වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ප්‍රශ්න ලෙඩ්ඩුන්ගේ පිට තියලා ලෙඩ්ඩු මරාගන්න එකට විසඳුමක් කඩිනමින් ඕනෑ
මගේ මහත්තයා මැරුණා නෙවෙයි මරා ගත්තා
සෞඛ්‍ය ඇමැතිගේ පුද්ගලික දුරකථනයටත් පණිවිඩ ඇරියා වගේ වගක් නෑ…
මේ ඇත්තේ 2025 ජනවාරි 4 වැනි දින නලින්ද ජයතිස්ස මහතා ජයවර්ධනපුර රෝහලට ගොස් එහි කාර්යභාරයන් පිළිබඳව විමසිලිමත් වූ මොහොතේ සටහනය….”
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව වඩාත් පුළුල් කිරීමට නව සැලැස්මක් යටතේ පියවර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරිය සමග පසුගියදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් හා රෝහලේ සියලු සේවාවන් වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවාවන් තවදුරත් ඵලදායී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පසුගියදා එම රෝහලේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකදීය. 1984 වර්ෂයේ දී ඇඳන් 1001 ක ධාරිතාවයකින් යුතුව ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ජපන් රජයෙන් මෙරටට ලැබුණු පරිත්‍යාගයකි.
රෝහල් කාර්ය මණ්ඩලය සමගද සාකච්ඡාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු හා යෝජනා පිළිබඳවත්, ඉදිරියේදී රෝහල සංවර්ධනය කිරීමේදී කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබඳවත් මෙහිදී අමාත්‍යවරයා විමසා බලන ලදී. එහිදී විශේෂයෙන්ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායන සඳහා සහභාගිවන රෝගීන්ට දැනට සපයනු ලබන පහසුකම් හා සේවාවලට අමතරව තවදුරටත් අලුතින් එක්කළ යුතු සේවා පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් සොයා බැලීමක් සිදු කරනු ලැබීය. දශක හතරක අත්දැකීම් අභිමානයෙන් ගෙන රෝහලට පැමිණෙන රෝගීන්ට ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් නිබඳව ලබා දීමට කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය. නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයාංග තිලකරත්න, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
මේ කතාව දිග හැරෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් රෝහල පිළිබඳව දළ නිගමනයකට පැමිණ එහි කාර්යභාරය පිළිබඳ උදම් අනා වෛද්‍යවරුන්ට එහි වගකීම් යුතුකම් මතක් කර දෙන පසුබිමක් තුළය.
දිනය ඉකුත් මැයි 24 වෙනිදාය. නාත්තන්ඩිය තබ්බෝව ජය උයන 135 නිවසේ පදිංචිව සිටි පිය පුතු දෙදෙනාගේම මළ සිරුරු ජනතා ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර ඇති අයුරු දක්නට ලැබිණි. වයස අවුරුදු හතළිස් හතක පියෙකු සහ වයස අවුරුදු 18ක පුතෙකු එකම වහල යට මෘත දේහයන් ලෙස සැතපී සිටින අයුරුත් ඒ මත හැපි හැපී හඬන වැළපෙන මවක් සහ තවත් පුතෙකුත් පිළිබඳ ශෝකාන්තය කුමක් දැයි විමසීමි.
“තාත්තා මැරුණා කියලා පුතා දන්නෙත් නෑ. පුතා මැරුණා කියලා තාත්තා දන්නෙත් නෑ. ඒගොල්ලෝ එකටම ගියා තමයි. ඒ වුණාට මගේ මහත්තය මැරෙන්න හිටිය මනුස්සයෙක් නෙවෙයි. ඒ රත්තරන් මනුස්සයාව ජයවර්ධනපුරේ වෛද්‍යවරු මරා ගත්තා……”
හඬා වැළපෙමින් සිටි අවුරුදු 45ක බිරිඳ කියා සිටියාය.
එතකොට පුතා….? මගේ ප්‍රශ්නය විය.

පුතාට වයස අවුරුදු 18 අසනීප වෙලා ඉන්න දවස්වල එයාට උණ ගැනුණා. මං හිතන්නේ අර වෛරස් උණ. ඒ අතරේ කනෙන් ලේ ගැලුවා.
ඊට පස්සේ එයාවත් ඉස්පිරිතාලේ නතර කළා. එයා ටික ටික දුර්වල වෙලා දැඩිසත්කර ඒකකයට ඇතුළු කළා. මහත්තයා ඉස්පිරිතාලේ නතර කළේ මැයි 15 වැනි දා. ඒ සීනි වැඩිවෙලා. එයා ඩයලයිස් කර කර හිටපු වකුගඩු ලෙඩෙක්. මහත්තයත් හොඳටම දුර්වල වෙලා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා. මහත්තයා 22 වැනිදා නැති වුණා. පුතා විසි හතර වැනිදා නැති වුණා. මැරුණ කියල දෙන්නට දෙන්න දන්නේ නැහැ….”
බැලූ බැල්මට විය හැකි තත්ත්වයේ කතාවක්. නමුත් දොස්තරලා මගේ රත්තරන් මහත්තයාව මරා ගත්තා කියමින් බිරිඳගේ වේදනාව වැළපීමක් ලෙස පිටපන් මොහොතේ කී කතාවෙන් මේ මරණ අතර සැඟවුණු කුමක් හෝ දරුණු ගණයේ සිද්ධියක් ඇති බව වැටහී ගිය බැවින් කෙසේ හෝ බිරිඳ වන කේ. සුගන්ධි කුමාරි මහත්මිය සමග කතා කිරීමට මඟපාදා ගත්තේය.
“….. සුගන්ධි මහත්මිය සිය හඬ අවදි කළාය.
මගේ මහත්තයට ජයවර්ධනපුර රෝහලේ වකුගඩු බද්ධ කරන්න දින නියම කරගෙන තිබුණේ. පහුගිය අප්‍රේල් 9 වෙනිදා වකුගඩුව බද්ද කළා නම් අදටත් මගේ මහත්තය ජීවත් වෙනවා.
දොස්තරලා තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න සහ විවිධ හේතු නිසා ශල්‍යකර්ම පස්සට දානවා.
ඒකෙන් පීඩා විඳින්නේ අහිංසක රෝගීන් වගේම මේ රෝගීන්ගේ පවුල්වල මිනිස්සු.
ඇය මුල සිට කතාව මෙලෙස විස්තර කළාය.
අපේ මහත්තයා අසනීප වෙලා දැන් අවුරුදු එකහමාරක් වෙනවා. ඒ අසනීප වෙන්න කලින් වැඩ කළේ බිෂොප් හවුස්වල, සුපිරින්ටන් කෙනෙක් විදිහට. අවුරුදු 17ක් වැඩ කරලා ෆාම් එකට මාරු කළාට පස්සේ මේක දුර නිසා මම එයාට යන්න දුන්නේ නෑ. මොකද එයා හරිම හොඳයි. අපේ පවුල ආදරයෙන් බැඳුනු පවුලක්.
මම වැඩ කළේ නාත්තන්ඩියේ සමූපකාරයේ. අවුරුදු හතක් මම එතන සේවය කළා. ඒත් මහත්තයා අසනීප වුණාට පස්සේ මං එතනින් අයින් වුණා. මහත්තයාව බලාගන්න ඕනේ නිසා.
මහත්තයට තියෙන වකුගඩු රෝගය මොකක්ද කියලා හරියට අඳුර ගත්තට පස්සේ ජයවර්ධනපුර ඉස්පිරිතාලයට ගියා. දැන් අවුරුදු එකහමාරකට විතර කලින් එතනදී හැම පරීක්ෂණයක්ම කරලා ඩයලයිසිස් කරන්න පටන් ගත්තා. ජයවර්ධනපුර රෝහලෙන් බෙහෙත් ගන්නවා කියන්නේ සල්ලි වියදම් කරලා බෙහෙත් ගන්නවා කියන එකයි. ඒත් පහසුව නිසා අපි ඒ දේවල් කළා. අනිත් කාරණාව තමයි මුල ඉඳලම බලපු වෛද්‍යවරු හරිම හොඳයි අපිට හරිම කාරුණිකයි. මේ විතරක් නෙවෙයි පුදුම උනන්දුවකින් ලෙඩාව ජීවත් කරන්න මහන්සි ගත්තා.
ඉන් පස්සේ අපි වකුගඩුවක් බද්ධ කරන්න ඕනේ තත්ත්වයට වැටිලා තියෙනවා. වකුගඩුවක් දෙන්න කැමති පුද්ගලයෙකුත් හොයා ගත්තා. හැම පරීක්ෂණයක්ම සල්ලි ගෙවලා ඉවර කරගත්තා. ඒවට මුල් වුණේ හිටපු ඩොක්ට හර්ෂණී ඩොක්ටර් අමිල ඇතුළු කණ්ඩායමයි. ඔය අතරේ මාර්තු මාසේ දවසක අපිට කතා කරලා කිව්වා වකුගඩු බද්ධ කරන්න අප්‍රේල් නව වැනිදා දිනේ දාගත්තා. ඉන් පස්සේ ශල්‍යකර්මයට ඕනෙ කරන ඇඳුම් ඉන්න තැනක් ඒවා මේවා ඔක්කොම ලෑස්ති කරගන්න කියලත් අපිට කිව්වා.
අපිට මුළු ලෝකෙම ලැබුණා වගේ. ඉතින් අපි ඒවා සෑම දෙයක්ම ලෑස්ති කරගත්තා. රුපියල් 45000ක් පනස්දාහක් විතර වියදම් කරලා ශල්‍යකර්මයට අවශ්‍ය ඇඳුම් හැම දේම ගත්තා. ශල්‍යකර්මයෙන් පස්සේ නවතින්න ගෙදරකුත් හොයා ගත්තා. ජයවර්ධනපුර රෝහල ළඟම.
අප්‍රේල් පළවෙනිදා රැස්වීමක් තියෙනවා කියලා එන්න කියලා කිව්වා. මහත්තයාව ගෙදර තියලා මම ඒ රැස්වීමට ගියා. ශල්‍යකර්මයට දින දීලා තිබෙන හැමෝම රැස්වීමට ඇවිත් හිටියා. ඩොක්ටර් අමිල එතැනට ඇවිල්ලා කිව්වා හරිම කනගාටුදායක සිද්ධියක්, ශල්‍යකර්ම කරන්න සිදු වෙන්නේ නැහැයි කියලා.
අපි හැමෝම කඩා වැටුණා. ජීවිතය ලැබෙන්න පෙනි පෙනී තිබිලා ආපහු අහිමි වුණා කියන හැඟීම ඒ වෙලාවෙත් මට දැනුණා.
මොකක්ද හේතුව කියල ඇහුවහම කිව්වේ වෛද්‍යවරුන්ගේ පරිපාලන හේතුවක් කියලා.
වෛද්‍යවරුන්ගේ පරිපාලන හේතුව කොහොමද රෝගීන්ගේ ශල්‍යකර්මයත් එක්ක බද්ධ වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. බෙහෙත් නෑ කිව්වොත් නං පිළිගන්න පුළුවන්. ශල්‍යාගාරයේ ප්‍රශ්නයක් කිව්වොත් ඒකත් පිළිගන්න පුළුවන්. නමුත් දොස්තරලගේ පරිපාලන ප්‍රශ්නයක් එක්ක රෝගීන්ගේ ජීවිත බද්ධ කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ.
එදා මම ගෙදරට බඳින්න සල්ලිත් ඇරගෙන ඇවිත් තිබුණේ. අනිත් එක තමයි ඒ ගෙදර මිනිස්සු ගෙදර අයින් කරලානේ තිබුණේ. ආයෙ එයාලට කතා කරලා මේ විස්තරේ කියලා මම ආපහු ගෙදර ගියා.
ඉන් පස්සේ ආපහු රෝහල් අධ්‍යක්ෂතුමා මුණගැහෙන්න ආවා. ශල්‍යකර්ම කරන්න හිටපු අනිත් අයත් ආවා. දින මාරු කරගත්ත රසිකයි, මමයි තමයි අධ්‍යක්ෂතුමා මුණගැහෙන්න ගියේ. අපි යනකොටත් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහත්තයා කාර්යාලයේ හිටියේ නැහැ. කීයට හරි එයිනේ කියලා අපි දෙන්න හිටියා. නමුත් දවල් වෙනකල් ආවෙ නැහැ. අමාත්‍යාංශයට ගියා කියලා කිව්වා.
අපි අමාත්‍යාංශයට කතා කළා. එතනින් කිව්වා රැස්වීමක් නම් තියෙනවා නමුත් වෛද්‍ය හේවගේ එතන නැහැයි කියලා. අපි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්තයාට කෝල් කළා. කෝල් එක ගත්තෙ නැති නිසා සියලුම විස්තරේ කියලා මැසේජ් එකක් ෆෝන් එකට දැම්මා. නමුත් අපිට ඒකට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

වෙන වෛද්‍ය අසංක කියලා කෙනෙක් අපේ ප්‍රශ්නේ රැස්වීමේදී කතා කරනවා කියලා කිව්වා.
කොහොම හරි පැය ගාණකට පස්සේ අධ්‍යක්ෂතුමා ආවා.
අපි වැඳ වැටිලා ඇහුවා ඇයි අපේ ලෙඩ්ඩුන්ගේ ශල්‍යකර්ම කරන්නේ නැත්තේ කියලා. අධ්‍යක්ෂතුමා කිව්වා,
“ඔයාලා මෙච්චර කල් වැඩ කරලා තියෙන්නේ වෛද්‍යවරුන් එක්ක ද කියලා මටත් ප්‍රශ්නයක්. මොකද වෛද්‍යවරයකුට
රෝගියෙක් ගැන හැඟීමක් තියෙන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. මම එන පාරේ ලෙඩෙක් වැටිලා හිටියත් මම ගිහිල්ලා ඒ මනුස්සයාට උදව් කරනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් මගේ හැටි එහෙමයි. මෙතන වැඩ කරන අනිත් දොස්තරලා දැනගන්න ඒගොල්ලෝ කරන වැඩවලින් ඔයාලටම පේනවනේ ඔයාලට ඇති කරලා තියෙන ප්‍රශ්නය… කිව්වා මිසක් අපිට වෙන විසඳුමක් දුන්නේ නැහැ.
රසිකා කිව්වා පිටින් දොස්තරලා හයර් එකට අරන් හරි අපේ ශල්‍යකර්මය කරන්න. මොකද ශල්‍යකර්මයට සියල්ලම ලෑස්තියිනේ කියලා. නමුත් ඒ කිසිම දෙයකට උත්තරයක් ලැබුණේ නැහැ.
නැවතත් සති කීපයකින් අධ්‍යක්ෂතුමා මුණගැහෙන්න අපි ආවා. ඒ වෙලාවේ අධ්‍යක්ෂතුමා අපෙන් අහනවා මොකුත් කරගත්තේ නැද්ද කියලා. අපි ආවේ එතුමගෙන් ඒ ගැන අහන්න. අධ්‍යක්ෂතුමා කියනවා ඔයාලටත් රෝගියාව ඩයලයිසීස් කරන්න පුළුවන්නේ කියලා.
ඩයලයිසීස් කරනවා කියන්නේ දුකක්. ඒ දුක අපි අවුරුදු ගණනක් වින්දා. ලෙඩාට වතුර බොන්න බෑ. කන්න බැහැ. මුත්‍රා පිට වෙන්නේ නැහැ. මුළු ඇඟම කසනවා මේ වගේ තත්ත්වයක් මත ආපහු ඩයලයිසීස් කරන එක විසඳුම නෙවෙයි. ශල්‍යකර්මයක් දිහා බලලා ආපස්සට හැරිලා ආපු මිනිස්සු.
ඔය අතරේ ශල්‍යකර්මය කරන්න හිටපු වකුගඩු රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න මහත්තයා එතනින් ගියා. මම දුවල ගිහින් ඇහුව මොකක්ද මේ වුණේ. ඇයි ශල්‍යකර්ම කරන් නැත්තෙ කියලා. වෛද්‍ය නිරෝෂන් මහත්තයා මගෙන් අහනවා මොන ශල්‍යකර්මද, මම දින දීලා නැහැ කියලා. කවුද ඔයාලට දින දුන්නේ කියලත් ඇහුවා. මම ලියුම පෙන්නුවා ඔෆිස් එක ඇතුළට ගියා ගිහින් ආපහු ඇවිල්ලා කිව්වා….
“මාත් එක්ක වැඩ කළේ වෛද්‍ය අර්ජුන මාරසිංහ. එයාව මාලිගාවත්තට මාරු කරලා යවලා. මට එයා නැතුව ශල්‍යකර්ම කරන්න බැහැ. අද ආසිරි එකට අර්ජුන මාරසිංහ හවස එනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා හම්බවෙලා මාලිගාවත්තට ගිහින් ශල්‍යකර්මය කරගන්න. දින දාගන්න කියලා කිව්වා.
එදා ඒ වැඩේ කරගන්න බැරි වුණත් ඉන් පහුවදා ගිහිල්ලා මම වෛද්‍ය මාරසිංහ මහත්තයාවයි, මාළිගාවත්ත රෝහලේ අධ්‍යක්ෂතුමාවයි හම්බවුණා. මාලිගාවත්තේ අධ්‍යක්ෂතුමා හරිම හොඳයි. මං එතුමට වැන්දා වැඳලා කිව්වා මගේ ලෙඩාව බේරලා දෙන්න කියලා.
මාලිගාවත්තේ අධ්‍යක්ෂතුමා කිව්වා ඇතිකල් එකත් හදලා තියෙන නිසාත්, ඔයාලගේ ප්‍රශ්නේ මම හොඳින් දන්න නිසාත් මාලිගාවත්තෙදී අපි ශල්‍යකර්මය කරමු ඉක්මනින් ලෑස්ති කරගන්න කියලා. ඒ අනුව රසිකයි මමයි එහෙට මෙහෙට දුවලා ඇතිකල් එක කොහොම හරි මාලිගාවත්තට මාරු කරන්න උත්සාහ කළා. නමුත් ඒක අපිට කරලා දෙන්න බැරි වුණා. මොකද අපිට ඒ සඳහා ජයවර්ධනපුර රෝහලින් උදව් ලැබුණේ නැහැ. පස්සේ මාලිගාවත්ත රෝහලෙන්ම ඇතිකල් එක එහෙට ගෙන්න ගෙන තිබුණා.
ඒ අනුව අපිට දින ලැබුණා. මහත්තයා පහළොස්වෙනිදා ලෙඩ වුණා. සීනි වැඩිවෙලා හලාවත රෝහලට ඇතුළු කළා. ඒ වෙලාවෙත් මාලිගාවත්තේ අධ්‍යක්ෂතුමා මට කතා කරලා මොකද කියලා හොයලා බැලුවා. මහත්තය අසනීප වෙලා හලාවත කිව්වහමත් අධ්‍යක්ෂතුමා කිව්වා පුළුවන් ඉක්මනින් එක්ක එන්න කියලා.
ඔය කියන තත්ත්වය ජයවර්ධනපුර රෝහලෙන් ලැබුණෙම නැහැ. අපි ගැන හොයලා බැලුවෙත් නැහැ. අධ්‍යක්ෂතුමා වුණත් අතපිහ ගත්තා මිසක් ශල්‍යකර්ම පස්සට දාපු එක ගැන කිසිම පරීක්ෂණයක් කළේ නැහැ. අපෙන් කරුණු විමසුවෙත් නැහැ.
තමන් යටතේ වැඩ කරන වෛද්‍යවරු රෝගීන්ට සේවය කරනවා වෙනුවට වෙනත් එක එක පිස්සු වැඩ කරද්දී ඒක පාලනය කරන්න තමයි අධ්‍යක්ෂවරයෙක් ඉන්නේ. අනිත් එක තමයි මේ විස්තර කියලා අපි ඇමැතිතුමාට දැම්මත් එයාගෙන්වත් පිළිසරණක් නැහැ. හැමෝම එකයි. හැමෝම බලන්නේ තමන්ගේ වැඩ ගැන විතරයි. රෝගීන්ගේ සුවතාවය ගැන හිතන මිනිස්සු අඩුයි. ඒ අය කිසිම වගකීමක් නොගන්නා නිසා තමයි අද රෝහල්වලට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. වෛද්‍යවරු තමන්ට කැමති වැඩ විතරයි කරන්නේ.
මට වෙච්ච දේ හෙට තව කෙනකුට වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේක ජයවර්ධනපුර රෝහල. මිනිස්සු ලොකුවටම විශ්වාස කරනවා සල්ලිත් දීල පහසුවෙන් කරගන්න පුළුවන් පසුබිමක් ජයවර්ධනපුර තියෙනවා කියලා. වකුගඩු ශල්‍ය වෛද්‍යවරුයි, වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු බලන අනිත් වෛද්‍යවරුයි රෝගී ප්‍රතිකාරය පැත්තක තියලා වෙනත් පිස්සු නටනවා. වෛද්‍යවරයෙක් කිව්වහම අපි හිතන්නේ හොඳට මොළේ තියෙන මනුස්සයෙක් කියලා. නමුත් මේ මිනිස්සු වැඩ කරන්නේ මොළය නැති මිනිස්සු විදිහට.
මගේ මහත්තයා මැරුණා. ආයේ ජීවිතේ ගන්න බෑ. හැබැයි ජීවිතය මරණය දක්වා ගෙන යන්න හේතු වුණේ මොකක්ද කියලා ඔය වෛද්‍යවරු දන්නවා. ඒ අයට මේ පාපයෙන් කවදාවත් ගැළවෙන්න බැහැ……”
සුගන්ධිකා හෙවත් මියගිය ජුඩ් චමින්ද ගේ බිරිඳ දිගින් දිගටම කියා සිටියාය.
මේ සෝචනීය පුවතටත් වඩා මෙය රටේ දැවෙන ප්‍රශ්නයක් බව අප අවබෝධ කරගත යුතුය. රෝහලකින් සිදු විය යුත්තේ කුමක්ද සහ රෝහලේ වගකීම දරන වෛද්‍යවරුන්ගේ වගකීම මෙන්ම වගවීම කුමක්ද යන්න ඔවුන් අවබෝධ කරගෙන ඇති ප්‍රමාණය පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුය.
මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහත්තයාගෙන් විමසීමක් කළෙමු. ඔහු මේ සම්බන්ධයෙන් කියා සිටියේ මේ වන විට ජයවර්ධනපුර රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම නතර කර දමා ඇති බවත්, කඩිනමින් ඒවා ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් අදාළ වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවය. තවද මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතද දැනුම් දී ඇති අතර, ඒ ඒ වෛද්‍යවරු ගෙන්වා පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බවද, මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.
වකුගඩු ශල්‍යකර්ම නතර කර දමා ඇති තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට ද ලිඛිතව දැනුම්දී ඇති බවද කියා සිටි රෝහල් අධ්‍යක්ෂවරයා තමන්ට උවමනාව ඇත්තේ ද ශල්‍යකර්ම කඩිනමින් ආරම්භ කිරීමට බවද කියා සිටියේය.
වකුගඩු ශල්‍යකර්මයක් යනු සුළුපටු කාර්යභාරයක් නොවේ.

විශේෂ ශල්‍ය වෛද්‍යවරයාට තමා වෙත රෝගියා භාර දෙන කායික රෝග පිළිබඳ වෛද්‍යවරයා පිළිබඳ ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ තමන්ගේ රෝහල් අධ්‍යක්ෂවරයා වෙතය. ඉන් විසඳුමක් නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතය. එයින් ද විසඳුමක් නැත්නම් රජයේ වෛද්‍ය සභාව වෙතය.
නොඑසේ නම් ඔහුගේ අකමැත්ත හෝ ඔහුගේ ගැටලුව රෝගීන්ගේ ජීවිත මත තබා ගැටලුව නිරාකරණය වන තෙක් රෝගියාගේ හෘද ස්පන්දන වේගය දෙස බලා සිටීම සුදුසු ද යන්න රෝගීහු ප්‍රශ්න කරති. මෙය දැන්ම විසඳාගත යුතු ප්‍රශ්නයක් නොවේද?
රෝගීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාටද මෙය දැනුම් දී ඇත්නම් තවමත් ජයවර්ධනපුර රෝහලේ වකුගඩු ශල්‍යකර්ම නතර කර දමා තිබෙන්නේ කෙසේද. ඊට විසඳුමක් ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවන්නේ මන්ද.
මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ ජූඩ් වුවද ජයවර්ධනපුර රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා වන ලැයිස්තුවේ සිටින සෙසු රෝගීන්ගේ මානසිකත්වය මේ මොහොතේ කුමන මට්ටමක ඇත්දැයි ඔබට සිතාගත හැකිද. මේ ජීවිතය බලාපොරොත්තු වන්නේ එක දවසක් හෝ සතුටින් ජීවත් වීමටය. එසේ නැතුව මියයෑම පිළිබඳ සිහින මවමින් බය උපදවාගෙන සිටීම නොවේ.
අවසානයේ මේ සියල්ල තීරණය කරන්නේ සොබාදහමය. හෘද සාක්ෂියත් සොබාදහමත් එක් වූ තැන ඉන් ගැළවීමක් නැත. සෞඛ්‍ය ඇමැතිතුමනි, මේ ඔබගේ වාරයයි. ජයවර්ධනපුර රෝහලේ වකුගඩු ශල්‍යකර්ම සිදු කිරීම යථා තත්ත්වයට පත් කිරීමට මැදිහත්වීමට මේ ඔබට අවස්ථාව උදාවී තිබෙන අන්දමයි. ජූඩ් මෙලොව හැර දමා ගියේ ඔබට ඒ අවස්ථාව උදාකර දෙමින් බව අමතක නොකරන්න.
ජූඩ් ගේ ශල්‍යකර්මයට පෙර ඔබ ජයවර්ධනපුර රෝහල සමග සාකච්ඡා කොට එහි තත්ත්වය විමසා සිටි බැවින් ඔබගේ වගකීම වගවීමක් ලෙස සලකන්න.
සමන්ති වීරසේකර