Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ථේරි ගී සරණිය පිළිබඳ විමසීමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ථේරි ගී සරණිය පිළිබඳ විමසීමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

ථේරි ගී සරණිය පිළිබඳ විමසීමක්

June 26, 2025
584 Views

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් 1952 දී පමණ විරචිත ථෙරි ගී1 සංග්‍රහය පළ වී බොහෝ කලකට පසු තිලකා ශ්‍රියාලතා අල්විස් විසින් පාලි ථෙරට්ඨ ගාථා ඇසුරෙන් ‘ථෙරි ගී සරණිය නම් පඨිතය නිමවා එළිදැක්වීම ශාස්ත්‍ර හිතකාමි රසික රසිකාවන්ගේ අමන්දානන්දයට තුඩු දෙන කරුණකි. එය ආගමික අංශයෙන් මෙන්ම සාහිත්‍යයික අංශයෙන්ද අගය කළ හැකි අගනා ප්‍රයත්නයක් වන හෙයිනි.

ථෙරි ගාථා වූ කලි පාලි සාහිත්‍යයෙහි ආගමික හා සාහිත්‍යයික ශක්‍යතා පෝෂණය කිරීමට උපකාරි වූ රසභාවපූර්ණ පැදි එකතුවකි. ථෙරි ගාථා යනු ථෙරීන්ගේ ආත්ම ප්‍රකාශනය ජීවත්වීමේදී විවිධ ජීවන දුෂ්කරතාවලට මුහුණදුන් කාන්තාවන්ගේ ජීවන පටිපාටිය විශද කොට දැක්වීම එකී පඨිතවල අභිප්‍රාය වූ බැව් පෙනේ. ජීවිතය රඳවා තබාගැනීම සඳහා මිනිසුන්ට හොඳ නරක යහපත අයහපත කළ යුතු නොකළ යුතු යන විභේදනයෙන් තොරව නොකටයුතු දෑ පවා කිරීමට සිදුවේ. ජීවිතය කිසිවකුට අවශ්‍ය ලෙස හැසිරවිය නොහැකිවන හෙයිනි. ඇතැම්හු හිඟමනින්ද, මංකොල්ලකෑමෙන්ද, පදනම් විරහිතව පුද්ගලයන්ට පහර දීමෙන්ද, ඔවුන් මරා දැමීමෙන්ද, සොරකමින්ද වෙසඟනක ලෙස හැසිරීමෙන් ද සතුන් මැරීමෙන්ද, ජීවිතයට මුහුණ දීමට පෙලඹෙති. ථෙරි ගාථාවලින් මුණගැසෙන්නේ ද මෙයට බොහෝ දුරට සමාන චරිතය. සමහරු ප්‍රභූ සමාජය නියෝජනය කළ කාමභෝගී ජීවිත ගතකළෝ වෙති. ඔවුන් අතර රජ කුමාරියෝ ද සිටු දියණියෝ ද, බ්‍රාහ්මණ වංශික කාන්තාවෝද සිටිති. මේ හැරුණුවිට දුප්පත්කමින් පීඩිත වූවන් ද, සිඟමන් යදින්නන්ද, වැදි අඟනන්ද, වෙසඟනුන් ද, ගණිකාවන්ද, විවිධ අපචාරයන්හි යෙදෙන්නන්ද දැකිය හැකිය. මේ අය විවිධ ගතික්‍රියා සිතුම් පැතුම් ඇත්තෝ වෙති. ඔවුහු නොයෙක් විධියේ ආගමික විශ්වාසවලට නතු වූවෝද වෙති. මේ නිසාම ථෙරි ගාථාවල විවිධත්වයක් දක්නට පුළුවන. නන් අයුරින් ජීවන දුෂ්කරතාවන්ට මුහුණ දුන් ලළනාවන් සමූහයකගේ අත්දැකීම් සමුදායක් මේ ඇසුරින් උකහාගත හැකිය. සැබැවින්ම මෙහි නිරූපණය වන්නේ ඉහත සඳහන් කළ කතුන් මෙලොව ජීවිතයේදී මුහුණ දුන් අත්දැකීම්ය. ඔවුහු කිසිදු ලජ්ජා බියකින්, පැකිළීමකින් හා නින්දා අපහාස ගැන තැකීමකින් තොරව තම තමන් ගත කළ ජීවිතය නිරාවරණය කරති. ඒ නිසා කිසිදු පද්‍ය සංග්‍රහයකින් ප්‍රකට නොවන නිර්ව්‍යාජත්වයක් නව්‍යත්වයක් හෙවත් අපූර්වත්වයක් මේ ගී නිර්මාණවලින් ප්‍රකට කෙරේ. ඒවා අවසන් වූ හෙයින් රසභාවපූර්ණ වේ. මේ ගාථා සමුච්චය අව්‍යාජ වන්නේ විඳි අත්දැකීම්, හැඳපැලඳි අබරණ හා ඇඳුම් සම්පූර්ණයෙන්ම ලිහා හැර ප්‍රකෘති ස්වරූපයෙන්ම දැකිය හැකි වන සේ ප්‍රතිනිරූපණය කර ඇති හෙයිනි. ඔවුන්ගේ ජීවිතයේ නග්නත්වය එළිපිටම කියාපෑමට මේ තෙරණියෝ නිර්ලජ්ජා වූහ. නිර්භය වූහ. අවංක වූහ. මේවා සැබැවින්ම ගෙවූ ජීවිතය කිසිවක් වසං නොකොට අනාවරණය කරන අව්‍යාජ නිර්මාණයෝය. අලංකාර ගැනම අවධානය යොමු කරන කාව්‍ය විචාරකයෙක් මෙ ගීවලින් ප්‍රකට වන්නේ ස්වභාවෝක්ති අලංකාර යැයි පැවසිය හැකිය. කිසිවකුට එසේ පැවසිය හැකි වෙතත් ථෙරි ගී රස විඳිය යුතු වන්නේ ඒ හැඟීම අමතකකරය.

තිලකා ශ්‍රියාලතා අල්විස් මෙබඳු අධ්‍යාත්ම ජීවිතය විනිවිද දකින ථෙරි ගී2 (2. අල්විස් ඒ. තිලකා ශ්‍රියාලතා (2025) ථෙරි ගී සරණිය) පන්සිය විසි එකම කාව්‍යමය බස් වහරකින් කවියට නඟා ඇත.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායේ ඇතුළත් ග්‍රන්ථ පසළොවෙන් එකක් වනුයේ ථෙරි ගාථාය. සාමාන්‍ය පිළිගැනීම වන්නේ එහි ගී 521ක් ඇතුළත් වන බවය. මෙය නිපාත වශයෙන් 16කට බෙදනු ලැබේ. බැලූ බැල්මට මේ තෙරණියන් හැත්තෑ තුන්දෙනකුගේ පාපෝච්චාරණ එකතුවකි. එහෙත් පඤ්චක නිපාතයෙහි ඇතුළත් එකොළොස් වන ගාථා පෙළ තෙරණියන් තිස්දෙනකු සතුය. එසේම තෙරණියන් පන්සිය දෙනකු සතු ඡක්ක නිපාතයෙහි එන පළමු ගාථා පෙළ ද සමග සියලුම ගී හයසිය දෙනකු විසින් චිරවිතව ඇත. මේ තෙරණියන් භාරතයෙහි විවිධ ප්‍රදේශ හා විවිධ සමාජ ස්තර නියෝජනය කරන බව පෙනේ. එහෙත් මාර්ටින් වික්‍රමසිංහ සිංහලයට නඟා ඇත්තේ ථෙරීන් 21 දෙනකුගේ උදාන පමණි. මේ අරබයා ගැඹුරු විවරණයක යෙදෙන මාර්ටින් වික්‍රමසිංහයෝ එහි ප්‍රස්තාවනාවෙහිලා මෙසේ පවසති.

“දුක් හෝ සැප හෝ අනුභවයෙන් වෙහෙසීමෙන් කලකිරී කෙලෙස් මැවූ තෙරණින්ගේ හදවත් වීණාවෙන් ගැයුණු ගැඹුරු අරුත් ඇති ගීත, ඔවුන්ගේ පද්‍යයන් කියවීමෙන් දැනුදු ඇසිය හැකිය.3

(3. ථෙ. ප්‍රස්තාවනාව – 9 පිට)

1923 දී පමණ ථෙරි ගාථාවන්ගේ රමණීයත්වය මුලින්ම දුටුවේ පණ්ඩිත ධම්මානන්ද හිමිය. එහිමියෝ ඒ ගාථාවල භාවය සිංහලයෙන් ලියූහ. ඒ භාවය කියවීමෙන් උද්දාමයට පත්වූ මාර්ටින් වික්‍රමසිංහ එහි ශ්‍රේෂ්ඨත්වය දුටුවේය. මාර්ටින් වික්‍රමසිංහ සිය පඨිතය රචනා කළේ ජී.බී. සේනානායක පළිගැනීම කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කරන ලද ගද්‍යයත් පද්‍යයටත් අතර වන රචනා විශේෂය අනුගමනය කරමිනි. එකී නිර්මාණ 3 නේ ප්‍රස්තාවනාව 9 සිට සේනානායක ‘නිදහස්’ හෝ ‘නිසඳැස්’ යන අපදානවලින් හඳුන්වා නුදුන්නේය. පසු කාලයකදී සේනානායක විසින් දැල් කවුළුව කාව්‍ය සංග්‍රහයට ප්‍රස්තාවනාවක් සපයමින් එකී රචනා විශේෂය ‘නිදහස් පද්‍ය’ යන නමින් හඳුන්වාදෙන ලදී. සිය ථෙරි ගීවල ඇතුළත් හැම පද්‍යයක්ම විරිත් අනුව කියවිය හැකි බව මාර්ටින් වික්‍රමසිංහ පවසයි. ඒ ඒ පද්‍යයෙහි එක් එක් පාදය විසින් නඟනු ලබන අරුතට හා ඒ අරුතට උචිත තාලයද නඟන සේ විරිත් වෙනස් කළ බව සඳහන් කරන වික්‍රමසිංහ ඒ සඳහා සිය හද හා කන යොමු කළ බව වැඩිදුරටත් සඳහන් කරයි.4 (4. ථෙ. – සංඥාපනය 5 පිට) මෙයින් පැහැදිලි වන්නේ එළු සඳැස් ලකුණෙහි ඇතුළත් විරිත් භාවිත නොකළ බවය. ඒ කවිය විසින් යෝජිත ස්වාධීන විරිතක් විය හැකිය.

ගුත්තිල කාව්‍යය කියවීමෙන් වික්‍රමසිංහ ලද ආස්වාදය ඉන් පසු ලබාගෙන ඇත්තේ ථෙරි ගාථා කියවීමෙනි. දුක හෝ සැප විඳීමෙන් වෙහෙසට පත්ව කලකිරී කෙලෙස් තැවූ තෙරණින්ගේ හදවත් වීණාවෙන් ගැයුණු ගැඹුරු අරුත් ඇති ගීත එකී පද්‍ය රස විඳීමෙන් හැමවිටම උකහාගත හැකිය. වැඩි දුරටත් සිය අදහස් පැහැදිලි කරන වික්‍රමසිංහ මෙසේ ද පවසයි.

“ථෙරි ගාථා මේ කවි සමයට සීමා වූවක් නොවේ. එහෙත් ථෙරි ගාථාවෙන් ආස්වාදය ලබන්නේ පොදුවේ කවියෙන් ආස්වාදය ලබන සැටියෙන්මයි. අමුතු ඉන්ද්‍රියකින් නොවේ. රඝු වංශයෙන් හෝ ගුත්තිලයෙන් හෝ ආස්වාදයක් ලබන භාවකත්වයක්වේද එයින්මයි.”5 (ථෙ 13 පිට)

ථෙරි ගාථා කියවීමෙන් ලද කම්පනයෙන් යුතුව සියලුම ථෙරි ගාථා සිංහලයට නැඟීමට ශ්‍රියාලතා අල්විස් පෙලඹුණු බැව් “කතුතුමිය ගෙන්’ මෙහිලා ප්‍රකාශ කරන මේ පාඨයෙන් පෙනේ. “මගේ කෘතිය ‘ථෙරි ගාථාවල විදානුගත පරිවර්තනයක් නොවේ. ඇත්තෙන්ම මට අවශ්‍ය වූයේ ථෙරි ගාථාවෙන් පරිශීලනය කිරීමෙන් මා ලද වින්දනය සරල බස් වහරක් යොදාගෙන සහෘද පාඨකයන්හට ඉදිරිපත් කොට ඔවුන් තුළ පහන් සංවේගය හා සහකම්පනයක් ජනිත කරලීමයි.6

(6. ථෙරි ගී ස. ඩසස පිට)

‘පාලි ථෙරට්ඨ ගාථා’ කියවීමෙන් ලද වින්දනාත්මක ශක්‍යතාවෙන් ලද උද්දාමයෙන් යුතුව මේ පඨිතය රචනා කිරීමට ලේඛිකාව පෙලඹුණු බැව් ප්‍රකටය. ඇයගේ කාව්‍යකරණ ශක්‍යතා මේ එකිනෙක ගී රස විඳින රසිකයනට ගැඹුරින් උකහා ගතහැකිය. පුණ්ණා තෙරණියගේ ගාථාවෙන් ඇගේ උදානය කවියට නඟා ඇති අයුරු ළගන්නාසුලුය; මනහරය; සරලය; සුගමය.

‘පින්වත් වූ පුණ්ණාවෙනි
සඳක් ලෙසින් කලා සපිරි
පුරව ගන්න ඔබේ දිවිය
සත්තිස් බෝ පැකි දහමින්
පිරිපුන් නුවණින් යුතුවී
දුරු කරන්න අවිඳු අඳුර

පින්වත් වූ පුණ්ණා පූර්ණ චන්‍ද්‍රයා ලෙස දැක ඇත. ජීවිතය දහමින් පුරවා ගෙන අවිද්‍යා අන්ධකාරය පිරිපුන් නුවණින් දුරුකර ගන්නා ලෙස පවසන අයුරු පහන් සංවේගය දනවනසුලුය. මෙහිදී කිවිඳිය හුදු හෙළබස භාවිත කර ඇති අයුරු ‘සඳක් ලෙසින් කලා සපිරි සතෝතිස් බෝ පැකි දහමින් පිරිපුන් නුවණින් ‘අවිදු අඳුර’ යන කාව්‍ය පාද හා කාව්‍ය ඛණ්ඩව පැහැදිලි වේ. ඒ ඒ ගීයට අදාළ වන සේ නිර්මාණාත්මක බස හැසිරවීමට පෙලඹීම අගය කළ යුතුය. ඇතැම් ගී නිර්මාණයේදී පද අතර ළය මානය රකිමින් වදන් සංඝටනය කිරීම අගනේය. ‘තිස්සා තෙරණියගේ ථෙරි ගාථාව රචනයේදී සකු වදන් හෙළ වදන් හා මැනවින් සංඝටනය කොට ඇති හෙයින් ගාම්භීරත්වය මතු කරයි.

“තිස්සාවෙනි පින්වත්
ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මී
තිදොර සංවර කර ගනිමින්
නොහැර සිව් ක්‍ෂණ සම්පත්
සිව් ඕද බැමි බිඳ හැර
නිකෙලෙස්ව සරනු ලොව තුළ”

මේ පැදියෙහි හෙළ වදන් සමග සකු වදන් එකිනෙක මැනවින් සංඝටනය කොට ඇති හෙයින් ගාම්භීරත්වයක් ඇති වේ. ඒ ඒ උදානවලට අදාළ වන සේ බස හැසිරවීමට කිවිඳිය මනා විවේක බුද්ධියක් ප්‍රකට කරයි.

ධීරා තෙරණියගේ ථෙර ගාථාව රචනා කොට ඇත්තේ නිරතුරු දහමෙහි ඇලී ගැලී සිටීම අවධාරණය කෙරෙන අයුරිනි.

“අකුසල සංඥාවෙන් තොර
නිවන් පහසම ලබනු මැන
සියලු කෙලෙසුන් දුරු කළ
‘නිවන සැපයකි උත්තරීතර”

අන් සියල්ලටම වඩා සිත සොම්නස් කරන, ගත සංසුන් කරන මඟ හෙළි පෙහෙළි කරන, යායුතු දෙස සනිටුහන් කරන මඟ නම් රාග, ද්වේෂ, මෝහ හා තෘෂ්ණා ආදි කෙලෙස් නසා නිවනට – නිර්වාණයට පිවිසීමය. ලොව ඇති උත්තරීතර, ශ්‍රේෂ්ඨ සුවය නම් නිවනයි.

නිවන් මඟට පිවිසීමට නම් කෙලෙස් නැසිය යුතුමය. වීරා ථෙරි ගාථාවෙන් කෙලෙස් නැසීම අවශ්‍යම බව අවධාරණය කර ඇත්තේ මෙසේය.

“වඩන ලද ඉඳුරන් ඇති
වීරා භික්ෂුණියනි
සිව් සම්පදත් විරිය උපදවා
දහම් හි හැසිරෙනු මැන
පරදා කෙලෙස මරු හා පිරිවර
දරුණු මැන අවසන් සිරුර පමණක්”

ඇතැම්විට බුද්ධ දේශනයද උදාන ගීය ලෙස භාවිත කළ බව ‘මිත්තා ථෙරි ගාථාවෙන් පෙනේ.

‘සැදැහැයෙන් පැවිදි වූ මිත්තාවෙනි
කැමතිව කලණ මිතුරන් ඇසුරට
උතුම් නිවන සඳහාම
වඩනු මැන කුසල් දම් නිති’

ඇතැම් උදාන ගී පාද 8, 7, 6 වුවද සමහර ගී පාද හතරකට පමණක් සීමා වී ඇත. මේ ගී සරණියේ එන ගීවලින් ප්‍රකට වන්නේ නිසඳැස් පද්‍ය ආකෘතිය නොවේ. ඒ මෙබඳු ගී සඳහාම වෙන්වූ ස්වාධීන විරිතකි. නිර්ව්‍යාජත්වය රූපණය කිරීමට ඒ ආකෘතිය වඩාත් උචිත මෙන්ම අගනේය.

ථෙරි ගාථා සියුම් ලෙස නිරීක්‍ෂණාත්මක විවරණයට හසු කරනවිට පැහැදිලි වන්නේ එම ගී සකු කවි සමයෙන් සීමා වී නොමැති බවය. ඇතැම්විට ඒ කවි සමය ඉක්මවා යන බවක් ද පෙනේ. එසේ වුවද ථෙරි ගීවලින් ආස්වාදයක් ලබන්නා කවි සමය පිළිබඳ අවබෝධයෙන් යුක්ත වූවකු විය යුතුය.

ථෙරි ගීවලින් අපේක්‍ෂිත රසාස්වාදය උකහා ගතහැකි වන්නේ එසේ වූ විටය. බෞද්ධ බලපෑමක් කිසිසේත් නොමැති බොදු පරිසරයක ජීවත් නොවූ ජර්මන් ජාතික මහාචාර්ය හැරිපර්ඩ් ථෙරි ගීවලින් මහත් චමත්කාරයක් ලද බැව් සඳහන් කරයි.7 (7. ථෙ 14 පිට) ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිස සත්‍යය අවබෝධ කරගෙන නිවන් මඟට පිවිසීම ථෙරීන්ගේ දෘෂ්ටිය වූ බව ඔවුන්ගේ උදානවලින් ප්‍රකටය. ගිහි ජීවිතයේ සැප, දුක් කම්කටොලුවලින් මිදී සසර තරණය කොට නිවන අවබෝධ කර

ගැනීමට ඔවුහු බර දැරූහ. ථෙරි ගීවලින් ඉසියුම් ආස්වාදයක් විඳගත හැක්කේ ඒ හා බැඳුණු කවි සමයෙන් අනුප්‍රාණයක් ලැබීමෙනි. සකු කවි සමය ඒ සඳහා තෝතැන්නක් නොවේ. ථෙරි උදාන ඇසුරින් ගොඩනැඟුණු කවි සමය ඇසුරු කළ යුතුය. බුද්ධියෙන්ම කවියක අරුත් හා ඒ හා බැඳුණු හැඟීම් – සංකල්පනා වටහා ගතනොහැකිය. කාව්‍ය නිර්මාණවලින් ආස්වාදය ලබන්නේ හැඟීම්වලිනි. ඒ හැඟීම් බුද්ධියෙන් හික්මවනු ලැබ ඇත.

“උගතකු කවියක් සිතින් කියවුවද හඬ නඟා කියවුවද එහි රස විඳින්නේ ඇස, කන, හද යන තුන වහල් කොට ගැනීමෙනි. කවියක් කියවන්නා ඒ කවියෙහි පාදයන් අකුරින් අකුර වචනයෙන් වචනය ඇසින් අල්ලයි. සිතින් කියවුවද එහි තාලය කනින් ද අල්ලයි ඇසින්, කනින් ලබන උදව් හා සිතින් ගන්නා සංඥාවන්ද අනුව ඔහු එහි අරුත් හා රස අනුභව කරයි.”8 (8 ථෙ. 19 පිට)

කෙසේ වුවද ථෙරි ගී ගැඹුරින් රස විඳිය හැකි වන්නේ ආගම දහමෙහි පිහිටා ජීවිතය හැඩගස්වා ගත් පසිඳුරන් පිනවීමම ජීවිත අරමුණ කර නොගත් පුද්ගලයකුටය.

පැවිදි වුවත් ගිහි කල ගත කළ දුඃඛිත හා අසරණ ජීවිතය අමතක කළ නොහැකි වූ මුත්තා තෙරණිගේ ජීවිතය කවි ශක්තිය මොනවට ප්‍රකට කරමින් පිඬු කොට ඇති අයුරු ළගන්නාසුලුය. බස හැසිරවීමෙහි කුසලතා නැත්තකුට මෙය කළ හැකි නොවේ. ශ්‍රියාලතා අල්විස් පාලි ගාථාව ගීයට නඟා ඇත්තේ මේ ශක්‍යතා මැනවින් ප්‍රකට වන අයුරිනි.

‘මනාව මිදුනෙමි තුන් කුදයෙන්
වංගෙඩියෙන් මෝලෙන් කුදු සැමිගෙන්
භව තණ්හා රැහැණ ද බිඳලීමෙන්
උපතින් හා මරණයෙන්ද මිදුනෙමි’

ඇය මිදුණේ කුදාගෙන් පමණක් නොවේ. ජීවත්වීම සඳහා ගෙයක් ගානේ ගොස් වැඩ කිරීමට ඉවහල් වූ වංගෙඩියෙන්ද මෝල් ගසෙන්ද මිදුණාය. ජීවත්වීම දහසක් කම්කටොලු විඳීමක් බව මුත්තා ගිහි කල ගත කළ ජීවිතයෙන් පසක් කරගෙන තිබුණි. ඇය කුදු සැමියාගෙන් අවසර ගෙන පැවිදි බව ලැබුණ ද එම ජීවිතයට අවශ්‍ය ලෙස සිත එකඟකර එම ජීවිතයට අවශ්‍ය ලෙස සිත එකඟ කර ගත නොහැකි වූයේ එතරම්ම දැඩි දුක් කම්කටොලුවලට මුහුණ දුන් ගිහි කල විඳි අපාගත ජීවිතය නිරතුරුව මතකයට නැඟුණු හෙයිනි. මුත්තා දිළිඳුකමේ අන්ත පීඩනයට මුහුණ දුන් ගැහැනියකි. දුඃඛ දෝමනස්සවලට මුහුණ දුන් පුද්ගල අත්දැකීම් නිරූපණයේදී සියුම් හැඟීම් විසින් මෙහෙයවන කවියා හෝ කිවිඳිය ද එම භාවකත්වයට පත්වීම වැළක්විය නොහැකිය. එබඳු තත්ත්වයක සිටින කවියකු හෝ කිවිඳියක අතින් ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිවීම වැළැක්විය නොහැකිය. ධම්මදින්න ථෙරි ගාථාවෙන් ද මේ කරුණ වඩාත් සනාථ වේ.

ගිහි ගෙය ජීවිතය ගැන කලකිරුණු සැමියා දහම් මඟට පිවිස සිටින බව දැන ගන්නා ඇය එයට ආශිර්වාද කරමින් තමන් ද එම මඟම පිවිස බවුන් වඩා සසරෙහි නිසරු බව තේරුම් ගෙන බුදුන් වහන්සේගෙන් දහම් අසා පසුව ධම්ම කථික භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට ද පත් වෙයි. ඉන් උද්දාමයට පත් ඇගේ උදාන ගීය සිංහලයට නැඟී ඇත්තේ මෙසේය.

“අගඵල ලැබුමෙහි ආසා ඇතිවිණි
ගිහිගෙය අත්හැර පැවිද්ද ලැබුවෙමි
නිවන් පහස අත්වින්දෙමි මනසින්
කම්සුව වෙත නොඇලෙන සිත් ඇත්තී
උඩුගං වෙත යන්නී නම් වෙයි”

ධම්මදින්නාගේ කතා පුවත පිඬු කොට ඇති අයුරින් කිවිඳියගේ කවිත්වය ප්‍රකට කරයි.

ඇතමෙක් විමුක්ති සුවයෙන් කල්ගෙවන අතරතුර උදාන ගී ගායනා කළ බව විශාඛා ථෙරි ගාථාවෙන් පෙනේ.

‘අනුව යම් ඔවදනන්
නොදේ නම් සිත් තැවුල්
හිමි දෙසූ මඟ එයයි
යනු මැනවි ඒ මඟෙහි
පසක හිඳ ගනු මැනව
පා දොවා ගෙන වහා
ලබනු වස් අමා සුව
සියලු කෙලෙසුන් නසා

ව්‍යවහාර බසින් නිර්මිත අර්ථ පූර්ණ හා භාව පූර්ණ රචනයකි. සරල පද සංඝටනය රමණීය අරුත් ජනනයට තුඩු දෙයි. ක්ෂත්‍රිය වංශික උත්තරාද ප්‍රජාපතී ගෝතමිය වෙත ගොස් පැවිදි වී පසුව බුදුන් වහන්සේ දේශිත ගාථාව අසා සිත් පැහැද පසුව විදසුන් වඩා රහත් වූ තැනැත්තියකි. බුදුන් දේශිත ගාථාව ඇගේ උදාන ගීය විය. සියලු සැප සම්පත් විඳිමින් සිටි ඇය ගිහි ජීවිතය ගැන කලකිරී තෘෂ්ණාව සිඳ බිඳ නිවන අවබෝධ කර ගත්තාය.

‘කයින් වදනින් සිතින්
සංවර බවට පත් මම
තණ්හාව මුල් සිඳලා
සිහිල් වූයෙමි නිවුනෙමි’

සරල සුගම පද භාවිතය ඉස්මතුවී පෙනෙන ගුණාංගයකි. ශරීර දුබලතාවලින් ජීවිතය හඳුනාගෙන කෙලෙසුන් මිදෙන්නට වෙර දැරූ ධම්මා තෙරණියගේ උදාන ගීය ද මෙයට තවත් නිදසුනකි.

‘සැරයටියෙ පිහිටෙන්
පිඬුසිඟා වැඩියෙමි මම
සිරුර අවසඟ හෙයින්
දුබලව ඇද වැටුණෙමි
දුටිමි ආදීනව සිරුරේ
සිත මිදුණි කෙලෙසුන්ගෙන්’

මහලු වියේදී සිය ශරීර අවයවවල දුබලතා හඳුනාගෙන ජීවිතය ගැන කලකිරුණු ධම්මා තෙරණිය පිළිබඳ පුවත මේ පද්‍යයෙන් සරල සුගම බස් වහරකින් නිරූපිතය.

මේ ථෙරි ගාථාවල යම් ව්‍යුහයක විශේෂත්වයක් දැකිය හැකිය. එම විශේෂත්වය කිවිඳිය පෙළගැස්ම යටතේ දක්වා ඇත. එනම් එක් ගී නිපාතය තෙරණියෝ 18 දෙනෙක් සම්බන්ධය. එහි ගාථා 18ක් ඇතුළත්ය. එසේම දෙගී නිපාතය තෙරණියෝ 10 දෙනෙකි. ගාථා 20ක් ඇතුළත්ය. තුන් ගී නිපාතයට තෙරණියන් 08 දෙනෙකි. ගාථා 24 කි. සිව් ගී නිපාතය තෙරණියන් 01ක ගාථා 04කි. පස් ගී නිපාතය තෙරණියන් 12කි. ගාථා 60කි.9 (9 ථෙරි ගී ස සං පිට)

මෙලෙස නිපාත 16ක් ඇති අතර එයට තෙරණියන් 73ක් සම්බන්ධය. චරිත කතා 13කි. ගාථා 521ක් ඇතුළත්ය.

ගේය පද කරණයට පරිබාහිරව භාෂාවෙහිද ගීතයක් පවත්නා බව මාර්ටින් වික්‍රමසිංහ පවසයි. එය සාමාන්‍ය වහරෙහි තාලය යනුවෙන් හැඳින්වේ එය ඉංගිරිසියෙන් රයහඑයප නම් වේ. එම ගීතය සිය අදහස් හා හැඟීම් රසිකයනට හඟවනු පිණිස ප්‍රයත්න දරන කවියාට මහත් උපකාරයක් වේ. ථෙරි ගී සරණියේ ඇතුළත් එකිනෙක ගී කිසියම් විරිතකට අනුව ගායනා කළ හැකි වුවද ඒ ‘එළු සඳැස් ලකුණේ ඇතුළත් විරිත් අනුගමනය කළ නිර්මාණකරණයක් නොවේ. එකී විරිත් සම්මතය ඉක්මවා ගිය නොවිරිත්ය. ථෙරි ගාථා පිළිබඳව විමංසනාත්මක විවරණයක යෙදෙන මාර්ටින් වික්‍රමසිංහ ථෙරි ගාථා සිංහල ජනකවි සමග තුලනය කිරීමට පෙලඹෙයි. වික්‍රමසිංහගේ අදහස වන්නේ සිංහල ජනකවි හා ථෙරි ගාථා අතර සමානත්වයක් දැකිය හැකි බවය. එයට එක් හේතුවක් නම් අලංකාරවද හා බැඳුණු නීතිරීති නොසැලකීමය. ඒ හැරුණුවිට මේ පද්‍ය විශේෂ දෙකෙන් ම එක හා සමාන දෘෂ්ටියක් ප්‍රකට වීමය. “සිංහල ජනකවීන්ගේ දෘෂ්ටිය කර්මවාදය හා අනිත්‍ය ධර්මය විසින් හික්මවනු ලැබූවකි. ථෙරීන්ගේ ජීවිතය අනිත්‍ය ධර්මයෙන් අපගේ ජීවිතයෙන් ලත් සොම්නසත් විසින් හික්මවනු ලැබූවකි.

ථෙරීන් පැවිදි වී පසුව රහත් බවද නිවන ද උදාකර ගත්තේ ගිහි ජීවිතයේ විඳිය යුතු සියලු සැප සම්පත් විඳීමෙන් පසුවය. කාමභෝගී ජීවිතය උපරිම වශයෙන් ගතකිරීමෙන් පසුවය.

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසිනි.

සම්මානිත මහාචාර්ය
කුලතිලක කුමාරසිංහ

ඉතුරු කොටස ලබන සතියේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විශේෂාංග

බදු ආඥාව සහ අපේ යාඥාව!

අතිරේක විශේෂාංග

බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය

අතිරේක විශේෂාංග

පොලොන්නරුව යුගයේ සිංහල සාහිත්‍යයට බලපෑ සංස්කෘත ආභාසය

අතිරේක විශේෂාංග

මාර්ටින් වික්‍රමසිංහ අනුකාරකත්වය හෙළා දුටු අදීන චින්තකයෙක්

අතිරේක විශේෂාංග

වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok