ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එකම ගෞතම බුදුන්වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ සිතින් මවාගත් චිත්‍රයකි. ඔවුන් ඒ චිත්‍රය සිතෙහි ඇඳගන්නේ කෙසේ ද? තම තමන් අසා දැනගත් තරමින් සහ සිතින් සිතාගත් තරමිනි. ඒ අනුව, එකිනෙකාගේ සිතෙහි ඇඳෙන බුදු රූ එකිනෙකින් වෙනස් වේ. තමන්ගේ සිතෙහි වැඩඉන්නා බුදුරුවට බැතිබර වෙන අතරම, වෙනත් කෙනකුගේ සිතෙහි ඇඳුණු බුදුරුවක් ගැන විපරම් කිරීමෙන් ද අමුතු ආස්වාදයක් ලැබෙයි.
මේ තාක් ලෝකයේ නොයෙක් දෙනා නොයෙක් භාෂාවලින් බුද්ධ චරිතය ලියා තිබේ. ඒවා අතර සමානකම් වාගේම වෙනස්කම් ද තිබේ. Footprints in the Dust නමින් 2021 අවුරුද්දේදී මුද්‍රණයෙන් පිටවූ ඉංග්‍රීසි පොතත් එවැන්නකි. ඕස්ට්‍රේලියානු ජාතික – පූජනීය ශ්‍රාවස්තියේ ධම්මික හිමියෝ මේ බුදුසිරිත ලියූහ. නොබෝදා එයම ‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’ නමින්, පූජනීය කුඩගම්මන සීලරතන හිමියන්ගේ පරිවර්තනයක් ලෙසින් සිංහල පොත් කියවන්නන් අතට පත් විය.
Footprints in the Dust හෙවත් දූවිල්ලේ රැඳුණ පියසටහන් යන නමම පොතට හැඳින්වීමකි. පොත කියැවීමෙන් මැවෙන්නේ සවණක් රැස් විහිදුවමින් අහසේ වැඩඉන්නා දිව්‍යමය බුදුරුවක් නොව, අපරිමිත මානුෂීය ගුණ කදම්බයක් දරාගෙන ඉන්දියානු දූවිලි පොළොවේ ඇවිද ගිය සුහද ශ්‍රමණ රූපයකි. ධම්මික හිමියන්ට බුදුන් වහන්සේගේ සංචාරක ශ්‍රමණ රූපය හමු වීම අහම්බයක් නොවේ. උන්වහන්සේ තුන් වාරයක්ම දඹදිව හරහා පා ගමනින් එහා මෙහා යමින් ඒ රුව සෙවූහ. අතරමඟදී සොයාගත් මංසලකුණුවල තරම පොතෙන් හෙළි වේ. මුළු පොත පුරාම, බුදුසිරිත දිගහැරෙන්නේ මහ පොළොවේ සලකුණු ඇසුරෙනි. පොතෙහි එන මේ ඉඟිය ඔය ගැනයි: “…උන්වහන්සේ නැරඹූ හෝ පසුකර වැඩමවූ මහා නගර, කුඩා නගර, ගම්, කඳු, ගුහා, ගංගා, වනාන්තර සහ වෙනත් සැලකිය යුතු ස්ථාන නවසියයක් පමණ ත්‍රිපිටකය නම් කරයි….”
ධම්මික හිමියන් බුදුසිරිත ගොඩනඟන්නේ පාලි ත්‍රිපිටකය පදනම් කරගෙනයි. පාලි, සංස්කෘත, චීන, ටිබෙට් ආදී නොයෙක් භාෂාවලින් බෞද්ධ මූල ග්‍රන්ථ ලියැවී තිබේ. මේවා අතරින් පරණම මූලාශ්‍රය ‘පාලි ත්‍රිපිටකය’ බව කාගේත් පිළිගැනීමයි. ධම්මික හිමියෝ තිබෙනතාක් මහායාන පොත් ද ථෙරවාද අට්ඨකථා පොත් ද පැත්තකින් තබති; පාලි ත්‍රිපිටකයෙහි එන සූත්‍ර සහ විනය පමණක් අතට ගනිති. උන්වහන්සේ ලියූ බුදුසිරිත පුරාම අලුත් අපූරුවක් පෙනෙන්නේ ඒ නිසා ය. එක් නිදසුනක් මෙසේ ය: “…බුදුන් වහන්සේගේ පියතුමන් වන සුද්ධෝදන, රජ කෙනකු වූ බව තහවුරු කරගත හැකි සාක්ෂි ත්‍රිපිටකයෙන් සපයා ගැනීම විරල වුව ද, ඒ පිළිබඳ පුරාවෘත්තයන් තිබේ. බුදුන් වහන්සේ රජ කුමරකුව සිටි බවට තොරතුරු ත්‍රිපිටකයෙහි කිසිදු තැනකින් හමු නොවන අතර උන්වහන්සේ හෝ උන්වහන්සේගේ පවුල මාලිගයක විසූ බවට තොරතුරු ද ත්‍රිපිටකයෙන් හමු නොවේ….”

පැරැණිතම බුදුසිරිත ගැන සෙවිල්ලක යෙදුණත්, මෙය අලුත් පොතකි. පිටස්තර පාර්ශ්වයක් විසින් මුල් පොතට ලියන ලද කෙටි පෙරවදනක් මෙසේ කෙළවර වෙයි: “…නූතන දැක්මකින් යුතුව, මේ අපූරු ලෝක ආගමේ නිර්මාතෘවරයා පිළිබඳව; තථ්‍ය වූත්, නිවැරදි වූත්, කියවීමට සුදුසු අගැයීමක් අපේක්ෂා කරන කවරකුට වුව ද මම මේ පොත නිර්දේශ කරමි…” මෙතැන කුතුහලය අවුස්සන කාරණය නම්, නූතන දැක්මකින් යුතුව පොත ලියා තිබෙන බව පැවසීමයි. මුළු පොත පුරාම ඇත්තේ අවුරුදු දහස් ගණනක් එපිට අතීතයකි. එහෙව් පොතක් නූතන දැක්මකින් ලියන්නේ ඇයි? පොත කියවන අය නූතන ලෝකය තුළ ඉන්නා නිසා විය යුතුයි. ධම්මික හිමියෝ මේ පොතෙන් නූතන ලෝකයත් අතීත දඹදිවත් අතර පාලමක් සාදති.
බුදු දහම වැලඳගත හොත් තමන් නූතනවාදි සමාජයෙන් කොන් වනු ඇති ද? බෞද්ධයකු වීම පසුගාමී තීරණයක් ද? නූතන චින්තනයට ඇබ්බැහි වී ඉන්නා කා තුළත් ඔවැනි දෙගිඩියාවන් උපදී. සිතන්නට කම්මැළි, පෞරුෂත්වයෙන් හීන අසරණයෝ කුමන හෝ ආගමක පිළිසරණ පතති යන්න මෙකල ජනප්‍රිය මතයයි. එහෙත් බෞද්ධයකු වීමෙන් නම් එබඳු හීන දීන තත්ත්වයකට ඇද නොවැටෙන බවත්, බෞද්ධයාට කවදත් නූතනවාදි ප්‍රතිරූපයක් හිමි වී තිබෙන බවත් ධම්මික හිමියෝ අඟවති: “…බ්‍රාහ්මණ ආගම ග්‍රාමීය ජනයා අතර පැවති ආගමක්ව තිබී ඇති අතර අපට දැකගත හැකි අයුරින් බුදු දහම පැවතී ඇත්තේ නාගරිකයන් අතර ය….”
මෙයින් නොකියා කියන දෙයක් වෙයි. ඒ කුමක්ද? ගතානුගතිකව පැවතෙන ඇදැහිල්ලකට ආකර්ෂණය වන්නේ ගොඩයන්ය. බුදුසසුන නිර්මාණය වී ඇත්තේ, අලුතින් සිතන්නට බියක් නැති නූතනවාදීන් වෙනුවෙනි. නූතනවාදීන් ගැවසෙන තැන නගරයයි. එහෙයින් බුදු දහම වැලඳගැනීම නාගරිකයන්ගේ උරුමයකි. උත්ප්‍රාසය දනවන ඔය ඉඟිය හේතුවෙන් නූතන සිතුම් පැතුම්වලට ගරු කරන ස්මාර්ට් නාගරිකයෝ බෞද්ධ වන්නට පෙලඹෙති.
එන්න එන්නම ලෝකය නූතනත්වය පැත්තට ඇදී යද්දී, ධර්ම සන්නිවේදකයන්ට මුහුණ දෙන්නට සිදුවෙන්නේ කොතරම් නිරාගමික මත දරන සමාජයකට ද? ‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’ තුළ මෙලෙස දැක්වේ: “…බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු සපයන්නක් වශයෙන් ත්‍රිපිටකයේ ඇති අගය පිළිබඳ සැක මතු කරන එක් කරුණක් වන්නේ, ඇතැම් තැනෙක උන්වහන්සේට ආරෝපණය කර ඇති සාමාන්‍ය සීමාවන් අබිබවා ගිය හැකියාවන් ය. මේ පිළිබඳ නිදසුන් වශයෙන්, උන්වහන්සේ අහසින් ගමන් කළහ. ඉතා දුර බැහැර තැන්වල කෙරුණ සංවාදවලට සවන් දුන්හ. මිනිසුන්ගේ සිත් කියැවූහ. දෙවිවරුන් හමු වී ඔවුන් හා සංවාදයෙහි යෙදුණහ. ආදී තොරතුරු දැක්විය හැකි ය….”
අටුවා පොත් සහ මහායාන පොත් සමූහය මුලදී පැත්තකින් තියා, අන්තිමේදී, වඩාත් විශ්වාසදායක මූලාශ්‍රය ලෙස ළං කරගත් පාලි ත්‍රිපිටකය දෙස පවා වපරැසින් බලන්නට ධම්මික හිමියන්ට සිදු වෙයි. ඒ ඇයි? අද සමාජයෙහි නිරාගමික අදහස් බහුල නිසා විය හැකියි. නිරාගමිකයන්ට ප්‍රාතිහාර්යය ගැන කීමෙන් පලක් නැත. ප්‍රාතිහාර්යන්ගෙන් පිරුණක් ලෙස බුදුසිරිත වර්ණනා කරන්නට ගිය හොත්, අද ලෝකයේ ඉන්නා වැඩි දෙනකු ගෙඩිය පිටින්ම බුදු දහම ප්‍රතික්ෂේප කරනවා නිසැකයි! අද වෙද්දී බටහිර සමාජය ඉන්නේ එතැනයි; පෙරදිග සමාජය ගමන් කරමින් ඉන්නේ ද එතැනටයි. මෙවන් සමාජයකට බුදු දහම සන්නිවේදනය කරන්නට වන්නේ, ප්‍රාතිහාර්ය පෑම ආදී ගුප්ත සිදුවීම් අවධාරණය නොකරමින් සහ නොසලකා හරිමිනි.
බුදුන් වහන්සේ සතුව තිබූ ගුප්ත හැකියාවන් සියල්ලම නොසලකා හැරියත්, එයින් උන්වහන්සේගේ අගය යන්තම්වත් අඩු නොවේ. බුදුවදන කුමක් ද? ප්‍රාතිහාර්ය වර්ග තුනක් ගැන වදාළ බුදුන් වහන්සේ, ඍද්ධි ප්‍රාතිහාර්යයත් අනුන්ගේ සිත් කියැවීම හෙවත් ආදේශනා ප්‍රාතිහාර්යයත් යන ගුප්ත හැකියාවන් දෙකම බාල්දු කළහ. උන්වහන්සේ අගය කළේ, ධර්මය කියාදීම හෙවත් අනුශාසන ප්‍රාතිහාර්යය පමණකි. දූවිල්ලේ රැඳුණ පියසටහන් ලියැවෙන්නේ ඔය පදනම මතයි. පොත කියවන කවුරුත් සිතින් මවාගන්නේ, ගුප්ත විජ්ජාවන්ගෙන් තොර බුදුරුවකි.
ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෑමේදී වන්නේ, මනසෙහි බලයෙන් භෞතිකය පාලනය කිරීමකි. ඇත්තටම, භෞතික වස්තූන් කෙරෙහි බලපෑම් කරන තරම් ගුප්ත ශක්තියක් මනසෙහි ගැබ් වී තිබෙනවා ද? නැත. යන්න නූතන ලෝකයේ ජනප්‍රිය උත්තරයයි; උත්තරය හරි ද යන්න අදාළ නැත. කෙළින්ම වචනයෙන් නොකියන, නූතන ලෝකයේ පොදු එකඟතාවක් ඇත. ඒ මෙසේ ය: ආගම්වලින් සදාචාරය ගැනත්, භාවනා ඇදුරන් මනස ගැනත් පමණක් බලාගත යුතුයි; භෞතිකයට ඇඟිලි ගසන්නට යෑම ඔවුන්ගේ සීමාව ඉක්මවීමකි. භෞතිකය සමග ගනුදෙනු කිරීමේ පරම අයිතිය ඇත්තේ බටහිර විද්‍යාඥයන්ටයි. ධර්මයට මනසත් – විද්‍යාවට භෞතිකයන් වශයෙන්, තම තමන්ට අයිති විෂය පථ දෙක බෙදා වෙන් කරගැනීමේ මේ නව ප්‍රවණතාව සමග ධම්මික හිමියන් ද එකඟ වන්නට ඇති.
මනසත් භෞතිකයත් එකිනෙකින් ඈත් කරන වැඩිදෙනා අතින් වරදක් සිදු වෙයි. ඔවුහු, මනස මූලික කරගත් භෞතික පැවැත්මක් තියෙන්නට ඉඩක් නැති බව තරයේ විශ්වාස කරති; දෙවියන් සහ අමනුෂ්‍යයන් යනුවෙන් අදහස් කළේ අතීතයේ විසූ මනුෂ්‍ය ගෝත්‍රයක්ම බවත් කියති. ඔය ජනප්‍රිය මතවාදය අයිති වෙන්නේ ඕපපාතික සත්ත්වයන් නැත! යන මිථ්‍යා දෘෂ්ටියටයි. දූවිල්ලේ රැඳුණ පියසටහන් කියැවීමෙන්, ඒ මිථ්‍යා දෘෂ්ටියට වැටෙන්නට පෙලඹවීමක් ඇති නොවේ. කුමක් නිසා ද? ධම්මික හිමියෝ දෙවියන් හෝ අමනුෂ්‍යයන් මිනිස් ලොවට ගෙනැත් අතහරින්නට කල්පනා නොකරති; ඉන්නා ලෝකයක ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හරිති.
විකල්ප අදහස්වලට බිය වෙන්න එපා! – ධම්මික හිමියන් තමන් වහන්සේගේ පොත රචනා කරන කාලය පුරාම එවන් දැක්මකින් කටයුතු කළ බව පෙනේ. බොහෝ නිදසුන් අතරින් එකක් මෙසේ ය: “…බොහෝදුරට සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි දෙයක් වන්නේ, සිද්ධාර්ථ ගෞතමයන් සහ ඔහුගේ බිරිඳ දරුවන් ගණනාවක් බිහි කරන්නට ඇති බවත්, ඒ සියල්ලන්ම උපතේ දී, ළදරු වියෙහිදී හෝ පසුව මියයන්නට ඇති බවත් ය….”
ආගමික පොලිසිය යනුවෙන් අන්වර්ථ නමක් පටබැඳුණ කණ්ඩායම් මේ පොත කියවා උදහස් නොවේවා! මේවා ශාස්ත්‍රීය සමාජයේ විකල්ප අදහස් විනා, ආගමික අපහාස නොවේ. මෙහෙව් විකල්ප අදහස්, ශාස්ත්‍රීය කතාබහකදී නැතුවම බැරි කටගැස්මකි.
සම්ප්‍රදාය අනෙක් පැත්ත පෙරළා බලද්දී, ධම්මික හිමියන් අනුගමනය කරන්නේ කුලෑටි පිළිවෙතක් නොවේ. එහෙත්, විකල්ප අර්ථකථන ඉදිරිපත් කරන කොතැනකදීවත් උන්වහන්සේ දැඩි මතධාරි නොවෙති. උන්වහන්සේගේ විකල්පවල තියෙන්නේ, මෙවැන්නක් වෙන්න ඇති යනුවෙන් කරන උපකල්පනයකි; මෙවැන්නක් වෙන්න බැරි ද යනුවෙන් නඟන ප්‍රශ්නාර්ථයකි.
ධම්මික හිමියන් ලියන බුදුසිරිතෙහි කවුරුත් ආකර්ෂණය වෙන තැන් වාගේම, සාම්ප්‍රදායික බෞද්ධ බැතිමතුන්ට ප්‍රියමනාප නොවෙන තැන් ද තිබේ. බුදුසිරිතට අත පොවන්නට, බටහිර ජාතිකයකු වූ ධම්මික හිමියන්ට තියෙන අයිතිය කුමක් ද? සිංහල බෞද්ධයන්ගේ සිතට ඔය ප්‍රශ්නය නැඟෙනු ඇත. ධම්මික හිමියන්ගේ ජීවිත කතාවෙන් එයට උත්තරයක් ලැබෙයි:
1951දී ඕස්ට්‍රේලියාවේ උපන් කිතුනුවකුට, යොවුන් වයසේදී බුදු දහම කෙරෙහි ඇල්මක් ඇති විය. ආසියාව පුරා යමින් සත්‍ය ගවේෂණයක යෙදෙන්නට තරම් ඒ ඇල්ම දැඩි විය. අන්තිමේදී, ශ්‍රාවස්තියේ ධම්මික නමින් බුද්ධ භූමිය මතදීම පැවිදි බිමට පිවිසෙන්නට ඉඩකඩ සැලසිණ. ධම්මික හිමියන් පැවිදි කරවන ලද්දේ පූජනීය මැටිවල සංඝරතන හිමියන් විසිනි. සංඝරතන හිමියන් හැම ලෝක ශාසනික වැඩක්ම කළේ, බෞද්ධයන්ට බුද්ධ භූමිය රැක දුන් අනගාරික ධර්මපාලතුමාගේ ගුරුහරුකම් අනුවයි. ගුරු ගෝල සම්බන්ධය අතින් ගත හොත්, ධම්මික හිමියන් අයිති වෙන්නේ ධර්මපාල පරම්පරාවටයි.
1976දී ධම්මික හිමියෝ පාලි භාෂාව ඉගෙනගන්නට ලංකාවට පැමිණෙති. ඒ ආ ගමන නවතින්නේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයෙනි. පූජනීය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගෙනුත්, පරාක්‍රම ප්‍රනාන්දු සහ ලිලී ද සිල්වා යන මහාචාර්යවරුන්ගෙනුත් ලැබුණු අතහිත වාගේම, නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය ගොඩනැඟූ ගොඩ්වින් සමරරත්න මහතාගෙන් ලැබුණු මිතුරු ඇසුර ද ධම්මික හිමියන්ගේ අධ්‍යාත්මයට ආලෝකය ගෙනාවේ ය. නිල්ලඹදී බොහෝදෙනාට සතිමත් බව පුරුදු කරවමින් උන්වහන්සේ ලංකාව ද ආලෝකවත් කළ හ. මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ සති පාසල නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව හිමියන් අදටත් කෘතවේදීව සිහිපත් කරන කරුණක් නම්, තමන්වහන්සේගේ සතිමත් දිවියට අත්පොත් තබන ලද්දේ නිල්ලඹදී හමුවූ ධම්මික හිමියන් බවයි. අද වන විට ධම්මික හිමියන්ගේ මතකයෙන් පවා ගිලිහී ගිය බොහෝ උපකාර එදා උන්වහන්සේගෙන් ලංකාවට ලැබුණු බව නිසැකයි.
Footprints in the Dust පොත, දූවිල්ලේ රැඳුණ පියසටහන් නමින් සිංහලයට පෙරළන්නේ කුඩගම්මන සීලරතන හිමියන් ය. උන්වහන්සේ කලක් පාසල් ගුරුවරයෙකි. ගුරු සේවයට සමුදුන් සීලරතන හිමියෝ තමන් වහන්සේගේ ජීවිතයේ ප්‍රඥා දශකය ලබන්නට කලින් රටින් පිටවූ හ; එදා පටන් අද දක්වාම දශක දෙකක් ඇමෙරිකාවේ වාසය කරති. උන්වහන්සේ පොත් ලිවීමට යොමු වන්නේ එහි දී ය. එක් අතකට එය වෙනස් තෝරාගැනීමකි. සාමාන්‍යයෙන් අපේ භික්ෂූන් වහන්සේලාට පිටරට පන්සල්වලදී නිරූපණය කරන්නට සිදුවන්නේ කාගේ චරිතය ද? විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැනෙන හිස්කම, මවුබිමේ සංස්කෘතියෙන් පුරවා දෙන සාංස්කෘතික නියෝජිතයාගේ චරිතයයි. ඔය චරිත නිරූපණයෙන් ගැලවෙන්නට නම්, පරම නෙක්ඛම්ම සිතින් වැඩ කළ යුතුයි; එසේ නැත්නම් රැඩිකල් දැඩි සිතක් තිබිය යුතුයි. සීලරතන හිමියන්ගේ පැත්තෙන් කැපීපෙනෙන්නේ රැඩිකල් පෞරුෂයකි.
සීලරතන හිමියෝ තමන් වහන්සේගේ පරිවර්තනය ගැන මෙසේ කියති: “…මුල් පොතෙහි බස් වහර නිර්මාණාත්මක ය, ප්‍රාණවත් මෙන්ම, ගීතවත් ය… ඒ බස් වහර එසේම සිංහලයට නැඟිය නොහැකි මුත්, එයට හානියක් නොවන සේ, හැකිතාක් සරලව මේ පොත ඔබ අතට පත් කරවීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය….” සීලරතන හිමියන්ගේ පරිශ්‍රමය කොතෙක් දුරට සාර්ථක ද කියා, තම තම නැණ පමණින් තක්සේරු කිරීම පොත කියවන අයට භාරයි.
අනුර බී. සෙනෙවිරත්න