කළහ. කොටින්ම අර්චුනා කීවේ මෙයයි…

“මේ රටේ අපේ දෙමළ වර්ගයාට මහ ජාතීන්වලින් විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. යුද්ධය කාලේ කරදර වුණා. අපේ මිනිස්සු මැරුණා, අතුරුදන් වුණා. සමහරුන්ට මොනවා වුණාද කියල අද වෙනකන් කවුරුවත් දන්නේ නෑ…”

මේ වෙලාවේ නාමල් වටපිට බැලුවත් කිසිවකුත් මේ වෙනුවෙන් උත්තර දෙන්නට උත්සාහ කළේ නැත. අර්චුනා කීවේ යුද්ධය කළ හමුදා නිලධාරීන්ට මෙන්ම යුද්ධය මෙහෙය වූ දේශපාලනඥයන්ටද පරීක්ෂණයක් පවත්වා දැඩි දඬුවම් ලබාදීය යුතු බවයි…

“ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක්. අපේ ජනතාවට සාධාරණය ඉටු වෙන විදියේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් ජාත්‍යන්තර පරීක්ෂණයක්.”

අර්ජුනාගේ ඉල්ලීමට සහාය දක්වමින් සෙසු දෙමළ මුස්ලිම් පක්ෂද අදහස් දක්වන්නට වූ තැන නාමල් කතා කරන්නට පටන් ගත්තේය…

“මේ රටේ ත්‍රස්තවාදී කණ්ඩායමක් රටේ බලය අල්ලන්න යුද්ධයක් කළා. රටේ කොටසක් වෙන්කර ගන්නයි ඔවුන්ගේ අදහස වුණේ… ඒ වෙලාවේ මේ රටේ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වුණ ආණ්ඩුවක්. ත්‍රස්තවාදීන් හිරිහැර කළේ මේ රටේ අහිංසක පොදු ජනතාවට. එසේ හිරිහැර විඳපු අය අතර සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම හිටියා. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වුණු ආණ්ඩුව ඒ වෙලාවේ ත්‍රස්තවාදය මර්දනය කරලා පොදු ජනතාවගේ නිදහස ආරක්ෂා කරගන්නයි යුද්ධය කළේ…”

“යුද්ධ කළා නෙවෙයි. දෙමළ ජන සංහාරයක් කළා. කරුණාකර ඔබතුමාලා මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න…”

මේ වෙලාවේ යූ එන් නියෝජිතයාද අර්චුනාගේ ස්ථාවරය පිළිගෙන ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය…. ඊට උත්තර දෙමින් කතා කළේ දිලිත්ය…

“ඔබතුමා බටහිරදී වගේ මහ ජාතිය සුළු ජාතීන් යන නිර්වචන පාවිච්චි කරමින් අපේ සංස්කෘතිය පිළිබඳ විග්‍රහ කරගන්න එපා. ඕවා බටහිර සංකල්ප. අපි අවුරුදු 2500 ගාණක් තිස්සේ බුදු දහමින් පෝෂණය වෙමින් පැවති සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක්. මානව හිමිකම් කියන එක ඒ සංස්කෘතියේම කොටසක්. ඒක නිසා ඔබතුමාලා මානව හිමිකම් ගැන අපිට අලුතෙන් කියලා දෙන්න ඕන නැහැ. ඔබතුමා මට ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. මම මේ පිළිබඳ ඇත්ත තත්ත්වය ඔබතුමාට ලිඛිතව පැහැදිලි කරන්නම්….” එසේ කියමින් දිලිත් ජයවීර යූ එන් නියෝජිතයාගෙන් අවශ්‍ය තොරතුරු ඉල්ලා ගත්තේය.

ජන සංහාරයක් සිදුවූවා යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ද කීවේය…

“මෙතන ජන සංහාරයක් කෙරුණේ නැහැ. ඒක බොරුවක්. මෙහි සිද්ධ වුණේ ත්‍රස්තවාදයට එරෙහිව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ගෙන ගිය ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමක්.. ඔබතුමාලා ඉතාමත්ම පක්ෂග්‍රාහීව මේ ජන සංහාරයක් සිදුවුණා යැයි කියන කාරණාවට ඇහුම්කන් දෙනවා. ඒක වැරදියි.

අනිත් එක්ක ඔබතුමාලා මේ ලෝකෙ අනෙක් රටවල් වල තියෙන ප්‍රශ්න දිහා බලනවා වගේ අපේ රටේ ප්‍රශ්නේ දිහාත් බලන්න. එහේට එක නීතියක් මෙහෙට එක නීතියක් ගේන්න එපා. මානව හිමිකම් පිළිබඳ ලෝකයේ අනිත් රටවල් දිහා බලන විදියට අපේ රට දිහාත් බලන්න.

මේ ප්‍රශ්නෙ තියෙන තවත් රටවල් ලෝකෙ තියෙනවා. ඕගොල්ලෝ මේ විදියට ඒ රටවල් දිහා බලනවා…

නාමල් ඉතා දැඩි සේ අර්චුනාගේ කතාවට විරෝධය පළ කරමින් හා යූ එන් නියෝජිතයන් සිටි ස්ථාවරයට විරුද්ධ වෙමින් කතා කළත්, රජය වෙනුවෙන් සහභාගි වී සිටි කිසිවෙක් ඒ ගැන වචනයක්වත් කතා නොකරන්නට වග බලා ගැනීම විශේෂත්වයකි.

ඒ සාකච්ඡාවේදී ලබාදී තිබූ වෙලාව සීමිත බැවින් බොහෝ දෙනකුට තම අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණේ නැත…

කෙසේ වෙතත් කතා කළ අය අතරින් නාමල් දැක්වූ අදහස් පිළිබඳ කීප දෙනෙක්ම පැමිණ ඔහුට ස්තුතිවන්ත වූහ…

“ආණ්ඩුවේ මිනිස්සු මැදිහත් වෙලා මේ ගැන කරුණු කියන්න එපායැ. ඒගොල්ලො සද්දයක් නෑ. එතකොට විදේශ නියෝජිතයන්ට ස්ථිර වෙන්නේ අර අර්චුනා වගේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන මහා වැරදි කතා…. නාමල් කීවේය.

“අර මනුස්සයා වෙනදා පාර්ලිමේන්තුවේ දී වගේ මෙතනටත් ඇවිල්ල අපිට ලැබිච්ච වෙලාවෙන් භාගයක් කාලා දැම්මා… මානව හිමිකම් ගැන වචනයක් නෑ.” තවත් මන්ත්‍රීවරයෙක් එසේ කීවේ සජිත් ගැනය. යූ එන් ලේකම්වරයා ඇතුළු නියෝජිතයෝ පැමිණ පැවැත්වූ පක්ෂ නායකයන්ගේ රැස්වීම ද එසේ අවසන් විය.

රජවරු පියවරු හා කුමාරවරු ගැන කතා….

පසුගිය සතියේ පානදුර ප්‍රදේශයේ පැවති එක්තරා දානෙ ගෙදරක දේශපාලනඥයන් මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පිරිසක් අපේ රටේ දේශපාලනය ගැන කතාබහ කරමින් සිටි අවස්ථාවක් හමුවිය. ඒ දානෙ පින්කම් ගෙදර නෙත් නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හේමන්ත කහවලගේ ගේ පියාණන්ගේය. කතාබහට එක් වූ ධනසිරි අමරතුංග…

“අපේ මහින්ද මහත්තයාට ජනතාව ඒ දවස්වල කිව්වේ අප්පච්චි කියලා. මහරජාණෝ කියලත් කිව්වා. ඒ මහරජාණෝ මෛත්‍රිපාල සිරිසේනට පැරදුනා. වැඩි කලක් ඉන්න ජනතාව ඉඩ ඇරියේ නෑ. ඊට පස්සේ සහෝදරයා කුමාරයෙක් වෙලා බලය අරගෙන ආවා… මම නම් කියන්නේ දැන් අපි කවුරුත් ඒ අයට මේ වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ. කකුලෙන් අදින්නෙ නැතුව…

“හරියට හරි… ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසක්. දෙන්න ඕන ඕක කරගෙන යන්න.”

මේ කතාබහ කළ අය අතර මදුර විතානගේ, ඩී. වී. චානක, ජානක වක්කුඹුර, රවි කරුණානායක ඇතුළු පිරිසක් ද සිටියහ. ඒ හැරුණු විට විශේෂ කාර්ය බළකායේ හිටපු කමාන්ඩාර් ලතීෆ් කළුතර ඩී අයි ජී ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් හා හමුදාවේ ප්‍රධානීන්ද ගණනාවක්ම සිටියහ…

දැන් මොනවද සී අයි ඩී එක ඇතුළේ වෙන වෙනස්කම්… ඒගොල්ලෝ කරන පරීක්ෂණවලට අනුව තමයි දැන් ආණ්ඩුවට ලකුණු වැටෙන්නේ…

“ඇතුළෙ ලොකු වෙනසක් පේන්නේ නෑ. හැබැයි ශානිට ඩී අයි ජී කම හම්බවෙයි වගේ කතාවක් යනවා…” එසේ කීවේ ඉහළ හමුදා නිලධාරියෙකි.

අල්ලස් කොමිසමත් මේ ආණ්ඩුවට ලකුණු දෙන වැඩ ගොඩක් කළා…

“දැන් ඔය ලොකුවට කතාව යනවනේ දේශපාලනඥයන්ගේ ගෙවල් පිච්චුවා. අසාමාන්‍ය ලෙස වන්දි ගත්තා කියලා…

මුන් කාලකන්ණි, මගේ ගෙටත් ගිනි තියලා කෝටි ගාණක් අලාභහානි කළා. ඒ වුණාට මට සත පහක් ලැබිලා නෑ…” ඒ කීවේ ධනසිරිය.

“අසාධාරණ විදිහට සල්ලි ගත්ත අය ඉන්නවනම් අල්ලලා ඇතුළට දාන එක හරි…”

“ඇත්තටම මේ හොරු අල්ලලා ඇතුළට දාන වැඩේට මම හරි කැමතියි…” ධනසිරි කීවේය.

“ඒකනම් ඇත්ත… දැන් මිනිස්සු පොදුවේ පාර්ලිමේන්තුවේ දේශපාලනය කරපු සහ කරන ඔක්කොටම කියන්නේ හොරු කියලා. මේගොල්ලෝ හරියටම හොරු ටික තෝරලා ඇතුළට දැම්මොත් අනිත් මිනිස්සුන්ට බය නැතුව දේශපාලනය කරන්න පුළුවන්…” එසේ කීවේ එතන සිටි දේශපාලනඥයෙකි.

මහින්ද ජයසිංහ සම්මාන දුන්නු හැටි…

පසුගිය සතියේ ටාජ් සමුද්‍රා හෝටලයේ ලොකු සම්මාන උළෙලක් තිබිණි. එහිදී ලංකාවේ නව නිෂ්පාදකයන්ට ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සාර්ථකත්වයන් දිනාගත් කර්මාන්තකරුවන්ට සම්මාන ප්‍රධානය කළේය. ඒ අතර කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ටද සම්මාන පිරිනැමිණි. වසරේ හොඳම දේශපාලන තීරු ලිපිය සම්මානය හිමි වූයේ මෙම තීරු ලිපිය ලියන රචකයාටය.

මෙම සම්මාන උළෙල සඳහා දේශපාලනඥයන් කීප දෙනෙක්ම පැමිණ සිටීම විශේෂත්වයකි. ඔවුන්ට සම්මාන ප්‍රධානය කිරීම සඳහා ද වේදිකාවට ආරාධනා කර සිටියහ.

එක් වතාවක් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ මහින්ද ජයසිංහ සම්මාන ප්‍රදානය සඳහා වේදිකාවට පැමිණ සිටියේය.

ඔහු සම්මාන දීමට සූදානම්ව සිටින විට මුලින්ම වේදිකාවට ගොඩ වූයේ අයේෂිකා ප්‍රනාන්දු නම් ගුරුවරිය තමන්ට හිමි සම්මානය ලබා ගැනීමටය. මහින්ද ජයසිංහ වහාම තමන් අත තිබූ සම්මානය වෙනත් ප්‍රභූවරයකු අතට දී පැත්තකට වූයේය.

ඒ අතර හොඳම පුවත්පත වෙනුවෙන් සම්මානය ගත්තේ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්තයි. ඔහුට සම්මානය දෙන වෙලාවේදී මහින්ද ජයසිංහ පැමිණ ඒ සම්මානය ගෙන දොඹගහවත්තට දුන්නේය. හොඳම හා ඉතා සාර්ථකම රූපවාහිනි නාලිකාව ලෙස හිරු නාලිකාව සම්මාන ගන්න මොහොතේ ද මහින්ද ජයසිංහ සම්මානය වෙන කෙනකුට භාරදී පැත්තකට වීම විශේෂත්වයකි.

කලාකරුවන් හා මාධ්‍යවේදීන් ඒ ගැන කතාබහ කරන්නට වූහ…

මං හිතන්නෙ මහින්ද කරපු වැඩේ හරි. බැරිවෙලාවත් අයේෂිකා ප්‍රනාන්දුට සම්මාන දෙන්න මහින්ද ජයසිංහ ඉදිරිපත් වුණා නම් අපේම අයියලා ඒ පින්තූරෙ අරන් පත්තරවල දාලා මොන මොනවා ලියයිද…

ඔය කතාව පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක්ව තිබෙනු දැකගත හැකි විය.

ජුලි චන්ග් මැතිණිය සාගරට කී රහස…

පසුගිය සතියේ රුසියානු තානාපතිවරයා නෙළුම් මාවත කාර්යාලයට පැමිණියේය. ඔහු සමග සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහභාගි වූයේ නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් හා ජොන්ස්ටන් යන තිදෙනාය. විශේෂ දේශපාලන කරුණු කාරණා කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක්වූවත් ඒවා පිළිබඳ වැඩි තොරතුරු හෙළිදරව් වූයේ නැත. මෙය සිදුවූයේ පසුගිය බදාදා හවසය. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා හවස කොළඹ තරු පහේ හෝටලයක ඇමෙරිකානු තානාපතිනි චන්ග් මැතිනියගේ සාදයක් පැවැත්විණි. චන්ග් මැතිනිය මෙම සාදය සඳහා තානාපතිවරුන්, විදේශ ඇමැති විජිත, හිටපු මන්ත්‍රීවරුන්, විශේෂ දේශපාලනඥයන් හා ප්‍රභූවරුන් රැසකට ආරාධනා කර තිබිණි.

සමගි ජනබලවේගය වෙනුවෙන් සහභාගි වී සිටියේ රංජිත් මද්දුමබණ්ඩාර හා කාවින්දය. නාමල්ට පැමිණෙන්නට නොහැකි විය. සාගර කාරියවසම් හා මිලින්ද රාජපක්ෂ ආරාධනා පරිදි එතනට සහභාගි වී සිටියහ. කාවින්ද, රංජිත් හා සාගර වාඩිවී කතාබස් කරමින් සිටියේ එකම මේසයකය. ඔවුන්ගේ කතාබහට මාතෘකාව වූයේ වර්තමාන දේශපාලන කරුණු කාරණාය.

ඔය අතර සාගර කාරියවසම් ළඟට පැමිණ ඔහුට පමණක් ඇසෙන සේ ඉංග්‍රීසියෙන් මොනවාදෝ ඇසූ අතර ඊට සාගර හිනා වෙමින් පිළිතුරක් දුන්නේය…

ඒ අතර ආරාධිතයන් ලෙස පැමිණ සිටි ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, දේශපාලනඥයෝ ඇතුළු බොහෝ දෙනෙක් ද එම මේසයට සොයා පැමිණ සාගර හා කතාබස් කරනු ද බොහෝ දෙනකුගේ නිරීක්ෂණයන්ට පාත්‍ර විය.

“මොනවද අරයා අච්චර ළඟට ඇවිල්ලා කතාබහ කළේ…” එතන සිටි දේශපාලනඥයෙක් සාගරගෙන් ඇසුවේය…

වෙන මොනවද ඉතින්… එයා ලස්සනයිද කියලා ඇහුවා.

ඉතින් ඔයා මොනවද කිව්වේ..

“වෙන මොනවා කියන්නද ලස්සනයි කියලා මමත් කිව්වා.” කියමින් සාගර විහිළුවක් කළේය. කිසිවකුත් සමග ඔහු ඒ ඇත්ත කතාව නොකීවත් ඊට වඩා වැදගත් කතාවක් සාකච්ඡා වූ බව බොහෝ දෙනෙක් දැන සිටියහ.

පසුව ආරංචි වූ පරිදි ජුලි චන්ග් විමසා ඇත්තේ රුසියන් තානාපතිවරයා නෙළුම් මාවතට පැමිණීම පිළිබඳ කතාව ඇත්ත ද කියාය.

දැවැන්තයන් දෙදෙනකුගේ පොත් උත්සව දෙකක්…

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පොතක් එළිදක්වන විශේෂ උත්සවයක් පැවැත්වුණේ මේ රටේ දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් කලාකරුවන් හා වාමාංශික දේශපාලනයේ දැවැන්තයන් රාශියකගේ සහභාගිත්වය ඇතිව සිදු වූ උත්සවයකදීය.

පොත ලියා තිබුණේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකරය. “දැවැන්තයන් සමග” යනුවෙන් නම්කර තිබූ මෙම පොතේ අවධානය ලක් කර තිබුණේ ඩී. එස්. සේනානායකගේ සිට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක දක්වාම වූ රාජ්‍ය නායකයන් සමග ඩිව් දේශපාලනයේදී කටයුතු කළ ආකාරය ගැනය.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ වෙන දිනවල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයට පැමිණෙන්නේ නැති පුද්ගලයන් හා ප්‍රභූන් විශාල පිරිසක් මේ සඳහා පැමිණ සිටීමය.

විජයදාස රාජපක්ෂ ඉම්තියාස් බාකිර් මාකර්, විමල් වීරවංශ, දිලිත් ජයවීර, අනුර යාපා, චරිත හේරත්, දයාසිරි, තිලංග, තිස්ස විතාරණ ආදී විශේෂ පිරිසක් සිටියහ. ඒ හැරුණු විට එක් පුවත්පතක හැර ලංකාවේ අන් සියලුම පුවත්පත්වල කතුවරු මේ සඳහා පැමිණ සිටීමද විශේෂත්වයකි. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වා තිබුණේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයි.

ඊට පහුවදා පදනම් ආයතනයේදී ද එවන් උත්සවයක් හවස පැවැත්විණි. උත්සවය සමගි ජනබලවේගයේ සභාපතිවරයාව සිටි ඉම්තියාස් බාකීර් මාකාර්ගේ හෘද සාක්ෂිය පොත එළිදැක්වීම නිමිත්තෙනි.

මෙම උත්සවයටද දේශපාලනඥයෝ රැසක් පැමිණ සිටියහ. සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, ජී. එල්., ඩලස්, බන්දුල හේමකුමාර ඇතුළු හිටපු දේශපාලනඥයෝ රාශියකි.

ප්‍රධාන දේශනා ඔස්ටින් ප්‍රනාන්දු, සාලිය පීරිස් හා හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු පවත්වන ලදහ..

උත්සවය පටන්ගෙන විනාඩි දහයකින් පමණ සජිත් ප්‍රේමදාස නැඟිට ගියේය…

ඒ අවස්ථාවේ කතා කරමින් සිටියේ ඔස්ටින් ප්‍රනාන්දු හිටපු ජනාධිපති ලේකම්වරයාය… ඒ මොහොතේ ඔහු හරි අපූරු කතාවක් කීවේය…

“ඉමිතියාස් බාකිර් මාකර් කියන්නේ ඉතාම වටිනා මිනිහෙක්. හැබැයි ඒ වටිනාකම හරියට තක්සේරු වුණේ නෑ. අඩුම තරමින් මෙතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ නායකතුමාටවත් ඒ වටිනාකම හරියට තේරිලා නෑ…”

ඔය කතාව අසා සිටි මන්ත්‍රීවරයෙක් ළඟ සිටි අනෙක් මන්ත්‍රීවරයාට මෙසේ කීවේය…

“බලන්නකෝ සජිත් ඔය වගේ කතා අහගන්න හැටි. අඩුම තරමින් මේ උත්සවයටවත් ටිකක් වෙලා එයාට ඉන්න තිබුණනේ…”

“මොන පිස්සුද බං… තමන්ගේ පක්ෂයේ මැයි දිනයටවත් හරියට හිටපු නැති මිනිහා මෙතන මේ කතා අහගෙන ඉඳියිද…”

ඒ කතාවට වටේ අහගෙන හිටි මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම හැරී බලා සිනාසෙන්නට වූහ.

බුලිත ප්‍රදීප් කුමාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025
Related News
විශේෂාංග

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

විශේෂාංග

ඉංග්‍රීසි හමුදාව හා නොබියව සටන් කොට දඹුල්ලේ ලෙන් විහාරය ඉදිරිපිට විහාර ම වේදී රාජාභිෂේකය ලැබූ ගොන්ගාලේගොඩ බණ්ඩා

විශේෂාංග

ඉතාලි පුනරුදය

විශේෂාංග

ඩෙන්මාර්කයේ සැඟවුණු පැරණි සිංහල අත්පිටපත්

විශේෂාංග

සෞභාග්‍යයේ සංකේතය පූර්ණ ඝටය හෙවත් පුන්කලස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok