ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් කිරීමට මහ බැංකුවේ සහ මුදල් මණ්ඩලයේ දායකත්වය
අරගලයට ආණ්ඩුවේ ඇතුළතින් සහයෝගයක්
ආර්ථිකය විනාශ කළ ‘දේශීය විසඳුම්’ යෝජනාව
පාර්ලිමේන්තුව වැරදි පාරක
රටේ ආර්ථික ගමන් මග ජාමූඅ සමග ගැට ගැසීම
රටේ සමස්ත ආර්ථික දිශාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව (2019 නොවැම්බර්-2022 ජුලි) ඔහුගේම උපදේශකයින් නොමඟ යැවූ බවට හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන කළ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතුය.
මෙම තත්ත්වය ජනාධිපතිවරයාගේ විශ්වාසය කඩ කිරීමක් පමණක් නොව රටට කළ ද්‍රෝහිකමකි. මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් සමාව දිය නොහැකි අපරාධයකි. ජනාධිපතිවරයා ඉලක්ක කර ක්‍රියාත්මක කළ ‘Gota go gama’ දේශපාලන ව්‍යාපෘතියට ලබා දුන් ප්‍රබල තල්ලුවකි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් මණ්ඩලය එදා පැවැති තත්ත්වය සහ වේගයෙන් වර්ධනය වෙමින් තිබූ තර්ජනය සම්බන්ධයෙන් තර්කානුකූල මැදිහත් වීමක් කළා නම් මහින්ද සිරිවර්ධන මුදල් ලේකම්වරයා ලෙස පත්වීමක් ලබන්නේ නැත. අර්බුදය පිපිරී යන අවස්ථාවේදී විශ්‍රාම ගොස් සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහට මහ බැංකු අධිපතිවරයා ලෙස කැඳවීමක් ලැබෙන්නේ නැත. එජාප නායක රනිල් වික්‍රමසිංහට පොහොට්ටු ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට සහ ජනාධිපති ලෙස වසර 21/2 කටයුතු කර ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම යෑමට අවස්ථාවක් ලැබීමට එකම හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කකුල් මාට්ටුවක් දැමීමයි.
අනුර කුමාර දිසානායක නායකත්වය දෙන ජවිපෙ සහ ජාජබ පක්ෂයට ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම ආණ්ඩුව තුළින්ම සිදුවීම ඛේදවාචකයකි. මහින්ද සිරිවර්ධන ජනතාව ඉදිරියේ තබා ඇත්තේ ඒ කතාවයි.
මෛත්‍රිපාල-වික්‍රමසිංහ යහපාලන ආණ්ඩු කාලයේ (2015-2019) සිදු වූ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සහ 2019 අග සහ 2022 අතර පුපුරා ගිය ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය අතර කිසිවකුට අභියෝග කිරීමට නොහැකි සමානකමක් ඇත. ඒ එම ඛේදවාචක දෙකම වළක්වා ගැනීමට හෝ යම් ප්‍රමාණයකට ‘පාලනය’ කර ගැනීමට අවස්ථාව තිබූ නමුත් එවකට පැවැති ආණ්ඩු තම වගකීම පැහැර හැරි බවයි.
එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පිළිවෙළින් යහපාලන ආණ්ඩුවට සහ ගෝඨාභය රාජපක්ෂ රජයට කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට
නොගැනීම හේතුවෙන් රට පත්වූ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව වගකීම භාර ගැනීමට අද කිසිවකු නැත. එම ආණ්ඩු දෙකම සීසීකඩ විය. එම ආණ්ඩුවලට සම්බන්ධ වූ එජාප සහ ශ්‍රීලනිපය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) යන්තම් හුස්ම ගන්නා තත්ත්වයට පත් වී ඇත. අවම වශයෙන් එජාපය හෝ ශ්‍රීලනිපය වර්තමාන පාර්ලිමේන්තුව තුළ වන්නේවත් නැත.
මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය දුන් තීරණ (පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2023 ජනවාරි තීන්දුව සහ රට බංකොලොත් වීම පිළිබඳව 2023 නොවැම්බර් දුන් තීන්දුව) මහජන ඡන්දයෙන් පත්වූ ආණ්ඩු ක්‍රියාකරන වගකීම් විරහිත ආකාරය අවධාරණය කළේය. නමුත් එදා යහපාලන පාර්ශ්වකරුවන්ට හෝ පොහොට්ටු පක්ෂයට තවමත් භූමියේ තත්ත්වය තේරෙන්නේ නැත.
ජුනි මාස අවසානයේ විශ්‍රාම යෑමට නියමිත මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මෑතකදී ප්‍රකාශයට පත්කළ ‘SRI LANKA’S ECONOMIC REVIVAL ( REFLECTIONS ON THE JOURNEY FROM CRISIS TO RECOVERY’ අවධාරණය කරන සත්‍යය අතිශය ආන්දෝලනාත්මකය. බියකරුය. කනගාටුදායකය. එලෙසම කිසිවකුට අභියෝගයට ලක්කිරීමට ද නොහැකිය. මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ සිරිවර්ධන මෙම හෙළිදරව්ව මුදල් ලේකම් ලෙස ධුරය දරමින් සිටින විටදීම කිරීමයි. අතිශය අර්බුදකාරී අවස්ථාවක 2022 අප්‍රේල් 08 දින මුදල් ලේකම්වරයා ලෙස වැඩ භාරගත් සිරිවර්ධන ඊට හරියටම වසර තුනකට පසුව දරා ගත නොහැකි අර්බුදයකට රට යෑමට හේතු වූ ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපය ජනතාව ඉදිරියේ තබා ඇත. මුදල් ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක ජනාධිපතිවරුන්ට සේවය කර ඇති සිරිවර්ධන අවධාරණය කරන කරුණු කාරණා සංවේදීය.
පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ආණ්ඩුවේ වැරදි ගමන් පිළිබඳව දැන සිටියාද? අර්බුදය ඇතිවන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 145 දෙනකුගෙන් සමන්විත පොහොට්ටු පක්ෂය ක්‍රියාකළ ආකාරය පැහැදිලි නැත.
විශ්‍රාම යෑමෙන් පසුව ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ නිලයකට පත්වීමට නියමිත සිරිවර්ධන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩකාරී දේශපාලන ව්‍යාපෘතියට (2022 මාර්තු 31 සිට ජුලි දෙවන සතිය 2022) සමගාමීව ආණ්ඩුවේ කණ්ඩායමක් ජාතික ආර්ථිකය දුර්වල කළ ආකාරය පිළිබඳව ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් කර ඇත.
මුදල් ලේකම්වරයා 2022 ජුනි මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා තමන් අවස්ථා 34 කදී කළ අදහස් දැක්වීම් පොතක් බවට පරිවර්තනය කර ඇත. රට බංකොලොත් කළ කණ්ඩායම නොයෙකුත් ආකාරයෙන් ජනතාව රැවටීමට කරන උත්සාහයන්ට එරෙහිව ද ලේඛකයා අදහස් පළ කර ඇත. මුදල් ලේකම්වරයා ජනතාවට ඍජුව කර තිබෙන අනතුරු ඇඟවීම මීට පෙර කිසිදු මුදල් ලේකම්වරයකු කර නැත.
ඡන්ද මිලියන 6.9 ක් ලබා ජනාධිපති ධුරයට 2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ විධායක ධුරය අතහැරීම සම්බන්ධයෙන් පොත් කීපයක් ප්‍රකාශයට පත්කර ඇත. ජාතික තලයේ ලේඛකයකු වන සේන තෝරදෙණිය සහ ජාතික පෙරමුණේ නායක විමල් වීරවංශ අරගලය සහ එහි පසුබිම සම්බන්ධයෙන් 2023 දී පළ කළ පොත් පරිශීලනය කළ යුතුමය. තෝරදෙණියගේ පොත සිංහලෙනුත් පළ කළා නම් හොඳය. සිරිවර්ධනගේ කතාවත් සිංහල පාඨකයා අතරට යා යුතුමය. මුදල් ලේකම්වරයා හැකි ඉක්මනින් තම සිංහල පරිවර්තනය ප්‍රකාශයට පත් කළ යුතුය. දහවන පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමැතිවරු සිරිවර්ධනගේ පොත කියවිය යුතුමය.
ශීඝ්‍රයෙන් පිරිහෙන මූල්‍ය තත්ත්වය හේතුවෙන් තමන් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට මහ බැංකුවට සහ මුදල් මණ්ඩලයට කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කළ බවට ඔහු කරන කරුණු දැක්වීම අතිශය ආන්දෝලනාත්මකය. මහ බැංකුව සහ මුදල් මණ්ඩලය ක්‍රියාකළ වගකීම් විරහිත ආකාරය සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා තම පෙරවදනේ දැඩි චෝදනාවක් එල්ල කර ඇත. එනම් ආර්ථිකය කඩා වැටීමට හේතු වූ තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකිවයුතු කණ්ඩායම ඇති කළ බවයි. එය සිතාමතා නිර්මාණය කළ තත්ත්වයක්ද? සිරිවර්ධන පෙන්වා දී ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයක් ඇතිවීමට තිබෙන අවස්ථාව පිළිබඳව ඊට වසරකට පෙර පැහැදිලි ලක්ෂණ තිබූ බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට, ඉන්දියාවට, කතෝලික පල්ලියට, දෙමළ ඩයස්පෝරාවට සහ රාජ්‍ය නොවන ජාලයට චෝදනා එල්ල විය. ප්‍රධානතම ඉලක්කය වූයේ කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිවරිය ජුලි චංග් ය. එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදේශීය සහ දේශීය බලවේග ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමෙන් පසුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීම භාර ගැනීමට තමන්ට කළ බලපෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. කථානායකවරයාගේ නිල නිවාසයේදී එම යෝජනාව කළේ චංග් බව රහසක් නොවේ. නමුත් රට ඒ තත්ත්වයට පත්වීමට ප්‍රධානතම හේතුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික නායකත්වය කටයුතු කළ ආකාරය බවට මුදල් ලේකම්වරයා කරන චෝදනාව පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කළ යුතු නොවේද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශීය විසඳුම සම්පූර්ණයෙන්ම මුලාවක් බව තේරුම් ගැනීමෙන් පසුව 2022 මාර්තු 18 වැනි දින ජාමූඅ පිහිට පතා ලිපියක් යොමු කරන අවස්ථාව වනවිට අරගලය හැරවිය නොහැකි තත්ත්වයකට පත්වී තිබිණි. ඒ සමස්ත සැපයුම් ජාලය කඩාවැටීම පසුබිමේ ජනතාව පාරට බැස තිබූ නිසාය. ඊට වගකිවයුතු වන්නේ ආණ්ඩුවේ මූල්‍ය නායකත්වයයි. ඒ චෝදනාව කර ඇත්තේ අප නොව මුදල් ලේකම්වරයා බව අවධාරණය කළ යුතුය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ නිවාසය ඉලක්ක කොට ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සිදු වන්නේ ජනාධිපතිවරයා ජාමූඅ පිහිට පතා ලිපියක් ලිවීමෙන් සති දෙකක් යෑමට පෙරය. සිරිවර්ධන අවධාරණය කළේ අරගලය පුපුරා යෑමත් සමගම දේශීය විසඳුමක් වෙනුවෙන් පෙනීසිටි කණ්ඩායම හදිසියේම 2022 මාර්තු අග-අප්‍රේල් ආණ්ඩුවෙන් ඉවත් වූ බවයි.
මුදල් ලේකම්වරයාගේ පොත එළි දැක්වීම සිදුකළේ ගාලු මුවදොර හෝටලයේ දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ 2025 අප්‍රේල් 08 වැනි දින ය. නමුත් මාස දෙකක් යනතුරු කිසිවකු මුදල් ලේකම්වරයාගේ ප්‍රකාශ අභියෝගයට ලක් කළේ නැත.
අරගලය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වාතාවරණය මහ බැංකුව සහ මුදල් මණ්ඩලය නිර්මාණය කිරීම තුළ ජනාධිපති ධුරයට ජනතා ඡන්දයෙන් පත්වීමට අවස්ථාව ලැබූ ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායකට සිරිවර්ධන තම පොත පිළිගැන්වීම පුදුම සහගත සිදුවීමක් නොවේද? මහින්ද සිරිවර්ධනගේ එම පොත ලිවීමට දේශපාලන භූමිය උඩුයටිකුරු කළ ව්‍යාපාරයේ එක ප්‍රබලයකු වූයේ අනුර කුමාර දිසානායක බව රහසක් නොවේ. රනිල් වික්‍රමසිංහ ද අරගලය ඔසවා තැබීමට ප්‍රබල දායකත්වයක් දැක්වීය.
මුදල් ලේකම්වරයා 2024 පෙබරවාරි 2 වැනි දින අමාත්‍යාංශ ලේකම්වරුන්ට රටේ ආර්ථිකය දැඩි ලෙස පිරිහීමට හේතු වූ කරුණු කාරණා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමක් කළේය. ඉහළින්ම අවධාරණය කළ කාරණය වූයේ රටට දැරීමට නොහැකි ආකාරයට ජීවත් වීමයි. රටක් වශයෙන් ගනු ලැබූ ගෙවාගත නොහැකි ණය සහ බදු ආදායම ඊට සාපේක්ෂව හීන වීමයි.
එතුමා සඳහන් කළ දෙවන කාරණය වූයේ දශක ගණනාවක් තුළ බලයේ සිටි සෑම පක්ෂයක්ම ක්‍රියාත්මක කළ ජනතාවාදී සහ අදූරදර්ශී ප්‍රතිපත්ති, වැරදි තීන්දු තීරණ, දූෂණය, දේශපාලන අස්ථාවරභාවයයි.
තුන්වන කාරණය වූයේ 2020 මුල් කාලයේ පුපුරා ගිය කොවිඩ් 19 සහ 2022 පෙබරවාරි මාසයේ ඇරඹුන රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයයි. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වැරදි ආර්ථික ප්‍රතිපත්තියක කටයුතු කරමින් සිටින අවස්ථාවක ඉහත සඳහන් කළ කරුණු කාරණා රටට මරු පහරක් එල්ල කිරීම පිළිබඳව පුදුම විය යුතුද?
බලයේ සිටි සෑම පක්ෂයක්ම අයවැය හිඟය දේශීය සහ විදේශීය ණයවලින් පියවීම පාර්ලිමේන්තුව අදාළ පනත තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීම පිළිබඳව දේශපාලන පක්ෂ අතර සැබෑ සාකච්ඡාවක් ඇතිවිය යුතු නොවේද?
මුදල් ලේකම්වරයා එවකට පැවතුන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඍජු අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියත් පොහොට්ටු ලාංඡනය පාර්ලිමේන්තුවේ නියෝජනය කළ දේශපාලන පක්ෂ කැඩී වෙන්වීම සමස්ත අර්බුදය තීව්‍ර කළ බව පැහැදිලිය. දැඩි අර්බුදකාරී තත්ත්වයක් තුළ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ 2021 ජුලි මාසයේදී ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒම තුළ ආණ්ඩුව තුළ ගැටුම උත්සන්න විය.
බැසිල් රාජපක්ෂ ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කිරීම තුළ කැබිනට් මණ්ඩලය විරසක විය. පොහොට්ටු පක්ෂය අමතක කර ඇති විශේෂයෙන්ම යුගදනවි ගනුදෙනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට කළ හානිය සුළුපටු නොවේ. දේශපාලන ඉතිහාසයේ පළමුවරට කැබිනට් අමාත්‍යවරු වූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල 2021 දෙසැම්බර් මාසයේ යුගදනවි ගනුදෙනුවට එරෙහිව රටේ ඉහළම අධිකරණයට යෑම තුළ ආණ්ඩුව හෑල්ලු විය. රාජපක්ෂවරු සහ එම කණ්ඩායම අතර ගැටුම අවසන් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීරවංශ සහ ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙනි. ඒ 2022 මාර්තු පළමුවන සතියේ ය. අරගලය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට පුපුරා යෑම සිදු වූයේ මාර්තු 31 වැනි දිනය.
පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය කැරලිකාර මැති ඇමැතිවරු පිරිසට සහයෝගය ලබා දුන්නා නම් රාජපක්ෂවරු අඩියක් පසුපසට ගැනීමට තිබිණි. නමුත් රට බලාපොරොත්තු වූ ශක්තිය එම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට තිබුණේ නැත. ඩලස් අලහප්පෙරුම සහ ජී. එල්. පීරිස් ඇතුළු කණ්ඩායම 2022 ජුලි මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේ පොහොට්ටු නායකත්වයේ තීරණයට එරෙහිව සමගි ජන බලවේගය (සජබ) සමග එකතු වන විට රට බංකොලොත් වී හමාරය.
ආණ්ඩුව දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටි 2021 ජුලි-සැප්තැම්බර් කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජා මූ අ සහය ඉල්ලා සිටියා නම් අර්බුදය සමනය කර ගැනීමට අවස්ථාවක් තිබූ බව මුදල් ලේකම් සිරිවර්ධන විශ්වාසය පළකර ඇත. නමුත් ජනාධිපතිවරයා අවසානයේ ජා මූ අ ආරාධනා කළේ 2022 මාර්තු 18 වැනි දිනය.
එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම අග්‍රාමාත්‍ය ධුරය රැක ගැනීමේ සටනක නියැළී සිටිය බව රහසක් නොවේ. ආණ්ඩුව තුළ ඇතිවී තිබූ උග්‍ර අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පොහොට්ටු පක්ෂ නායකත්වයට ශීඝ්‍රයෙන් පිරිහෙමින් තිබූ ආර්ථිකය අමතක විය. රටේ මෙන්ම ජනාධිපතිවරයාගේ අවාසනාවට අර්බුදයට දේශීය විසඳුමක් ඉදිරිපත් කළ කණ්ඩායම ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වනතුරුම එම ස්ථාවරයේ සිටිය බව කර්තෘවරයා අවධාරණය කරයි.
තීන්දු තීරණ ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවට තබා ගැනීමට ක්‍රියාත්මක කළ දේශීය විසඳුම් යෝජනාව අවසානයේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය රටට සම්පූර්ණයෙන්ම අහිමි කර ගැනීම මුදල් ලේකම්වරයා අවඥාවෙන් අවධාරණය කර ඇත.
ඇත්ත වශයෙන්ම මහින්ද සිරිවර්ධන අවධාරණය කරන කටුක සත්‍යය අවබෝධ කර ගැනීමේ ශක්තිය පක්ෂ-විපක්ෂ දේශපාලනඥයින්ට තිබෙනවාද? පසුගියදා විදුලි බිල 15% කින් වැඩි කළේ ශ්‍රී ලංකාව ජා මූ අ සමග ඇතිකරගත් එකඟතාවය මත බව විපක්ෂයට මතක නැත. පසුගිය වසරේ ජුලි මාසයේ පාර්ලිමේන්තුව ඡන්දයකින් තොරව සම්මත කර ගනු ලැබූ ආර්ථික පරිවර්තන පනත අනුව මෙන්ම යහපත් සහ ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අනෙකුත් අණපනත් පිළිපැදීමේ අවශ්‍යතාව මුදල් ලේකම්වරයා දැඩිව අවධාරණය කරයි. කිසිදු ආණ්ඩුවකට ජා මූ අ මාර්ගයෙන් පිට පැනීමට නොහැකිය.
ජාජබ ඇතුළුව කිසිදු පක්ෂයක් ජාත්‍යන්තර බලපෑමකින් තොරව නිවැරදි ආර්ථික මාර්ගයක ගමන් නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද සිරිවර්ධනගේ කතාව අවධාරණය කරන්නේ වගකීම් විරහිත පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ජා මූ අ දැලට ශ්‍රී ලංකාව කොටු වූ බවයි. මීට පෙර 16 වතාවක් ජා මූ අ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකා ආණ්ඩු ජනතාව මෙන්ම ජා මූ අ ආණ්ඩුව බව මුසාවක් නොවේ. නමුත් 17 වැනි වර අප රට ජා මූ අ පූර්ණ ග්‍රහණයට ගෙන ඇත. ජාජබ කැබිනට් මණ්ඩලයට ජා මූ අ නියෝජිතයකු ඇතුළු කර ගැනීමේ වරදක් නැත. ඒ තරමට රටේ මූල්‍ය ස්වාධීනත්වය පිරිහී ඇත. ඒ අපරාධයට අඩු වැඩි වශයෙන් නමුත් සාමූහිකව පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම දේශපාලන පක්ෂයක්ම වගකිව යුතුය.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ