මරන්න රැගෙන ගිය ගවයන් 17දෙනකුගේ දිවි බේරයි…
තුවාල සිදුව මැරෙන්න ගිය ගවයන් 07දෙනකුගේ දිවි බේරයි….
මා ඉදිරියෙන් ගමන් ගත් යතුරු පැදියේ පිටුපස ගෝනියක පිරවූ තණකොළ ගැටගසා තිබුණි. එම යතුරු පැදියේ ගමන් ගනිමින් සිටියේ අම්පාර පොලිස් කොට්ඨාස රණවිරු සුභ සාධක සංගමයේ ස්ථානාධිපති සරත් විජේසිංහ ය. අප දන්නා “සරත් මහත්තයා”ගේ , ගෙදර හරක් ඇති කරන්නේ නැත. එහෙයින්ම ඒ තණකොළ කවර හේතුවක් නිසා ගෙන යන්නේ දැයි සෙවීමේ “ඕපාදුප සිතුවිල්ලක් මසිතට ආයේය. ඒ සමගම නාමල්තලාව ශෛල්‍යබිම්බාරාමාධිපති ගම්පහ නාරද හිමියන් කලකට ඉහත මට කී කතාවක් ද සිහිපත් විණි.
“ලියනවනම්, ලියන්නම ඕන ලිපියක් තියෙනවා… මේ අපේ සරත් මහත්තයා ගැන. එයා අවුරුදු 14ක් තිස්සේ පාරවල්වල ඉන්න බල්ලන්ට කෑම දෙනවා. තුවාල වුණ හරකුන්ට බෙහෙත් කරලා බේර ගන්නවා. අද ගොඩක් දෙනෙක් කරන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන එක. නමුත් අසරණ බල්ලන්ට 150කට විතර තමන්ගෙ වියදමින් කන්න දෙනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි ” නාරද හිමියෝ එසේ කීහ. එකිනෙක ගලපාගත්විට මට කාරණය තේරුම් බේරුම් කර ගන්නට හැකිවිය.
ඉතින්, පමාවන්නේ ඇයි? සත්පුරුෂයකු ගැන ලිවීම තරම් සතුටක් තිබේද?

තෝරාගත් දිනෙක, ගම්පහ නාරද හිමියන් සමග සවස පහට පමණ ගමන ඇරඹු වෙමු. “සරත් මහත්තයා ” අපට හමුවූයේ අම්පාර සර්වෝදය හන්දිය අසල දීය.
ඒ වනවිටත් ඔහු සිය ‘සානුකම්පිත රාජකාරිය’ අරඹා තිබුණි. සර්වෝදය හන්දිය ආසන්නයේ සුනඛ පිරිවර සිටියේ සරත් මහත්තයා වටකොට උඩ පනිමින් දඟලමින්, කෑ ගසමින් මහත්සේ සතුට පළ කරමිණි .
“හා හා දඟල්න්නනේ නැතිව ඉන්න ” සරත් මහත්තයා ඔවුනට කියන්නේ කරුණාවෙනි. එම සතුනට ඔහු ආහාර ලබාදුන්නේ ද එතරම්ම කරුණාවෙනි.
සරත් මහත්තයා මේ ආකාරයෙන් වීදි සුනඛයන් වෙනුවෙන් ආහාර ලබාදීම ඇරුඹෙන්නේ මීට වසර 14කට ඉහත දීය. උතුරු නැඟෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අම්පාර විද්‍යානන්ද පිරවෙනේ පරිවේණාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා ලෙස කටයුතු කරන සමයේ දීය. එම පිරිවෙන් භූමිය තුළ කුසගින්නේ සැරි සැරූ විදී සුනඛයන් දුටුවිට ඔහුගේ සංවේදි සිතට මෙම පින් සිතුවිල්ල පහළ වී තිබිණි.
“පව් මේ සත්තු , කඩෙන් ගිහින් කන්න ද? බඩගිනි වුණා කියලා ඉල්ලගෙන කන්නද? ඒ නිසා මේ සත්තුන්ට කන්න ටිකක් හදලා දෙන්න ඕනේ කියලා මට හිතුණා. එදාම සවස කෑම උයලා , පන්සල් වත්තෙයි ඒ ළඟ හිටපු සත්තුන්ට මම කන්න දුන්නා.”
දාහතර වසරක් සිය උතුම් කාර්යය ආරම්භ කළ සැටි සරත් මහත්තයා කියන්නේය.
ඇට කෝටු පෑදි හාමතේ සිටි සුනඛ සේනාවට එය මහා රජ බොජුනක්ම වන්නට ඇත. කුස ගිනි නිවෙන තුරු කෑම කා සුනඛ සේනාව මහා හඬින් සතුටට පත්ව කෑගසන්නේය. සරත් මහත්තයා පසු පස දිව එන්නේය . කළගුණ සැලකීමේ අන් මඟක් උන් දන්නේ නැත.
සුනඛයන් දහ පහළොස් දෙනකුගේ ඇරඹුණ ද දිනෙන් දින එකතු වුණ අහිංසක වීදි සුනඛයන් සංඛ්‍යාව ද ඉහළ ගියේ ඔහුට ද නොදැනීය.
මුලදී හාල් කිලෝවකින් ඇරඹුව ද දැන් හාල් කිලෝ 15ක් දිනකට ආහාර පිසීමට සිදුව තිබේ. ඒ අම්පාර රෝහල් හන්දිය, කල්මුණේ හන්දිය, සර්වෝදය හන්දිය, පොලිසිය හන්දිය, ශාන්ත කඩය අසල ඇතුළු ස්ථාන රැසක නිතර දෙවේලේ ගැවසෙන සුනඛයන්ට ද සරත් මහතත්යා ආහාර ලබාදෙන නිසාය.
“සත්තු 125 දෙනකුට මම මේ වනවිට දිනපතාම කෑම හදලා දෙනවා. මම නිසා අහිංසක සත්තු 125දෙනකුගේ කුස ගින්දර හැමදාම නිවෙනවා කියලා මට හිතෙද්දි සිතට දැනෙන්නේ මහා පුදුමාකාර සතුටක්. ඒ සතුට මට සල්ලි කොච්චර හෙව්වත් ලැබෙන්නේ නැහැ. ”
සරත් මහත්තයා ඒ බව කීවේ හැබෑම සතුටකිනි.
සරත් මහත්තයාගේ සත්කාරය ලබන සතුන් කරවලට ප්‍රියතාවයක් නොදක්වයි. කරවල සමග බත් දුන්විට කෑමෙන් මොහොතක් ගතවනවිට එම සතුන් විවිධ සාංකූලතාවයන් පෙන්වන්නේය. ඒ නිසා සතුන් වෙනුවෙන් සකසා ඇති මස් ලබාගෙන ආහාර පිසීමට සිදුව තිබේ. ඒවා කිලෝවක් පෙරදි රුපියල් 85කි. දැන් කිලෝව රුපියල් 355ට ඉහළ ගොස් තිබේ. දිනකට එයින් කිලෝ 8ක් පමණ අවශ්‍යවේ. මේ ආකාරය විදී සුනඛයන්ට ආහාර දීම සඳහා සරත් විජේසිංහ නම් සංවේදී පොලිස් නිලධාරිවරයාට මසකට ඔහුගේ වැටුපෙන් විශාල මුදලක් වැය කරන්නට සිදු වෙති. මේ සත්කාර්යය මේ දක්වා ම කරන් යන්නට හැකි වීමට ප්‍රධානම සවිය වුවේ ඔහුගේ ආදරණීය බිරිඳ සහ පුතුගෙන් ලැබෙන නොමඳ සහය නිසාය.
මේ සියලු සතුන්ට සරත් මහත්තයාගේ යතුරු පැදියේ හඬ හොඳට හුරුය. යතුරු පැදියේ හඬ ඇසුණ සැණින් මෙම සුනඛයන් කෑ ගසමින් සරත් මහතා පසුපස දිව එති. එය දකින්නට ප්‍රිය උපදවන්නකි.

“සරත් මහත්තයාට හෑගොඩ ඉන්දාසාර නාහිමියන්ගේ ඇසුර ලබන්නට පින තිබුණා. කිරිඳිවෙල සෝමරතන හිමියන්ගේ සහෝදරයා ලෙස උන්වහන්සේගෙන් ජීවිතයට විනය, සංවර බව, දයාව, කරුණාව යන දේ සරත් මහතාට ලැබුණා. දිවංගත විතානගේ විජේසිංහ පියා සහ යසවති මෑණියන් විසින් රටට දැයට වැඩදායී දරුවන් පිරිසක් දයාද කරලා දුන්නා. ඒ නිසා තමයි මේ ආකාරයෙන් තමන්ගේ පුදගලික මුදල් පවා යොදා අසරණ සතුනට ආහාර ලබාදෙමින් මහා මෙහවරක් කරන්නේ. ඒ වාගේම සරත් මහතා මරන්න ගෙනිච්ච ගවයන් 17දෙනකු බේරා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වාගේම තුවාල වෙලා මැරෙන්න ගිය ගවයන් හත්දෙනෙකු බේරගන්න කටයුතු කරලා තියෙනවා . ”
ගම්පහ නාරද හිමියෝ පැවසූහ.
හරකා බේරා ගන්නට බනිස් කෙසෙල් මෙහයුම

දිනක් අම්පාර ගුණසිරි බේකරිය අසල කකුළක් තුවාල වූ ගවයෙක් ඇවිදීමට නොහැකිව දැඩිසේ වේදනාවෙන් සිටින අයුරු සරත් මහත්ත්යාගේ ඇස ගැටුණි.
ගුණසිරි බේකරියෙන් බනිස් ගෙඩි 16ක් සහ කෙසෙල් ගෙඩි කිලෝ 03ක් රැගෙන මෙම අසරණ ගවයා අම්පාර විද්‍යානන්ද පිරිවෙන අසලට රැගෙන යෑම ආරම්භ කරන්නට වූහ. සවස 4ට ආරම්භ වූ තුවාල වූ හරකා රැගෙන යෑම අවසන් වූවේ රාත්‍රී නවයට පමණය. කිලෝ මීටරයක් පමණ දුර යෑමට පැය පහක් ගතව තිබුණි.
ඇණයක් ඇනී කුණුවී පණුවෝ ගසා සිටීම නිසා හරකාට කෙළින් සිටීමට පවා අපහසුව තිබුණි. බනිස් ගෙඩියක් හා කෙසෙල් ගෙඩි කිහිපයක් දිගු කළවිට හරකා හිමින් ඉදිරිය ඇදේ. විටෙක ඇද වැටී අපහසුවෙන් දිගාවී සිටියි. ආයේ බනිස් සහ කෙසෙල් ගෙඩියක් දිගු කළවිට ඉතා අපහසුවෙන් හරකා ඉදිරියට ඇදේ . මේ ආකාරයට ඉදිරියට ඇදුණු හරකා අවසානයේ විද්‍යානන්ද පිරිවෙන අසලට ගෙන යෑමට හැකි විය.
පසුවදා අම්පාර පශු වෛද්‍ය නිලධාරිවරයා පැමිණ පරීක්ෂා කර බලා මෙම සතාගේ කකුළ බේරා ගැනීමට අපහසු බව කිවේය.
“ අනේ ඩොක්ටර් කීයක් ගියත් කමක් නැහැ මට මේ හරකාගේ කකුළ හොඳ කරලා දෙන්න ” උප පොලිස් පරීක්ෂක සරත් කීවේය.
අවසානයේ හරකා සුව කිරීමට , ඔහුට මහනුවරින් පවා බෙහෙත් ගෙන එන්නට සිදුවිය. අවසානයේදී රුපියල් එක් ලක්ෂ විසි තුන් දහසක් මුදලක් වියදම් කර එම ගවයා සුවපත් කරන්නට හැකි විණි. දැන් ඉතා හොඳින් ජීවත් වන මෙම ගවයා දකිද්දී සරත් මහතාගේ සිතට දැනෙන්නේ අති විශාල සතුටකි.” හා සුද්දා ” කියද්දී මෙම හරකා සරත් මහතා අසලට දිව එයි.
මේ ආකාරයට තුවාල ලැබූ ගවයන් හත්දෙනකුගේ දිවි බේරාගන්නට තරම් සරත් මහතාගේ සිත සත්ව කරුණාවෙන් පරී ඉතිරි ගොස් තිබුණි. හෙතෙම මානව දයාවෙන් පිරිපුන් මිනිසෙකි.
දිනක් ළි`ඳකට වැටුණු අවුරුදු පහක් වයසැති පුංචි දරුවෙක් බේරා ගන්නට සරත් මහතා කටයුතු කළේ තමන්ගේ දිවිය පිළිබඳව නොසිතාය. සැනෙකින් ළිඳට පැන එම කුඩා දරුවා සිය දෑතින් ඉහළට ඔසවා නොගන්නට ඔහු මේ වනවිටත් මරු තුරුළට යන්නට ඉඩ තිබුණි.
මේ ආකාරයට විපතක් දුටුවිට සරත් මහතා තමන්ගේ දිවිය පිළිබඳව නොතකා අභීතව ඉදිරිපත් වන අභීත පොලිස් නිලධාරිවරයෙකි.
“අරන්තලාව ලොකු හාමුදුරුවන් විද්‍යානන්ද පිරිවෙනේ මෙම සතුන්ට ආහාර පාන සකසන්න අවසර දිලා තියෙනවා. එහි දානේ ඉතිරි වන අවස්ථාවන්වල ලබාදෙනවා. නාමල්තලාව ශෛල්‍යබිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් හා මහාවාපි විහාරස්ථානයේ පූජ්‍ය දෙමටැල්ලේ දයාසාර හිමියන් මෙම සතුන් වෙනුවෙන් බෙහෙත් හේත් කරන්න දායාකත්වය ලබාදෙමින් මා කරනා සත්කාර්යය පිළිබඳව මා දිරිමත් කරමින් සහාය දීම මාහට විශාල ශක්තියක්” ඔහු කියන්නේ කෘතගුණ පූර්වකවය.
සුනඛයන්ට ජල භිතීකා එන්නත් කිරීම, කුෂ්ඨ රෝගයෙන් සහ තුවාල සිදුවූ සුනඛයන්ට ප්‍රතිකාර කිරීම. සුනඛ ගහනය පාලනය කිරීම සඳහා පිටප්‍රදේශවලින් පවා පශුවෛද්‍ය නිලධාරිවරුන් ගෙන්වා සැත්කම් සිදුකරීමට සරත් මහතා කටයුතු කරන්නේ වීදි සුනඛයන්ගෙන් ජනතාවට වන හානිය වළක්වන්නටය.
“මේ වනවිට පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර සමග නිවාස දෙකක් හදලා දිලා තියෙනවා. පාසල් දරුවන්ට නිතර දෙවේලේ පාසල් උපකරණ ලබාදෙනවා. අසරණ ජනතාවට වියළි ආහාර ලබාදෙනවා. රාජකාරියත් නිසි ආකාරයෙන් ඉටු කරමින් මෙවැනි පින් දහම් වැඩ කරන්න තමයි සරත් මහතා නිතර දෙවෙලේ කටයුතු කරන්නේ ”
පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියෝ ද පැවසූහ.
මේ සත්කාර්යේදී පශුවෛද්‍ය නලධාරි බටේපොළ මහතා,රසිකා ප්‍රියදර්ශීනි මහත්මිය ඇතු`ඵ නිලධාරි මහත්ම මහත්මියන්ගෙන් ලැබෙන සහය ද අගය කළ යුත්තකි.
මෙම ලිපිය ලියන්නට වසර ගණනක් තිස්සේ උත්සාහ ගත්ත ද “සරත් මහත්තයා ” ඊට ඉඩක් ලබාදුන්නේ නැත. මේ අවස්ථාව ද ලබාගත්තේ අසීරුවෙනි. ඒ තම කාර්යය සැබෑවටම ඉටු කරන සත්පුරුෂයන්ගේ හැටිය.
සුසන්ත අමරබන්දු