පරිගණක, රූපවාහිනි, දුරකථන (ජංගම) ආදී නවීන තාක්ෂණික මෙවලම් මගින් අධ්‍යාපනය ලබාදීම එකල සුලබ ලක්ෂණයක් විය. විශේෂයෙන්ම මෙවන් ජාලකරණ ව්‍යාපෘතින් හරහා නවීන දැනුම, අභ්‍යාවකාශයේ භූගෝලීය හා විද්‍යාත්මකවූ දැනුම ප්‍රසාරණය පාරිසරික හා නව නිපයුම් වැනි කාරණාවන් වාසිදායක ලෙස ඉටුවනු දක්නට ලැබේ. මෙය වාසිදායක තත්ත්වයකි. නමුත් අප වැනි තෙවැනි ලෝකයේ රටවල් සඳහා මෙවන් තාක්ෂණික උපකරණ මගින් අධ්‍යාපනය ලබාදීම බරපතළ ගැටලුවක් බවට පත්වේ. විශේෂයෙන් 70% ක් පමණ වූ මෙරට ග්‍රාමීය ශිෂ්‍ය ප්‍රජාවට ග්‍රාමීය ප්‍රදේශවල තාක්ෂණික, උපකරණ හිඟවීමත් තාක්ෂණික පහසුකම් නොවීමහත් ග්‍රාමීය ප්‍රදේශවල දුරකථන සංඥා පද්ධති ප්‍රබල නොවීමත් යන සාධක මත මෙම ක්‍රමය අසාර්ථක භාවයට ලක් වන්නට හේතු විණි. එබැවින් අවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන දරුවන් හට මින් විපුල පල නෙළා ගැනීම උගහට විය. නමුදු භාණ්ඩ හා සේවා ප්‍රවාහනය, ආර්ථික ක්‍රියාවලිය හා අන්‍යොන්‍ය හැසිරීම් සීමාවී තිබූ ඒ සාවූ අවධියක අධ්‍යාපනයෙන් ගිලිහීම වැළැක්වීමටත් විභාග ඉලක්ක කරගනිමින් ඉගැන්වීමටත් එය යම් තරමකින් හෝ රුකුලක් ලබාදුන් බව කෘතවේදීව සිහි කළමනා ය. පරිගණක සාක්ෂරතාවය අවම වීම දරුවන් හා ගුරුවරුන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න ඉරණමක් වූ අතර දෙමාපියන් මුහුණදුන් අභියෝගය වූයේ තම දරුවන්ට එවන් වූ වටිනා තාක්ෂණික උපකරණ මිලදී ගෙනවිත් ලබා දෙන්නේ කුමන ආකාරයෙන් ද යන්නය. විශේෂයෙන්ම අප රට වෙසෙන අවුරුදු 18ට අඩු ශිෂ්‍ය ගහනයෙන් 66% කට පමණ අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම උතුම් අරමුණ නිෂ්ටාර්ථයක් කරා ගමන් කිරීම සිහිනයක් බවට පත්ව තිබුණි.
විභාග කේන්ද්‍ර කරගන්නාවූ අධ්‍යාපන ක්‍රමයක් පවත්නා ශ්‍රී ලංකාව වැනි තෙවැනි ලොව රටකට අධ්‍යාපනයෙන් අපේක්ෂිත ප්‍රතිඵල මැන බැලීම සඳහා පවත්වනු ලබන විභාග සඳහා මෙවැනි වසංගත සමයකදී සිසුන් ඒකරාශි කළ නොහැකි වන අවස්ථාවන්හිදී මාර්ගගතව හෝ එකී කාර්යය ඉටු කිරීම පිණිස ශිෂ්‍යයන් සවිබල ගැන්වීම අගය කළ යුතුය.
එහෙත් මාර්ගගත අධ්‍යාපනයෙහි අවාසිදායක තත්ත්වයන් බොහොමයකි. අධ්‍යාපනය යනු හිස් කළයකට වතුර (දැනුම) පිරවීමක් පමණක් නොවේ. අන්තර්ජාලය හෝ දුරකථන ද හරහා යම් යම් පාඩම් ප්‍රමාණයන් ආවරණය වුවද පන්ති කාමරයක සිය සහෘදයන් සමග උසුළු – විසුළු කරමින්, අන්‍යොන්‍ය ක්‍රියාකාරකම්හි නිරත වෙමින්, ගුරු ඇසුරෙහි සහාය ලබමින්, පොතේපතේ දැනුම් රසය ලබමින් සිදුකරන අධ්‍යාපනය මෙන් නොව බාහිර ක්‍රියාකාරකම් නොමැතිවීමෙන් ශිෂ්‍යයන් තුළ සමබර වූ පෞරුෂයක් නම් ගොඩනැංවෙන්නේ නැත. බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීම හරහා ප්‍රායෝගිකව ලබන දැනුම සමබර පෞරුෂයක් සඳහා අත්‍යවශ්‍යම සාධකයකි.
බොහෝ දෙමාපියන් දරුවන් හට දිවා කාලයේදී දුරකථන පාවිච්චියට ඉඩ ලබා නොදී රාත්‍රි කාලයේදී ඊට අවස්ථාව ලබාදී පාසල් වැඩකටයුතු රාත්‍රියෙහිදී කිරීමට ඉඩ ලබාදුන් පුවත් එවක වාර්තා වූ අතර සමහරක් සිසුන් රාත්‍රි දොළහ පසුවන තුරුත් දුරකථන මාධ්‍ය ඔස්සේ පාඩම් ආවරණය කර ගැනීමට උත්සුක වී තිබුණි. මෙසේ වීමෙන් දරුවාට ලැබිය යුතු විවේකය, නින්ද ලබා ගැනීමට නොහැකි වූ අතර එතුළින් මානසික පීඩනය, ආතතිය, සෞඛ්‍ය ප්‍රශ්න ආදිය ඇතිවීමට මුල් වී තිබේ.
එසේම නිරන්තරයෙන් දුරකථන තිරය, පරිගණක තිරය වෙත නෙත් යොමා සිටීම හේතුවෙන් අක්ෂි දුර්වලතා, ස්නායු දුබලතා හා මස්තිෂ්කයෙහි ආබාධ මතුවීමට එය හේතු වූ බව වාර්තා විණි.
විශේෂයෙන්ම දරුවන්ගේ සෛල හරහා අවයවවලට නව දැනුම, කුසලතා ආකල්ප ඇතුළු නොවීම හේතුවෙන් ඔවුන්ගේ සෛල ධාරිතාව අපතේ යයි. එසේ අපතේ ගිය දැනුම නැවත කිසිදිනක ඔවුන්ට නොලැබෙනු ඇත. එම දැනුම භාවිත කර අනාගතයෙහිදී බිහිවිය හැකි විශාල ප්‍රමාණයෙහි නව නිපයුම්, විද්‍යාත්මක සොයා ගැනීම්, නව චින්තනයන් යන සියල්ලම යටපත් වී අපතේ ගිලීයෑම රටක් ලෝකයක් වශයෙන් අප ලත් පරාජයක් ලෙස සඳහන් කළ හැකිය.
නිරන්තරව අන්තර්ජාලය හා මාර්ගගතව රැඳී සිටීම නිසා විනය ප්‍රශ්න මතු විය හැකි ය. එය තවත් අවාසියකි. එනිසා නිසි ලෙසට තාක්ෂණික භාවිතය හා ක්‍රමවේද නියාමනය කිරීම හරහා මෙම තත්ත්වය පාලනය කරගත හැකි වුවද නිරුවත් රූප අන්තර්ජාලයට මුදාහැරීම, වැඩිහිටියන් පරිශීලනය කරන අන්තර්ජාල ප්‍රවේශයන් කුඩා ළමුන් විසින් භාවිත කිරීම, විවිධ වූ විකෘති ඇබ්බැහිවීම්වලට හුරුවීම වැනි අනිසි ක්‍රියාකාරකම් වලට ළමා කැල ගොදුරු වීම වැනි තත්ත්වයන් බරපතළය. එහෙයින් දෙමාපිය – ගුරුභවතුන් ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්වීම හරහා පවතින මෙම අඩුපාඩුව ද මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
අධ්‍යාපනයෙන් අපේක්ෂිත ප්‍රබල කාරණයක් වන්නේ සදාචාර සම්පන්නව සමාජානුයෝජනය වෙමින් සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය ඉඩ පරිසරය සකස් කිරීමයි. එහෙත් සමාජය තුළ එකට ජීවත් වීමටත් එකිනෙකා අතර අන්‍යොන්‍ය දයාවෙන් යුතුව එකට එක්ව කටයුතු කරමින් අනාගතය වෙත ගමන් කිරීමට හරුහුරුකම් මෙම ක්‍රමය හරහා නොලැබීම තුළින් යල්පිනූ තත්ත්වයට ශිෂ්‍ය විනය හා ඒ හා බැඳි ක්‍රියාකාරකම් පත්වේ. එය සාරධර්මවත් වූ අධ්‍යාපනයකින් අපේක්ෂා කරන්නාවූ දෙයක් නොවේ. සමාජානුයෝජනය, බෙදාහදා ගැනීම එකට ආහාර
ගැනීම, කෙළි – සෙල්ලම් කිරීම, දුක – සැප බෙදා ගැනීම වැනි මනෝභාවයන් හට සමාජානුයෝජන කාරකයක් වශයෙන් පාසල විසින් ඉහළ ඉලක්ක සම්පාදනය කළ යුතුය. එහෙත් එවන් පරිසරයක් උද්ගත නොවීම මෙම අධ්‍යාපන ක්‍රමය තුළ දක්නට නොලැබෙන්නකි. අධ්‍යාපනයෙහි සඵල අරමුණ “ජීවත්වීමට ඉගෙනීම” නම් මාර්ගගත ක්‍රමය තුළ එය පුස්සක් බවට අවිවාදිතය.
ගුරුවරුන් ද අන්තර්ජාලයෙහි පවතින බටහිර නව ඉගෙනුම් සංකල්පයන් නිරන්තරව අධ්‍යාපනයට ලක්කරමින් දරුවන් හට නවෝත්පාදකව ඉගැනුම් කටයුතු සිදුකරන්නෙහි වී නම් මෙම ක්‍රමය අතිසාර්ථක වූ ක්‍රමයකි. ඉහත කී ඇතැම් දුබලතා මඟහරවා ගනිමින් නව නිපැයුම් බිහි කිරීමට පවා එවන් විටක හැකියාව ලැබෙනු ඇත.
“සමාජයකට ඉතාම අවශ්‍ය පුද්ගලයා වන්නේ, නව අභියෝගයන්ට මුහුණදිය හැකි, ඒවා හමුවේ තමන් විසින්ම විසඳුම් සොයාගත හැකි වන පුද්ගලයාය. ප්‍රතිභාව අවුළුවන ගිනි පුපුර අන් කිසිවක් නොව – නිර්මාණශීලිත්වයේ ගිනි පුපුරයි.”
(විශේෂ කාරක සභා වාර්තාව – 1943 පිටුව 12)
මේ නව මාර්ගගත අධ්‍යාපනය වසංගත සමයත් සමග ලෝකය පුරා නිෂ්පන්න හා ව්‍යාප්ත වූ අතර එයට ඉදිරිගාමී තල්ලුවක් ලබාදෙන ලද්දේ පශ්චාත් නූතනත්වය හා ජනප්‍රිය සංස්කෘතිය විසිනි. ඒ කෙසේ වතුදු යුරෝපා රටවල කුඩා දරුවන් හට Home Schooling නමින් අධ්‍යාපනය නිවසේ සිටම ලබා දෙද්දී, තෙවන ලෝකයේ රටවල් ලෙස අප අධ්‍යාපනයෙන් ඇදහැලුණු බව මතු සඳහන් කාරණාවන්ගෙන් පෙනේ. ගාන්ධි වරක් කීවාක් මෙන් “අධ්‍යාපනය යනු හිස, හදවත, අත සංවර්ධනය කිරීමක් නම් හිස කෙසේ වෙතත් හදවත හා අත සංවර්ධනය කිරීම ගැටලුසහගත බව මතු සඳහන් කාරණාවන් මගින් සක්සුදක් සේ පැහැදිලිය.
රසවින්දනය ප්‍රමුඛතම අධ්‍යාපන අපේක්ෂාවකි. එහෙත් නිර්මාණශීලීව සිතීමට, ඒ අනුව ක්‍රියා කිරීමට මාර්ගගත අධ්‍යාපනය වැටකඩොලු දමා තිබේ. මෙම ක්‍රමය නිසා පොත්පත්හි සැරිසැරීමට, නොදන්නා කියවීමේ රුචියෙන් ඉවත් වූ දරුවෝ කියවීමේ අගය නොදැක දර්ශන තල තුළ සිරවී සිටිති. මේ දරුවන් පරිපූර්ණ මනසක් සඳහා කියවන්නේ නැත. දරුවන්ගේ හදවත තුළ මානව දයාව ආදරය, කරුණාව, මෛත්‍රිය ආදී ගුණ ධර්මයන් වර්ධනය වන විවිධ මාධ්‍ය අතර කියවීම රසවත් වූ මාධ්‍යයකි. මෙය ළමා සිතට ලැබෙන්නේ සාහිත්‍ය, කලාව, ආගම දහම වැනි සංරචකයන් තුළිනි. ඉදින් මාර්ගගත අධ්‍යාපනය හුදෙක් දේශන ක්‍රමය, ප්‍රදර්ශන ක්‍රමය පමණක් මුල් කරගත් ඉගෙනීම් ක්‍රමයක් වන හෙයින් රසවින්දනයට අනෙකාගේ දුක – වේදනාව අබියස සංවේදී වීමට අවැසි ජාතියක් සඳහා සමාජය තල්ලුකරවන මාධ්‍යන් එතුළ නොමැතිවීම කනගාටුවට කරුණකි. ළමා චින්තන පෞරුෂත්වය දැයේ අනාගතය ගොඩනැංවීමට ලබාදෙන පෘථුල දායකත්වය වටහා ගැනීම වැදගත් ය.
මාර්ගගත ක්‍රමය තුළ පවතින වාසිදායක තත්ත්වයන් ද පවතී. සමාජය තුළ සිටින විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන්ගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම, ගමනාගමනයට ගතවෙන කාලය ද අතිරේකව අධ්‍යාපනයට යොදා ගැනීමට ඉඩකඩ විවර වීම තම තමන්ගේ ඉගෙනුම් වේගය අනුව ඉගෙන ගැනීමට අවස්ථාව උදාවීම, පළමුවර තේරුම් ගත නොහැකි වුවත් දෙවන, තෙවන වර කියවීමෙන් හා ගවේෂණයෙන් පෙරට වඩා හොඳින් ඉගෙන ගැනීමට හැකිවීම, හුදෙකලාව තනිව හිඳිමින් බාහිර බාධකවලින් තොරව ඉගෙන ගැනීමට හැකිවීම, ස්වයං පෙලඹුම්කාරකත්වය, ඇගයීම් ක්‍රියාවලියෙහි බියෙන් තොරව පිළිතුරු ලිවීමට හැකිවීම, ගුරුවරුන්ගේ චෝදනාවන් හා ළමයින්ගේ උසුළු – විසුළුවලට ලක්නොවෙමින් ඉගෙන ගැනීමට හැකිවීම තම විභව්‍යතාවයන්ට අනුකූලව ඉගෙනගැනීමට ඇති හැකියාව, රූපවාහිනියෙහි හෝ පරිගණක තිරය මත දක්වන රූප හා අකුරු මෙන්ම හඬ නිසා ඇසින් දැක – කනින් අසා ඉගෙනීමට හැකිවීම, ඇගයීම් කරණයෙහිදී ප්‍රතිඵල ක්ෂණිකව ලබාදීම, මනාව සැලසුම්කරන ලද පාඩම් අභ්‍යාස මගින් දරුවන් හට තම හැකියාව හා දක්ෂතාවය මත සාර්ථකත්වය කරා ගමන් කිරීමට හැකිවීම මෙන්ම විද්‍යාව, ආහාර තාක්ෂණය, කෘෂිකර්මය, භූගෝල විද්‍යාව, පරිසර කළමනාකරණය, පුරවැසි අධ්‍යාපනය, සෞන්දර්ය වැනි විෂයයන්වලදී ජෛවීය කොටස් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැනි ප්‍රදර්ශනාත්මක ක්‍රම මගින් දැකබලා ඉගෙන ගන්නට ඉඩ ලැබීම වැනි සාධනීය තත්ත්වයන් ද මාර්ගගත ක්‍රමය තුළ දක්නට ලැබේ.
කොරෝනා වැනි වසංගත හරහා මානවවාදී මිනිසා තාක්ෂණවාදී මිනිසෙක් බවට පත්වූ අතර එතුළින් සිදුවූයේ ශිෂ්‍යයන්ගේ පරිකල්පනය විනාශ වී යෑමයි. මොට වීමයි. තරුණ ප්‍රජාව මානව ගුණධර්මයන්ගෙන් වියුක්තවී අධ්‍යයතන සමාජය තුළ ගුරු ගෝල සම්බන්ධතාවය ද බිඳ වැටී ඇත. ගුරුවරයා ශිෂ්‍යාව නොහඳුනන පෙරළා ශිෂ්‍යයා – ගුරුවරයාව නොහඳුනන තත්ත්වයට අධ්‍යාපන ක්‍රමය පත්ව තිබේ. මෙය ලංකාව වැනි පෙරදිග රටකට, සංස්කෘතියකට දරාගත නොහැකි කාරණයකි. අද අපි විවිධ ප්‍රවෘත්තීන් මගින් මේවා අත්විඳින්නෙමු.
මාර්ගගත අධ්‍යාපනයකදී ප්‍රාථමික ගුරුවරුන් හට සිදුවන්නේ කුමක්ද, ප්‍රාථමික අධ්‍යාපනයට සිදුවන්නේ කුමක්ද යන්න බරපතළ වූ ප්‍රශ්නයකි. ප්‍රාථමික දක්ෂ ගුරුභවතුන් මාර්ගගත ක්‍රමය දක්ෂ ලෙසින් කළමනාකරණය කර ගත්ත ද බහුතරයක් ගිලිහී යති. ප්‍රාථමික අධ්‍යාපනය වනාහි ඉවසීමෙන් විශේෂ ක්‍රමවේද හරහා සියුම් ක්‍රමවේද හරහා ක්‍රියාකාරකම් පාදකව සිදුවිය යුත්තකි. එහෙත් මෙවන් මාර්ගගත ක්‍රමයකදී ගහකොළ, සතා සීපාවා, කුරුලු පිහාටු, මල් වර්ග, පලතුරු හා විවිධ ශාක පත්‍ර මත ගොඩනැඟී යන ප්‍රාථමික අධ්‍යාපනයට කණකොකා හඬලන බව නම් ඉඳුරාම පැහැදිලිය.
E – learning අධ්‍යාපනය ලබාදීමේදී ”Screen children”, හෙවත් තිරයට ඇබ්බැහි වූ දරුවන් නිර්මාණය වීම අද දවසේ ප්‍රබල සමාජ ගැටලුවක් වන බවට සමාජ විද්‍යාඥයෝ තර්ක කරති.
මනෝ විද්‍යාඥයන් විසින් සඳහන් කරන්නේ බොහොමයක් දරුවන් විශාදය තත්ත්වයට පවා ඇදවැටෙන මට්ටමකට පත්ව ඇති බවකි. පරිගණක ක්‍රීඩා, මිතුරන් සමග චැට් කිරීම් ආදිය නිසා අඩාළ වන අධ්‍යාපනයට වගකියන්නේ කවුරුන්ද? මාර්ගගත අධ්‍යාපනය නියාමනය කරන්නේ කෙලෙසින් ද යන්න ප්‍රශ්නයකි.
මාර්ගගත අධ්‍යාපනය තුළ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩක් නොලැබීම තුළ උප සංස්කෘතිගත අත්දැකීම් හා සම වයස්කාරයන් හරහා උකහාගන්නා අවිධිමත් සමාජානුයෝජනයට වැට බැඳෙනු ඇත. පාසල හා සමාන කිරීමට වෙනත් කිසිම ආදේශක ආයතනයක් මෙතෙක් බිහිව නැත. ඒ අනුව මාර්ගගත අධ්‍යාපනික ක්‍රියාවලින් සැලසුම් කිරීමට පූර්වයෙන් මේ පිළිබඳව විෂය විශේෂඥයන් විසින් සිතා බැලීම වැදගත් ය.
දරුවන්ගේ ලෝකය තුළ වීරවරුන් වන්නේ තම ආදරණීය ගුරු මව්වරුන්ය, පියවරුන් ය. දරුවා තම ගුරුවරයාගේ රූපයට, කටහඬට, පෞරුෂයට ආදරණීය ඇමතීමට ආශා කරති. එම අවස්ථාව මාර්ගගත අධ්‍යාපනයෙන් තරමකට ගිලිහේ. එනිසා ගුරුවරයාගේ සජීව සම්ප්‍රාප්තියෙන් තොර පන්ති කාමර මුහුවීමකින් තොර මෙකී අධ්‍යාපන ක්‍රමය දරුවන් හට රසවත් නැත. නැවත කරුණු විමසීමටත් නොතේරුණු කරුණු තේරුම් කරගැනීමට අවස්ථාවන් අහිමිවීම තුළින් මෙන්ම පරිගණක තිර මත නෙත් දිවයන මෙම ක්‍රමවේදය තුළ අනෙකා විනාශ කරවීමේ උමතු මානසිකත්වයන් නිර්මාණය කරලන, යුද මානසිකත්වයෙන් හෙබි, පරිගණක ක්‍රීඩා මගින් ළමා ලෝකය උඩු යටිකුරු වෙමින් සංවේදී අනාගත මිනිසා” මියැදෙමින් පැවතීම කනගාටුවට කරුණකි.
මාර්ගගත අධ්‍යාපනය නිසා දියවැඩියාව, ක්ලමථය, කොන්දෙහි ආබාධ, බෙල්ලෙහි ආබාධ බාල පරම්පරාවට අත්විඳින්නට සිදුවී තිබෙන සෞඛ්‍යමය කාරණාවන්ය.
“අධ්‍යාපනය යනු හුදෙක් මස්තිෂ්කයට දත්ත කැවීම පමණක් නොවේ” මාර්ගගත අධ්‍යාපනය බැහැර කරලීම සඳහා ගොඩනැඟෙන ප්‍රධාන තර්කය වන්නේ එයයි. තම සපත්තු, ඇඳුම් පැලඳුම් පිරිසිදු කර ගැනීම, ශරීරය පිරිසිදු කරගැනීම, ආහාරපාන බෙදා හදා ගැනීම ආදී පෞද්ගලික ස්වස්ථතාවය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් නොලැබෙන අධ්‍යාපනයක් කුමකටද? සදාචාර සම්පන්න නොවන ජාතියකට මඟපෙන්වන අධ්‍යාපනයක් කුමකටද?
ඉහත දක්වන ලද්දාවූ සියලු අඩුලුහුඬුකම් නිසා විනය, සංවරය, සදාචාරය හා නීතිය වල්වැදී කරුණාව, ආදරය, දයාව, මෛත්‍රිය, ඉවසීම කෞතුකාගාරගත වෙමින් පවතින අතර සමාජය මහා වනාන්තරයක වල්මත් වී සිටියි. පංචකාම සම්පත්තීන් කරා වේගයෙන් හබා යන්නෝ පහන් දැල්ලට ඇදී යන පළගැටියන් සේ විනාශයටම පත්වන්නට පෙර විචක්ෂණ භාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත්ය.
ඒ අනුව මාර්ගගත අධ්‍යාපනය සැලකිය යුතු වන්නේ නවතම ඉගැන්වීම් ක්‍රමයක් ලෙසට නොව, ඉගැන්වීමේ සාර්ථක අනුපූරක ක්‍රමයක් ලෙසට පමණි. එහෙයින් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නැවත වසංගත තත්ත්වයකදී මාර්ගගත ක්‍රමය භාවිත කිරීමට අදහස් කරන්නෙහි වී නම්, ඉහත සඳහන් කරන්නට යෙදුණු කරුණු – කාරණාවන් සැලකිල්ලට ගැනීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි දිගුකාලීන අභිවෘද්ධිය හා අනාගත පරම්පරාව පිළිබඳව ධනාත්මකව සිතා බලා තීරණ ගැනීමෙන් මාර්ගගත ක්‍රමය සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇත.

කථිකාචාර්ය – ඩී.කේ.ජී. විමලරත්න
මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය
පොල්ගොල්ල