අපි ලෝකයට ‘කැපුචිනෝ’ සහ ‘එස්ප්‍රෙසෝ’ හදමු
ලෝකයට නැතුවම බැරි “කෝපි” ශ්‍රී ලංකාවට පැමිණ 200 වසක් සම්පූර්ණ වී ඇත. ඒ නිමිත්තෙන් වූ විවිධ උත්සව, සැමරුම්, අත්දැකීම් බෙදා-හදා ගැනීම් රටේ විවිධ ස්ථානවලදී මේ දිනවල සිදුකරමින් පවතී. මෙහි නිල උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් මහනුවරදී පවත්වන්නට සැලසුම් කර ඇත. ඒ ප්‍රදර්ශනයක් සහ කෝපි රසවිඳීමේ අවස්ථා ද සමගිනි. අමතරව තවත් සැමරුම් කිහිපයක් අගනුවර ආශ්‍රිතව ද සිදු වේ. ඒ බොහෝ විට “කෝපි” අවන්හල්, කෝපි වවන්නන්ගේ සංවිධාන වැනි ස්ථාන ආශ්‍රිතවය. තේ, කෝපි වගාවට ලැදි අපට ද එවන් අත්දැකීම් බෙදාහදා ගැනීමේ අවස්ථාවකට ආරාධනය කරන ලද්දේ “අවීහා සමූහය” ට අයත් “කොළඹ බාර්ටෙන්ඩර් සහ බැරිස්ටා පාසල-CBBS” මගිනි. ලෝකයේ ඉහළ ආදායම් උපයන රැකියා කාණ්ඩයක් වන “බාර්ටෙන්ඩර් සහ බැරිස්ටා – (කෝපි සාදන්නන් සහ බාර්වල කටයුතු කරන්නන්)” සඳහා පුහුණු පාසල් ජාලයක් කොළඹ සහ වෙනත් ප්‍රදේශවල පවත්වාගෙන යන ඉතා ප්‍රකට ආයතනයක් වන මෙම පාසල සති අන්ත, රාත්‍රී, සහ දිනපතා යන ආකාරයට කුඩා කණ්ඩායම් මෙහෙයවමින් මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය රැකියා ලාභීන් පුහුණු කරනු ලබයි. CBBS පුහුණු පාසල මගින් මෙවර මාධ්‍ය කණ්ඩායමකට සහභාගි වී තමන්ටම අත්දැකීම් ලබන්නට සූදානම් කර තිබුණු මෙම ප්‍රායෝගික කෝපි සෑදීමේ සහ බාර්ටෙන්ඩර් වැඩසටහනේදී කොල්ලුපිටියේ පිහිටි ඔවුන්ගේ පාසලේදී කෝපි ඉතිහාසය සහ කෝපි පානය සඳහා විවිධ ක්‍රමවලට හැදීමේ කලාව පමණක් නොව, වයින් ඉතිහාසය, වයින් රස පැතිරීම, විවිධත්වය සහ රස විඳීම, “බාර්ටෙන්ඩින්” වැනි තරමක් පුළුල් අත්දැකීමක් ප්‍රායෝගිකව විඳින්නට අවස්ථාව අපට ලබා දෙන ලදී. ඒ තම සේවා කාලයෙන් වසර 10 කට පමණ පසුව මෙවන් අත්දැකීමක් මාධ්‍යයට ලබාදෙමිනි.
ප්‍රියංකර සුමනපාලගේ මහතා විසින් මීට වසර 10 කට පමණ පෙර කොළඹ, ඇල්ෆ්‍රඩ් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේ අමතර කාමරයක කුඩාවට ආරම්භ කරන ලද ‘CBBS -බාර්ටෙන්ඩර් සහ බැරිස්ටා පාසල’ අද වන විට දේශීය සහ විදේශීය වශයෙන් ඉහළ රැකියා අවස්ථා දහස් ගණනක් තාරුණ්‍ය වෙත ප්‍රදානය කර ඇති බව කටයුතු ආරම්භ කරමින් ආයතනික සන්නිවේදන කළමනාකරු මුර්ෂිඩ් සෙයිනුල් මහාස් පැවසීය.

එසේම, කොළඹ ඇල්ෆ්‍රඩ් පෙදෙසට අමතරව, වාළුකාරාම පාර සහ ඩික්මන් පාර, මහනුවර සහ කුරුණෑගල ද CBBS පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දැයේ තරුණ-තරුණියන්ට ලෝකයේ ඉහළ රැකියා අවස්ථා සඳහා ඉඩකඩ විවර කරදෙන බව මහාස් පැවසීය. දැනටමත් ඉතාලිය, ප්‍රංශය ආදී රටවල තම පාසලෙන් උගෙනුම ලබා පිටව ගිය මෙවැනි රැකියා කරන ශ්‍රී ලංකික තරුණ පිරිස් බොහෝ සිටින බවද ඔහු පැවසීය.
අනතුරුව පිරිසිදු, පදම් කළ කෝපි (ශ්‍රී ලංකාවේ කෝපි බීජ) ඇට මගින් ජාත්‍යන්තරව පිළිගන්නා ආකාරයට සුවඳ සහ රස නොනැසෙන පරිදි ඉතා ක්ෂණිකව සහ නියමාකාරයෙන් පානයට සුදුසු කෝපි නිස්සාරකයක් (Coffee espresso) ලබාගන්නා අයුරු මෙන්ම කෝපි සමග නැවුම් කිරි මිශ්‍ර කර රටා මවන “කෝපි කැපුචිනෝ – (Cappuccino) සාදන ආකාරයත්, වයින් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය, ඉතිහාසය, පැතිරීම සහ රස වින්දනය කිරීම සහ කොක්ටේල්-මොක්ටෙල් තනාගැනීම යනාදිය ගැන ඔවුන් කියා දුන්නෙත් සහභාගී වූ කණ්ඩායම භාවිතයෙන්මය. පාසලේ ප්‍රවීණ දේශක මඬුල්ලක් ඊට එක්විය. මෙහිදී කෝපි සෑදීම පිළිබඳ උපදේශනය කුසලතා සංවර්ධන කළමනාකරු රසාංග ප්‍රනාන්දු විසින් පවත්වන ලද අතර, මෙහිදී “එස්ප්‍රෙසෝ” සහ කුකීස් සහ සැන්ඩ්විච් සමග මුසු වූ සුමුදු කෝපි අත්දැකීමක් අපට ලබාදෙන්නට ඔහු කටයුතු කළේය.
ජීවිතයේ ප්‍රථමවරට ලියුම්කරුට ද කෝපි සාන්ද්‍ර නිස්සාරකයක් (Coffee espresso) සාදා ගන්නට අවස්ථාව මෙහිදී ලැබිණි. විවිධ වෙළෙඳ නාම සහිත කෝපි පැකැට්ටු වෙළෙඳ පළෙන් මිලදී ගෙන ඊට උණු වතුර වත්කර සම්ප්‍රදායක ලෙස කළු කෝපි කෝප්පයක් සාදාගන්නට පුරුදු වී සිටියත්, වියළා පදම් කළ නැවුම් කෝපි ඇට මගින් මෙසේ කෝපි කෝප්පයක් යාන්ත්‍රිකව සාදාගන්නට අවස්ථාව උදා වූයේ ප්‍රථම වරටය. බාර්ටෙන්ඩර් සහ බැරිස්ටා පාසලේ කෝපි පිළිබඳ අධ්‍යයන උපදේශක රසාංග ප්‍රනාන්දු ඊට කදිම මග පෙන්වීමක් සහ සහායක් ලබාදුන් අතර, මෙසේ කෝපි ඇට එවේලේම කුඩු කර, කෝපි සෑදීමටම නිෂ්පාදිත වෙනම යන්ත්‍රයක් මගින් සහභාගිවූවන්ගේ අත්පොලසන් හඬ මැද මෙසේ කළු කෝපි කෝප්පයක් නිස්සාරණය කරගැනීමට ලියුම්කරුට අවස්ථාව උදා වීම අතිශය වින්දනාත්මක අවස්ථාවක් විය.

අනෙකුත් මාධ්‍ය සගයන්ට ද මා සෑදූ කෝපි කෝප්පයේ රස විඳින්නට අවස්ථාව උදාවූ අතර, තවත් මාධ්‍ය සොයුරු-සොයුරියන් අනතුරුව කිරි සහ කෝපි සමගින් රටා දමන කෝපි කැපුචිනෝ – (Cappuccino) සාදන්නට එක්වූහ. දෙවැනි සැසියේදී වයින් පිළිබඳ විශේෂඥයකු වන සහකාර කුසලතා සංවර්ධන කළමනාකරු පියල් රත්නායක ලෝකයේ වයින් ප්‍රභේද, වයින් සඳහා ප්‍රමිතිගත මිදී වැවීම සහ ඉතිහාසගත තොරතුරු රැසක් කියා දුන් අතර, විවිධ වර්ගයේ මිදි වයින් රැසක් සුවඳ, රස සමගින් රසාස්වාදනය කරන්නට අවස්ථාව ලබාදුන්නේ එක් එක් පානයට ගැලපෙන පලතුරු සහ කෙටි ආහාර වර්ග රැසක් ලබාදෙමිනි. මෙය තනිකරම වයින් පිළිබඳ ලෝක චාරිකාවකට එකතු වීමක් වැනි විය.
අවීහා සමූහයේ සමූහ අධ්‍යක්ෂ, සම්මානලාභී බාර්ටෙන්ඩින් කථිකාචාර්ය බිනෝයි පෙරේරා විසින් සැවොම වශීකෘත කළ බාර්ටෙන්ඩින් කුසලතා ප්‍රදර්ශනය කරමින් මනදනවන කොක්ටේල් බීම සහ සිත දනවන මොක්ටෙල් කිහිපයක් ද සාදන ලද්දේ පැමිණ සිටි මාධ්‍ය ලලනාවන් කිහිප දෙනකුම ඊට සහභාගි කරවමිනි. අනතුරුව මෙම අපූරු සැසියේ කටයුතු මධ්‍යම රාත්‍රියේ නිමාවට පත්කරන ලදි.
මේ සියල්ලක් සිදුකරන ලද්දේ පෙරකී පරිදි 200 වසක් සපිරෙන කෝපි ශ්‍රී ලංකා ආගමනය සහ “කොළඹ බාර්ටෙන්ඩර් සහ බැරිස්ටා පාසල-CBBS” මගින් පුහුණු කර ලෝකයේ වැඩි වැටුප් ලබන්නට කෝපි අවන්හල් ඇතුළු අවන්හල්, හෝටල් වෙත යවන තරුණ-තරුණියන් සඳහා වෙන්වූ නිහඬ සරසවියක අගය මැන බලන්නට ලැබුණු කෙටි අවස්ථාව යටතේය. මේ කටයුතු සිදුකෙරුණේ කෝපි වගාවට වසර 200 ක් සපිරෙන සමයක බැවින් කෝපි පිළිබඳව සහ කෝපි ශ්‍රී ලංකා ආගමනය ගැනද යමක් කීම වටී යැයි සිතමි. CBBS කුසලතා සංවර්ධන කළමනාකරු රසාංග ප්‍රනාන්දුගේ සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු ප්‍රකාරව එම “කෝපි කතාව” මෙවැන්නකි.




ශ්‍රී ලංකාවේ කෝපි වගාව සහ සිලෝන් කෝපි
කෝපි ශාකය නිවර්තන අප්‍රිකාවේ ඉතියෝපියානු උස්බිම්වල සම්භවය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් All About Coffee නම් කෘතියට අනුව කෝපි සම්භවය වී ඇත්තේ ඇබිසීනියාවේය. රුබියේසියේ කුලයට අයත් කෝපි ශාකය Coffea arabica යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි. එයට අමතරව C’canephora, C’liberica හා C’ excelsa වශයෙන් වගාකරන විශේෂ 3ක් පැවතිය ද ලෝක නිෂ්පාදනයෙන් 80%ක් ම ලබාදෙන්නේ ඇරබිකා කෝපි මගිනි. වැඩි වර්ෂාපතන තත්ත්ව සහ මද වශයෙන් ආම්ලික පාංශු තත්ත්වයන් ප්‍රියකරන කෝපි ශාකය ඝනව වැඩුණු නිවර්තන වැසි වනාන්තරයන් හි නොව අර්ධ වශයෙන් විවෘත වනාන්තරයන්හි මැද ස්ථරය නියෝජනය කරන ශාකයකි.
කෝපි වටා ගෙතී ඇති රසවත් කථා මෙන්ම බැඳුණු සිරිත් විරිත් ආදිය ද බොහෝය. රෝමයට කෝපි හඳුන්වා දුන් අවධියේදී බොහෝ පූජකයින් VIII වන ක්ලෙමන්ට් පාප්තුමා වෙත ගොස් කෝපි යක්ෂයාගේ පානයක් යයි සලකා ප්‍රතික්ෂේප කළ යුතු බව දැන්වූ බව කියයි. එහෙත් එතුමන් කෝපි පානය කිරීමෙන් පසුව යක්ෂයාගේ පානය මෙතරම් රසවත් ඇයි ද යන්න විමසා එය ක්‍රිස්තියානුවන්ගේ පානයක් ලෙසට භෞතීස්ම කරනු ලැබ ඇත. පැරණි තුර්කිවරුන් විවාහ වීමේදී සිය බිරිඳට දිනපතා පානය සඳහා කෝපි ලබාදෙන බවට පොරොන්දු විය යුතු විය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් බිරිඳට ඔහුගෙන් දික්කසාද වීමට නීතියෙන් ඉඩ සැලසී ඇත.
ශ්‍රී ලංකාවට කෝපි පළමුවෙන්ම හඳුන්වා දෙන්නට ඇත්තේ 16 වන සියවසට පෙර අරාබි ජාතිකයන් විසින් යයි විශ්වාස කෙරේ. පළමුවෙන්ම ලංකාවේ පහතරට ප්‍රදේශවල කෝපි වගාවක් ක්‍රමවත් ලෙස ආරම්භ කර ඇත්තේ 1690 – 1720 අතර කාලයේ දී ලන්දේසීන් විසිනි. 1739 දී මෙරටින් කෝපි රාත්තල් 100000 ක් අපනයනය කර ඇති බව ‘උඩුනුවර වංශකථාව’ කෘතියේ දක්වා ඇත. 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට අල්ලා ගන්නා විට හඟුරන්කෙත රාජ මාලිගය අවටත් මහවැලි ගඟ අසබඩත් පන්සල් හා පූජනීය ස්ථාන අසලත් කෝපි වගා කර තිබූ බවත් කෝපි මල් විහාරයන් සැරසීමට යොදාගත් බවත් එම ග්‍රන්ථයේ වැඩිදුරටත් දැක්වේ. 19 වන සියවසේ දී ලියවුණු එමර්සන්ට් ටෙනන්ට්ගේ කෘතියකට අනුව ශ්‍රී ලංකාවේ බොහෝ කලක සිට කෝපි ශාකය වගාකර පැවතුණද ස්වදේශිකයන් විසින් කෝපි බීජවල වටිනාකම නොදැන සිට ඇත. ඔවුන් කෝපි භාවිතා කර ඇත්තේ කෝපි කොළ සිය පිසින ආහාර රසවත් කිරීමටත් සුවඳවත් කෝපි මල් විහාරයන්හි පූජා කිරීමටත්ය. ඔහු විශ්වාස කළ පරිදි අරාබීන් විසින් ලංකාවට කෝපි හඳුන්වා දී ඇත. සිංහල රජතුමා හා ලන්දේසින් අතර අත්සන් තැබුණු හඟුරන්කෙත ගිවිසුමේ ද කෝපි නිෂ්පාදනයන් ලන්දේසීන් අලෙවි කිරීම පිළිබඳව සඳහන් වී ඇත. ලන්දේසීන් විසින් ඒ වන විට ජාවා දූපත් ආශ්‍රිතව ද කෝපි වගා කර තිබූ අතර ලංකාවේ කෝපි නිෂ්පාදනය කිරීම තුළින් නිෂ්පාදන අතිරික්තයක් ඇතිකර ගැනීමට ලන්දේසීන්ට වුවමනා නොවීය. ලන්දේසි ආණ්ඩුකාරයකු වූ ෂ්රූඩර් (Schreuder) ගේ වාර්තාවකට අනුව ලංකාවේ බටහිර පළාත්වල කෝපි වගාව අතිශයින් ම සාර්ථක වී ඇත. එම කෝපි ජාවා රටේ නිෂ්පාදනයන්ට වඩා ගුණාත්මයෙන් ඉතා ඉහළ වූ බවත් අරාබි කෝපි තරම්ම උසස් වූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත. කෙසේ වුවද ලන්දේසීන් විසින් පසුව ඉතියෝපියාවෙන් සහ යේමනයෙන් ගෙනැවිත් ජාවා රටේ වගා කර තිබූ කෝපි බීජ ලංකාවේ පහතරට වගා කළ මුත් එම වගාවන් අසාර්ථක විය. ලන්දේසි සමයේ කෝපි වගාව මෙරට එතරම් පුළුල්ව පැතිර නොයෑමට බලපෑ ප්‍රධානම සාධකය වූයේ කෝපි සඳහා උචිතම පරිසර තත්ත්ව සහිත උඩරට පෙදෙස් සිංහල රජතුමාගේ පාලනය යටතේ පැවතීමයි.
ලංකාවේ නියම වශයෙන්ම වැවිලි වගාවක් ලෙස කෝපි වගාව ආරම්භ කිරීමේ ගෞරවය ඉංග්‍රීසි ජාතිකයින්ට හිමිවේ. ඉංග්‍රීසි ජාතිකයින් විසින් ලංකාවේ මුහුදුබඩ පෙදෙස් අල්ලා ගැනීමෙන් පසු 1804 වර්ෂයේ සිටම පහතරට පෙදෙස්වල කෝපි වගා කිරීමට උත්සාහ කළ මුත් අසාර්ථක විය. කෝපි සාර්ථක වැවිලි වගාවක් ලෙස පවත්වා ගෙන යෑම සඳහා ඉංග්‍රීසීන්ට ප්‍රධාන සාධක 5 ක් සපුරා ගැනීම අවශ්‍ය විය. ඒවා නම් වගාවට සුදුසු ඉඩම්, ව්‍යවසායකයින්, වගා තාක්ෂණික දැනුම, ප්‍රාග්ධනය සහ කම්කරු ශ්‍රමයයි. 1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට රාජ්‍යය අල්ලා ගැනීමත් සමග පළමු අත්‍යවශ්‍ය සාධකය වූ භූමිය පිළිබඳ අවශ්‍යතාව සම්පූර්ණ විය. ඝන කැලෑවෙන් වැසී තිබූ උඩරට වනාන්තර එළි පෙහෙළි කිරීම ආරම්භ විය. 1837 වසරේ සිට දකුණු ඉන්දියානු ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම ඇරඹීමත් සමග කම්කරු ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නය ද ඉංග්‍රීසීහු විසඳා ගත්හ.
කෝපි ව්‍යවසායකත්වය පිළිබඳ පළමු ආදර්ශය තබමින් හෙන්රි බර්ඩ් විසින් 1822 වසරේ දී ගම්පොල සිංහපිටිය වත්ත නම් ස්ථානයේ කෝපි වගාවක් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව එවකට ආණ්ඩුකාරයාව සිටි එඩ්වඩ් බාන්ස් විසින් 1824 වසරේ දී ගන්නොරුව දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටි ස්ථානයේ කෝපි වගාවක් ආරම්භ කරන ලදී. එම වර්ෂයේදීම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ද ආරම්භ විය. ලංකාවේ සෑම ප්‍රදේශයකම කෝපි වගාව සඳහා පරීක්ෂණ පැවැත්වීමට එහි භාරකරු වූ ඇලෙක්සැන්ඩර් ටූන් හට නියම කරන ලදී. බාන්ස් ආණ්ඩුකාරවරයා අනුගමනය කරමින් එවකට ලංකාවේ සිටි ඇතැම් ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරීහු ද කෝපි වගාව සඳහා එක්විය. වර්ෂ 1810 වන තෙක් යුරෝපීයන්ට මෙරට ඉඩම් මිල දී ගැනීම තහනම් විය. නමුත් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා විසින් මෙම තහනම ඉවත් කරන ලදී. රජයේ නිලධාරීන්ට පුද්ගලික ව්‍යාපාරවල නිරත වීම තහනම් වුවද කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමට බාධාවක් නොවීය. මෙහි අවසන් ප්‍රතිපලය වූයේ බොහෝ යුරෝපීය රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරි කටයුතු පසෙක තබා කෝපි වගාවට යොමු වීමය. කෝපි වගාවට යොමු වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ආර්. ඩී. බට්ලර් ය. ඔහු වසර කිහිපයක් බටහිර ඉන්දීය වගා ක්‍රම පිළිබඳව ගැඹුරින් හදාරා මෙරටට පැමිණ සාර්ථකව කෝපි වගාවක් ආරම්භ කරන ලදී.

1835 පමණ වන විට කෝපි වගාව මූල්‍යමය වශයෙන් ඉතා ආකර්ෂණීය තත්ත්වයට පත්විය. 1834 සිට 1842 දක්වා කාලය තුළ කෝපි අපනයන පරිමාව පස් ගුණයකින් වැඩිවිය. ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් විසින් සිය නියෝජිතයකු මගින් එංගලන්ත ආණ්ඩුවට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කෝපි සඳහා අයකළ ආනයන තීරු බදු බටහිර ඉන්දීය කෝපි (Blue Mountains Jamaican Coffee) සඳහා අය කළ මට්ටම දක්වාම පහත දමා ගැනීමට සමත් විය. 1833 වසරේදී බ්‍රිතාන්‍ය විසින් සිය යටත් විජිතවල වහල් මෙහෙය තහනම් කිරීමත් සමග බටහිර ඉන්දීය කෝපි නිෂ්පාදන පිරිවැය ඉහළ ගිය අතර මෙය ලංකාවේ කෝපි අපනයන සඳහා වඩාත් හිතකර ලෙස බලපෑවේය. ලංකාවේ කෝපි වගාව ඇරඹීමට ඇති විභවය පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යය පුරා පැතිරයත්ම පවුම් දෙතුන් දාහක් අතැතිව බ්‍රිතාන්‍ය ව්‍යවසායකයන් ලංකාව කරා ඇදී එන්නට පටන් ගත්තේය. ඉඩම් ඉතා ශීඝ්‍රයෙන් අලෙවි වන්නට විය. වසර 9 ක කාලයක් තුළදී අක්කර 294,526 ක් ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කරන ලදී. මෙම කාලයේ කෝපි වගාව කෙරෙහි වූ දැඩි උනන්දුව ‘කෝපි පිස්සුව’ ලෙස හඳුන්වා දී ඇත.
ආරම්භයේ පටන්ම කෝපි වගාව පිළිබඳ සිංහලයන්ගේ උනන්දුව අඩුවිය. ඉඩම් හිමි ස්වදේශික ප්‍රභූ ජනයා අත අවශ්‍ය තරම් ප්‍රාග්ධනයක් නොවූ අතර මහා පරිමාණ වැවිලි කෘෂිකර්මය පිළිබඳ ඔවුන්ට උනන්දුවක් නොවීය. කල්යාමේදී ඇතැම් සිංහලයන් අවශ්‍ය තරම් ප්‍රාග්ධනයක් එක් රැස් කරගෙන ක්‍රමයෙන් කෝපි වගාව සඳහා යොමු වන්නට පටන් ගත්තද ආයෝජනය කිරීමට අවශ්‍ය ද්‍රවශීල වත්කම් සහිත වෙළඳ පන්තියක් ඒ වන විට ලංකාවේ නොවීය. එබැවින් ආරම්භයේ පටන්ම කෝපි වගාව මුළුමනින්ම පාහේ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයින් අත රැඳි ව්‍යාපාරයක් විය. මෙම වකවානුව වනවිට කෝපි වැවිලිකරුවකුගේ දෛනික ජීවන රටාව එතරම් සුව පහසු එකක් නොවීය. තමන් විසින් මිල දී ගත් විශාල කැලෑ ඉඩම් ඉතා වෙහෙස මහන්සියෙන් යුතුව එළි පෙහෙළි කළ යුතු විය. බොහෝ විට තැනින් තැනට රැගෙන ගිය කූඩාරම් විනා ස්ථිර නිවාස ඔවුන් සතු නොවීය. තමන් කැමති ආහාර ලබාගැනීම දුෂ්කර විය. තමන්ගේ සෞඛ්‍ය මෙන්ම තමන් යටතේ සේවය කරන කම්කරුවන්ගේ පවා සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් විය යුතු විය. ඇතැම්හු සිය නොසැලකිල්ල හා නොහැකියාවන් හේතුවෙන් ආයෝජනය කළ මුදල් සම්පූර්ණයෙන් අහිමි කර ගත්හ. එහෙත් බහුතර පිරිසක් ඉතා කෙටි කලෙකින් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ලබාගෙන පාංශු තත්ත්වයන් හා වගා ක්‍රම පිළිබඳ අධ්‍යයනය කරමින් වගාවේ නිරතව වසර 3 ක් ඇතුළත ඉතා විශාල ලෙස ලාභ ලබන්නට විය. 1840 දශකය වන විට “ලංකා කෝපි” නිෂ්පාදනය ඉමහත් පිබිදීමකට ලක්විය.
එසේ වුවද, 1847 දී බ්‍රිතාන්‍යයේ ඇතිවූ දරුණු ආර්ථික අර්බුදය ලංකාවේ කෝපි කර්මාන්තය කෙරෙහි ඉතා අයහපත් අයුරින් බලපෑවේය. ඇතැම් වතු හිමියන් සම්පූර්ණයෙන්ම බංකොලොත් වූ අතර ඉතා අඩු මිල ගණන්වලට කෝපි වතු විකුණා දැමීම ද සිදුවිය. නැවතත් 1850 දශකය වන විට කෝපි වැවිලි ව්‍යාපාරය ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ආර්ථික අර්බුදය හේතුවෙන් නැවතී තිබූ යටත් විජිත ඉඩම් විකුණා දැමීම නැවත ආරම්භ වූ අතර 1870 දශකය ආරම්භය වන විට වාර්ෂික අපනයන පරිමාව හොණ්ඩර 800,000 සිට 900,000 අතර අගයක් ගත්තේය. Ceylon නම් ග්‍රන්ථය රචනා කළ S.A. Pakeman පවසන පරිදි ඒ වන විට (වික්ටෝරියා මහා රාජිණිය විසින් නොව) ‘කෝපි රජතුමා’ (King Coffee) විසින් ලංකාව පාලනය කළ බව පැවසීම අතිශයෝක්තියක් නොවීය. මෙම කාලය වන විට වැවිලිකරුවන්ගේ ජීවන තත්ත්වය ද යහපත් මට්ටමක පැවතුනි. වඩා සැප පහසු බංගලා වතු ආශ්‍රිතව ඉදි වන්නට විය. බොහෝ වතු හිමියන් එතෙර සිටින සිය බිරින්දෑවරුන් මෙරටට ගෙන්වා ගත්හ. ඉඳහිට හෝ දුම්රියේ නැගී සිය වතුවල සිට කොළඹ බලා ඒමට කොළඹ – මහනුවර දුම්රිය මාර්ගය 1867 වර්ෂයේ දී නිම වී තිබීම පිටිවහලක් විය. දුම්රිය ගමනාගමනය ආරම්භ වීම කෝපි ප්‍රවාහනයේ විශාල වෙනසක් ඇති කිරීමට හේතු විය. එතැන් සිට එළඹුන වසර 18 ඇතුළත දී දුම්රිය මාර්ග තවදුරටත් රට අභ්‍යන්තරයට ඉදිවන්නට විය. රජයට ආදායම් ලබාදුන් වැවිලි කර්මාන්තයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම දුම්රිය මාර්ග දියුණු කිරීමේ මූලික අරමුණ විය. කෝපි කර්මාන්තයේ දියුණුවත් සමග ඊට උපකාරක සේවා සැපයූ වෘත්තීන් බැංකු කටයුතු, නියෝජිත ආයතන සහ වරාය කටයුතු ආදිය ද අලුතින් ඇති වන්නට විය. ජෝර්ජ් ස්ටුවට් වැනි ඉතා පැරණි සමාගම් මෙම කාලයේ ආරම්භ වූ අතර 1839 වසරේ දී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) පිහිටුවන ලදී. 1854 දී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ආරම්භ කරන ලදී. මෙම ආයතන දෙක දේශපාලනික හා ආර්ථික කටයුතු සම්බන්ධව රජයට දැඩි බලපෑමක් එල්ල කරන ආයතනයන් බවට පත්විය.

ඉතා කෙටි කලෙකින් කෝපි ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම බවට පත්විය. ගොවිගම කුලයට අයත් නොවන ලාංකිකයන් ද කුඩා පරිමාණයෙන් හෝ කෝපි වගාවට එක්වීම මෙම කාලයේ දක්නට ලැබුණි. ඇතැම්හු බර කරත්ත සේවා සැපයීම, ගොඩනැඟිලි ඉදිකිරීම, අවශ්‍ය ලී බඩු සැපයීම වැනි ආධාරක සේවා ඉටු කළහ. විශාල වැවිලිකරුවන් නොවූවද බොහෝ සිංහලයන්ගේ ගෙවතු ආශ්‍රිතව ද කෝපි වගාව මේ වන විට විශාල ලෙස ව්‍යාප්ත වී පැවතුණි. කෝපි නිෂ්පාදනය උපරිම මට්ටමට පැමිණි කාලය වන විට මුළු කෝපි නිෂ්පාදනයෙන් හතරෙන් එකක සිට පහෙන් එකක් අතර ප්‍රමාණයක් කුඩා පරිමාණ වගාවන්ගෙන් හා ගෙවතු වගාවන්ගෙන් ලැබීම මෙයට හොඳ නිදසුනකි. 1870 වන විට ලංකාවේ මුළු අපනයන ආදායමෙන් 85% ක් කෝපි අපනයනය මගින් උපයාගෙන ඇත.
1869 දී මඩොල්සිම වතුයායෙන් කෝපි මලකඩ රෝගය සොයා ගැනීමත් සමග ‘කෝපි රජතුමා’ගේ පාලන කාලය අවසන් වීමේ ලකුණු පහළ වන්නට විය. එවකට ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවා නොතිබූ අතර බොහෝ කෘෂිකාර්මික පර්යේෂණ සිදුකරනු ලැබූයේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය විසිනි. ඔවුන් විසින් නව රෝගය පිළිබඳව වැවිලිකරුවන්ට දැඩිව අනතුරු ඇඟවූ මුත් ඉන් පලක් නොවීය. මන්ද යත් වැවිලිකරුවන් මෙම රෝගය තාවකාලික ගැටලුවක් පමණක් ලෙස සලකා බැහැර කළ බැවිනි. 1880 දශකය වන විට කෝපි වගාවේ කඩා වැටීම පැහැදිලි ලෙසින්ම සිදුවෙමින් පැවතින. ‘ඇරබිකා කෝපි’ වෙනුවට ‘ලයිබීරියන් කෝපි’ ආදේශ කිරීමට කටයුතු කළ ද එය ද වඩාත් දරුණු ලෙස රෝගයට ලක්විය. 1889 වන විට ලංකාවෙන් අපනයනය කළ කෝපි ප්‍රමාණය හොණ්ඩර 100,000 ක් දක්වා තියුණු ලෙස අඩු වී පැවතින. වර්ෂ 1871 දී අක්කර 195,627 ක් පුරා පැතිර තිබූ කෝපි වගාව වර්ෂ 1900 වන විට අක්කර 500 ක් පමණ දක්වා අඩුවිය, කෝපි වගා කළ ඉඩම්වල පළමුව සින්කෝනා වගාවත් පසුව තේ වගාවත් ආරම්භ වූ අතර කෝපි වගාවේ ස්වර්ණමය යුගය 19 වන සියවස අවසානයත් සමග නිමාවට පත්විය.
ජගත් කණහැරආරච්චි
(අතිරේක තොරතුරු – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගිනි.)
