2025 ජුනි මස 08 වැනිදා ඉරිදා
ගණේමුල්ලේ සංජීවට වෙඩි තබන ලද්දේ කමාන්ඩෝ සලිඳු නමැති තරුණ වෙඩික්කාරයකු විසිනි. නීතිඥයකු ලෙස වෙස්වළාගෙන පැමිණි මේ තරුණයා ඉතා ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වන අතර, ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සැණින් උසාවි භූමියෙන් අතුරුදන් විය. ඔහු උසාවි භූමියෙන් එළියට පනින්නේ “අන්න ඇතුළේ වෙඩි තියනවා” යැයි කියමින් සෙසු අය තුළ බියක් සහ ව්‍යාකූලත්වයක් ඇති කිරීමෙනි. පික්පොකට්කාරයා පොකට් එකක් ගසාගෙන පාරදිගේ දිව යන විට “මෙන්න හොරෙක්… මෙන්න හොරෙක්” යැයි කෑගසමින් තෙමේ ද හොරා පසුපස දිවයන සෙයක් අවට ලෝකයට හඟවයි. කමාන්ඩෝ සලිඳු ද ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබීමෙන් පසු ශතවර්ෂයක් පමණ පැරණි මේ ක්‍රමය අනුගමනය කළේය. සිද්ධියට සම්බන්ධ වූ ඉරේෂා සෙව්වන්දි තවමත් ආගිය අතක් නැත. ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව කමාන්ඩෝ සලිඳුට විශාල ප්‍රසිද්ධියක් ලැබිණ. රූපවාහිනියෙත්, ෆේස්බුක් එකෙත් ඔහුගේ පින්තූර පළ විය. පැය 48 ක් තුළ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ අවස්ථාවේදී ද ඔහු ඉතා ප්‍රියමනාප ලෙස මද සිනහවක් පාමින් පොලිසිය සමග සිටිනු අපට දැක ගත හැකි විය.
කමාන්ඩෝ සලිඳු කිසිම කලබලයක් ඇති කෙනෙක් නොවේ. ඔහුගේ පින්තූරය මාධ්‍යවල පළවීමෙන් පසු මේ රටේ ඇතැම් තරුණ කාන්තාවෝ ෆේස්බුක් එක ඔස්සේ ඔහුට විවාහ යෝජනා ඉදිරිපත් කළහ. ඉරේෂා සෙව්වන්දි සහ කමාන්ඩෝ සලිඳු අඹුසැමි ජීවිතයක් ගත කළ බව දැන ගැනීමට තිබේ. මේ රටේ තරුණ ගැහැනු ළමයින් ඔහුට මංගල යෝජනා ගෙන එන්නේ ඔහුගේ එම කාන්තාලෝලීත්වය දැන දැනමය. මේ සියල්ලම පසුගිය කතන්දර වෙති. අලුත් කතාව වන්නේ ගණේමුල්ලේ සංජීවට වෙඩි තබන ලද අවස්ථාවේ දී ඔහු සමග උසාවි කූඩුවේ විත්තිකරුවන් කිහිපදෙනකු සිටියහ. කමාන්ඩෝ සලිඳු වෙඩි තබන ලද ආකාරය හොඳටම දුටු අය එම පිරිසය. එහෙත් කමාන්ඩෝ සලිඳු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී තමන්ට ඔහු හඳුනා ගැනීමට බැරි බව පෙර කී විත්තිකාරයෝ පිරිස කීහ. ඔවුන් එසේ කියන්නේ ඇයි? සමහර විට ඔවුන් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා බුද්ධිමත් සහ ප්‍රඥාසම්පන්න අය නිසාය. කමාන්ඩෝ සලිඳු හඳුනාගත්තේ නම් එසේ හඳුනාගත් එකාට ස්ථිරවම මැරුම් කෑමට සිදුවෙයි. ඒ ඕඩරය ලංකාවට එන්නේ ඩුබායිවලිනි. කමාන්ඩෝ සලිඳු හඳුනාගත් එකා හිරේ ගියොත් එහිදී මැරුම් කෑමට ඉඩ තිබේ. ඔහු ගෙදර ගියොත් මහමගදී වෙඩි කෑමට ඉඩ තිබේ. ගණේමුල්ලේ සංජීව මැරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කරන්නේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද සහ තම්මිට අවිශ්ක නමැති සාපරාධී ගැන්සිය විසිනි. දැනට මේ තිදෙනා ඩුබායි රාජ්‍ය තුළ භාවනානුයෝගී සිල්වත් ජීවිත ගත කරන බව සමාජයට පෙන්වති. කමාන්ඩෝ සලිඳු හඳුනා ගන්නා එකා මැරීමේ කොන්ත්‍රාත්තුව එන්නේ ද මේ තිදෙනා හරහාය. ඒ සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් ඉෂාරා සෙව්වන්දි වෙතින් ලැබීමට ඉඩ තිබේ.
ඉතා හොඳට දන්නා හඳුනන අපරාධකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී නොහඳුනන බව පැවැසීම මේ රටේ අලුත් ප්‍රවණතාව ලෙස සැලකිය හැකිය. මේ අනුව ඉදිරියේ දී හඳුනා ගැනීමේ පෙරෙට්ටුව නාමික නෛතික අවශ්‍යතාවක් පමණක් බවට පත් වීමට ඉඩ තිබේ. ලංකාවේ එල්ලුම්ගස් නැති බැවිනුත්, ටික කලක් හිරේ සිටින විට ඇප ලබා ගැනීමට හැකි බැවිනුත්, ඇප ලැබුණු විට කංජිපානි ඉම්රාන් මෙන් බෝට්ටුවේ නැග ඉන්දියාවට පලා යෑමට ඉඩ ඇති බැවිනුත් මේ රටේ මිනීමරුවන් නීතියට බය නැත. දණ්ඩනීති සංග්‍රහය නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට අවශ්‍ය පාඨ ග්‍රන්ථයක් ලෙස සැලකීමට අපරාධකරුවන් පුරුදු වෙනවා ඇත. නීතියට බිය නැති වීම, එල්ලුම්ගහ ගණන් නොගැනීම, සිර ජීවිතය ආතල් එකක් කර ගැනීම වැනි කාරණා මේ රටට පුරුදු වුණොත් ලංකාව අපායේ ෆොටෝ කොපියක් බවට පත් වීම ස්ථිරය. අනුර දිසානායකගේ ආණ්ඩුව මේ වනවිට දූෂණ මර්දනයට එරෙහිව ඉතා ක්‍රියාශීලී සහ ඵලදායී මැච් එකක් ගහන්නට පටන්ගෙන තිබේ. ඊළඟට ඔහු අල්ලස් කොමිසම හරහා දේශපාලනඥ සොරුන්ට සුදුසු පරිදි සැලකීමට පටන්ගෙන ඇත. හැබැයි තවමත් රටේ අපරාධ මර්දනය කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී නැත. මේ ඔක්කොම එකසැරේ කිරීමට බැරි බව අපි පිළිගනිමු. සොරකම් කළ අයට ලැබෙන දඬුවම් නිසා මේ රටේ ජනතාව දැනටමත් සතුටින් සිටිති. එහෙත් අපරාධකරුවන් සහ පාතාලකාරයන් නිසා ජන ජීවිතයට අස්ථාවරත්වයක් ලැබී තිබේ. මෙලොව උපදින අප ඉතාම හොඳින් දන්නා දෙයක් තිබේ. ඒ අප මියයන බවය. එහෙත් අප නොදන්නා එකම දෙය වන්නේ අපගේ මරණය සිදුවන දිනයයි. ඒ දිනය තීන්දු කිරීමට පාතාලයට බලය ලැබීම විශාල ඛේදවාචකයකි. මේ රටේ සාමාන්‍ය ජනයා ප්‍රාණ භීතියකින් තොරව තැබීම ජනාධිපති අනුර දිසානායකගේ වගකීම් දහස් ගණනකින් වැදගත්ම එකකි.