නායයෑම්, කඳු කඩා වැටීම්, ගංවතුර තත්ත්වයක්
පාසල් සිසුන්ට කරදර, හිරුහැර
විපක්ෂයට ද යහපත් නැත
ආගමික නායකයන් වහන්සේලාටත් කරදර
තැපැල්, විදුලි සංදේශ, ප්‍රවාහන යන අංශවල ගැටලු
ජ්‍යාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ යම් යම් ප්‍රශ්න
ග්‍රහලොව පණ්ඩිතයා, බුද්ධිමතා යන අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වනු ලබන බුධ ග්‍රහයා තමන්ගේ සතුරු රාශියක් වන සඳුට අයත් කටක රශියට 2025.06.22 ප.ව. 9.28 ට ගෝචර වේ. දින 26 ක කාලයක් බුධ රැඳී සිටී. එසේම ජූලි 19 සිට අගෝස්තු 11 තෙක් වක්‍ර චලිතයේ ද ගමන් කරනු ලබයි.
මෙහිදී තත්කාල ලග්නය වශයෙන් මකර ලග්නයත්, කටක නවාංශකයත් උදාව පවතී. එහිදී දෙවැන්නේ රාහු ද තෙවැන්නේ ශනි ද සිව්වැන්නේ සඳු, සිකුරු ද හය වැන්නේ රවි, ගුරු ද හත්වැන්නේ බුධ ද, අටවැන්නේ කුජ, කේතු ද ගමන් ගෙන තිබුණි. 22 වන දෙර්කානාධිපති කුජට අයත් වීම මත මාරක අනතුරු, ගුවන්යානා අනතුරු ගැන ද අසන්නට ලැබෙන අතර ප්‍රබල ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකයින් නීතියට හසුවන බවක් ද පෙනේ. මෙසේ බුධ ජල රාශියක් වූ කටකයට යෑම හේතු කොටගෙන යම් යම් පළාත් වලට නායයෑම්, කඳු කඩාවැටීම්, ගංවතුර තත්ත්වයක් ද ප්‍රබලව පෙන්නුම් කරයි. මෙම දින 26 ක කාලය කාලගුණය වියරු වැටේ.
සතුරු රාශියකට යෑම හේතුවෙන් පාසල් සිසුන්ට කරදර, හිරුහැර ඇති විය හැකි අතර සිසුන් අතර වෛරස් රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වන බව පෙනෙන්නට තිබේ. ආචාර්ය/ මහාචාර්යවරුන්ට යහපත් නැත. ජූලි 19 සිට අගෝස්තු 11 අතර කාලය විපක්ෂයට ද යහපත් නොමැත.
එදිනට පවතින නැකත කැති නැකත වන අතර කැති නැකත වනාහි රක්ත වර්ණ, පුල්ලිංග, අධෝමුඛ තාරකා 6 කින් යුත් නැකතකි. මෙම නැකත ලබා 32 වන පැයින් පසු අසුබදායකයි. තවද තැපැල්, විදුලි සංදේශ, ප්‍රවාහන යන අංශවල යම් යම් ගැටලු ඇති වන බවක් ද පෙනෙන්නට තිබේ. එමෙන්ම ගුරු – රාහුගේ දෘෂ්ඨියට වැටීම මත ආගමික නායකයන් වහන්සේලාට කරදර, පීඩා ඇති වන බව පෙනේ. එසේම ජ්‍යාත්්‍යන්තර වෙළඳාම සම්බන්ධ යම් යම් ප්‍රශ්න ඇති වන බවක් ද පෙනේ. ඒ අනුව බුධගේ ග්‍රහ ගෝචරය ලග්න 12ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ 4 වැනි භාවය තුළ ගෝචර වේ. ඔබගේ භූමිය සම්බන්ධ ගැටලු ඇති වන බව පෙනේ. යම් කරුණක් නිසා ඔබගේ නම ප්‍රසිද්ධ වන බව පෙනේ.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 5 අධිපති වෙමින් තෙවෙනි භාවය තුළ බුධ ගෝචර වේ. බාල සහෝදරයන් අතර සිත් බිඳීම් පෙන්නුම් කරයි. රැකියාව තුළ වුවද ඔබට ස්ථාන මාරුවීම් පවා ඇති කරයි.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්න අධිපති වෙමින් දෙවෙනි භාවය හෙවත් ධනස්ථාන ගතව බුධ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය, යම් යම් තනතුරු ලැබීම් ද පෙන්නුම් කරයි.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ කේන්ද්‍රයේ 3 සහ 12 අධිපති වෙමින්
ලග්නගතව බුධ ගෝචර වේ. බුද්ධිමත් තීරණ ගන්නා දින කිහිපයකි. වැය පස අධික වේ.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ අයස්ථාන ගතව හෙවත් 11 වෙනි භාවය තුළ බුධ ගෝචර වේ. ලැබීම් අතින් ඉතා යහපත් වේ. රැකියාවේ උසස්වීම්, උසස් තනතුරු පවා හිමි විය හැක.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ ලග්නාධිපති වෙමින් බුධ අයස්ථාන ගතව හෙවත් එකොළොස්වැන්න තුළ බුධ ගෝචර වේ. ලැබීම් අතින් ඉතා යහපත් වේ. තමාගේ කීර්ති නාමයට හානි ඇතිවන පුවත් අසන්නට ලැබෙන කාලයකි.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ නමවැන්න අධිපති වෙමින් දහවැන්න තුළ බුධ ගෝචර වේ. පෙර පින මතුවන කාලයකි. ලැබීම් අතින් ඉතා යහපත් වේ. උදරාබාධ ඇතිවීමට ඉඩ පවතී.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ අට අධිපති වෙමින් නමවැන්න තුළ ගෝචර වේ. කරන කියන කටයුතුවල යම් යම් බාධක ඇති වන බවක් ද පෙනේ. රැකියාව තුළ දී මානසික පීඩා මෙන්ම සතුරු කරදර වැඩි වශයෙන් අසන්නට ලැබෙන කාලයකි.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ හත අධිපති වෙමින් අටවැන්න තුළ බුධ ගෝචර වේ. විවාහ ජීවිතයේ ආරවුල් මෙන්ම හවුල් ව්‍යාපාර ආදී කටයුතු කරනු ලබන අයෙක්නම් එවැනි දෙයින් ඔබට පාඩු ඇති කරයි.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ හය සහ නමය අධිපති වෙමින් හත්වැන්න තුළ බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය. එමෙන්ම ඔබට භූමියෙන් ලැබීම් සහිත බවක් පෙන්නුම් කරයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ හයවෙනි භාවය තුළ
ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව අඩු කරනු ලබයි. උදරගත අසනීප ඔබට ඇති කරනු ලබයි.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ පස්වෙනිභාවය තුළ බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය. වියදම් අධික විය හැකි දින කිහිපයකි.
(මෙය පොදු ඵලාඵල විස්තරයක් බැවින් ඔබ දැනට ගත කරන මහ දසා, අතුරු දසා අනුව මෙම තත්ත්වය වෙනස් වේ. නිවැරදි තක්සේරුව එළඹීමට නම් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කළ යුතුව තිබේ.)

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658