Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්

June 29, 2025
67 Views

සකල සතම වැඳගත්තද කසල ඉතිරි විය

පාරිසරික අර්බුද ගැන කතා කරන විට මහනුවර නගරය අපට අමතක කරන්නට බැරිම නගරයකි. විටෙක වැඩිම වායු දූෂණ තත්ත්වය වාර්තා වන්නේ මහනුවර නගරයෙනි. ඊට හේතුව කඳු වළල්ලක් මැද බේසමක් මෙන් පිහිටි මහනුවර නගරයේ එදිනෙදා සැරිසරන රථවාහන කන්දරාව මගින් නැගෙන විෂ දුම විසිර නොයා නගරය ඉහළ අහසේ වැඩි කාලවේලාවක් රැඳී තිබීමයි. මේ නිසා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්පර් ඩයොක්සයිඩ් වැනි වායු ඝනත්වය විටෙක කොළඹ නගරයට වඩා මහනුවර නගරයේ ඉහළ යන බව හඳුනාගෙන ඇත. එසේම, නගරයට බලපාන තවත් ප්‍රධාන බලපෑමක් සිදුවන්නේ ජල මාර්ග ඔස්සේය. එනම් පැහැදිලිවම හඳුනාගත් ජල දූෂණ ආකාර දෙකක් මහනුවර නගරයට කලක පටන් බලපෑම් සිදුකරයි. ඒ නම්, අප සුන්දර යැයි කියන, අප සුන්දරත්වය දකින බෝගම්බර නුවර වැව දූෂණයට ලක්වීමය.

අනෙක නම් නගරයේ නිවාස, මුඩුක්කු ජනාවාස, හෝටල්, කාර්යාල, කර්මාන්තශාලා, පාසල්, ආගමික ස්ථාන යනාදිය මගින් උත්පාදිත අප ජලය සහ වැසිකිළි අපද්‍රව්‍ය නගරය මැදින් ගලා යන කාණු සහ ඇළ මාර්ගවලට මුදාහැරීම නිසා ඒවා කුණු කාණු සහ කුණු ඇළ මාර්ග බවට පත්ව තිබීමය. මෙසේ දූෂණයට ලක්වූ ප්‍රධාන ඇළක් වන්නේ නගරය මැදින්ම ගලා යන “හීන් ඇළ”යි. මීට දශක දෙකකට පමණ ඉහතදී ප්‍රදේශයේ කෙත්වතු වගා කරන්නට පිරිසිදු ජලය ලබාදුන් හීන් ඇළ අද කුණු ඇළක් බවට පත්වී ඒ කුණු වතුර (අප ජලය සහ වැසිකිළි අපද්‍රව්‍ය මිශ්‍ර ද්‍රාවණය) සියල්ලම මහවැලි ගඟට ගෙන ගොස් මහවැලිය ද උපරිම දූෂණයකට ලක් කිරීම මහනුවර නගරය මුහුණ දුන් බරපතල තත්ත්වයකි. වැඩිමනත්, දිනකට ලක්ෂ 5-6 ක ජනතාවගේ ‘බස් රථ හුවමාරු (Transit) නගරයක්’ සේ ක්‍රියාකරන මහනුවරට වැසිකිළි-කැසිකිළි ප්‍රශ්නය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝගය කතා කළ යුතුම සැබෑම අර්බුදයකි.

නගරයේ වායු දූෂණය ගැන විටෙක නොව දෙතුන් විටෙක අපි කතාකර ඇත්තෙමු. එසේම, නගරයේ ඇළ මාර්ග දූෂණය වීම සහ ඒ ඔස්සේ මහවැලි නදිය ජරා-ජීර්ණ වීම ගැන විශේෂාංග ලිපිවලට අමතරව ‘දිවයින’ ප්‍රධාන සිරස්තලයක් ලෙස ද අනාවරණය කර ඇත. ඒ අනුව දිනකට ඝන මීටර් 7000 ක් වත් අවම වශයෙන් මහවැලි ගඟ අසූචි මිශ්‍ර අප ජලය මගින් දූෂණයට ලක්වන බව අප අනාවරණය කර ඇත. ඒ එසේ සිදුව තිබුණේ “ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය-JICA” මගින් මහනුවර නගරයේ අප ජල කළමනාකරණය සඳහා රුපියල් බිලියන 22 ක ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගෙමින් තිබියදී සහ ඉන් බිලියන 21 වැය කර තවත් රුපියල් බිලියනයක කටයුතු කරන්නට තිබියදී ව්‍යාපෘතිය අතරමග නැවතී තිබියදී ය. වාසනාවකට ‘දිවයින’ ඇතුළු තවත් මාධ්‍ය කණ්ඩායමක් පරිසර යුක්ති කේන්ද්‍රය-CEJ සහ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය -WDC යන සංවිධානවල මගපෙන්වීම මත සිදුකරන ලද අනාවරණ සහ මැදිහත්වීම මත මෙම JICA ආධාර ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කර මේ වන විට කටයුතු සිදුකරගෙන යනු ලැබීම නුවර වැසියන් පමණක් නොව, රටම ලැබූ භාග්‍යයකි. එනම්, රටේ ආර්ථික කඩාවැටීම නිසා ජයිකා ආයතනය මගින් ව්‍යාපෘතිය සඳහා අවසන් වශයෙන් මුදා හැරිය යුතුව තිබුණු එම රුපියල් බිලියන එකක (01) මුදල අත්හිටුවා තිබුණු මොහොතක මෙසේ කරන ලද මාධ්‍ය සහ ආයතන මැදිහත් වීම මත එම රුපියල් බිලියනය මේ වන විට JICA ආයතනය මගින් මුදාහැර ඇත.

ඒ අනුව මුල් අධියර දෙක ලෙස නිමා කර තිබුණු නගරය පුරා කරන ලද “අප ජල නළ පද්ධතිය එළීම” සහ “අප ජල පිරිපහදු ඒකකයේ” වැඩකටයුතු නිමා කර තිබුණු අතර නිවාස, හෝටල්, කර්මාන්ත ශාලා, පාසල්, වෙළෙඳ සල් යනාදියේ අප ජල බැහැරලීම ප්‍රධාන නළ පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු (Connections දීම) සිදුකර තිබුණේ නැත. එහි අනර්ථය පෙර කී පරිදි අසූචි මිශ්‍ර අප ජලය “හීන් ඇළ” සහ මහයියාව ඇළ ඔස්සේ ගැටඹේ ප්‍රදේශයෙන් සහ කටුගස්තොටින් මහවැලිය සිප ගැනීමය. එනමුත් ආධාර ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක වීමෙන් පෙර කී සියලු අප ජල “සම්බන්ධතා-Connections) ලබාදීම දැන් සිදුකරමින් පවතී. ඒ අනුව ලබන 2026 වසරේ මැද භාගය වන විට නගරයේ සම්පූර්ණ අප ජල වහන පද්ධතිය ප්‍රධාන නළ මාර්ග පද්ධතිය හා සම්බන්ධ කර ගන්නෝරුවේ පිහිටි ‘අප ජල පිරිපහදු ඒකකය’ මගින් පිරිසිදු කර, පානයට සුදුසු ජලය සේ මහවැලි ගංගාවට මුදා හළ හැකි බව මහනුවර අප ජල ව්‍යාපෘතිය පවසයි. ඒ අනුව නගරයට ප්‍රධාන පාරිසරික අර්බුදයක් බවට පත්ව තිබුණු “හීන් ඇළ” සහ අනෙකුත් ඇළ මාර්ගවල දූෂණය සියයට සියයකින්ම පාහේ නිමා කර පිරිසිදු ජලය බසින ඇළ මාර්ග බවට මේවා පත් කළ හැකි බව නාගරික ජලාපවහන ඉංජිනේරු දිනුක සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. මෙය නගරයක් ලෙස ලෝක උරුම මහනුවර නගරය, එහි පුරවැසියා, මහවැලි ගංගාව පරිභෝජනයට ගන්නා සිය දහස් ගණනක රටේ ජනයා පමණක් නොව රටක් හැටියට රටවැසියා ලෙස අප සියල්ලෝම ලබන සුවිශාල ජයග්‍රහණයක් බව සෙනෙවිරත්න මහතා මෙන්ම, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ, කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සශී ස්ටීවන් සහ වැඩසටහන් නිලධාරීනී ධම්මිකා යන මහත්ම මහත්මීහු පවසති.

ඔවුහු මේ බව පැවසුවේ “දළදා දැක්මෙන් පසු මහනුවර කසළ කළමනාකරණය” මැයෙන් ඉකුත්දා මහනුවර නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර එම නගර බලධාරීන් සමග කරන ලද සාකච්ඡාවකදීය. ජුනි මස 05 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සහ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය මෙම සංචාරය සංවිධානය කර තිබිණි.

මෙම සංචාරයේදී පළමුව මහනුවර ‘කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය’ වෙත ගිය අප මාධ්‍ය සහ පරිසරවේදීන්ගේ කණ්ඩායම එහිදී මහනුවර මෑත කාලයේදී අත්විඳින සහ අත්විඳි පාරිසරික අර්බුද පිළිබඳව අධ්‍යයනයක නිරත වූ අතර, එහිදී කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සශී ස්ටීවන් සහ වැඩසටහන් නිලධාරිනී ධම්මිකා මහත්මීන් විසින් එහි තත්ත්වය සමාලෝචනය කරන ලදී. ජයිකා ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සහ දළදා දැක්ම සමයේ සිදු වූ අති විශාල පාරිසරික හානිකර බලපෑම සහ දළදා දැක්ම අවධියේදී මහනුවර නගරයට එකතු වූ අසීමිත පොලිතීන්-ප්ලාස්ටික් කළමනාකරණය කෙසේ සිදුවී ද යන්න ගැන එහිදී ප්‍රමුඛ අවධානය යොමු කෙරිණි. එසේම, මහනුවර නගර සීමාවේ ඇති මුඩුක්කු නිවාස සහ ඒවායේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අවශ්‍යතාව ද කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය මගින් අවධාරණය කෙරිණි. මහනුවර අප ජල ව්‍යාපෘතියේ සහ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ බලධාරීන් හමුවන්නට අප ගියේ ඉන් අනතුරුව ය.

එහිදී අපට මුණගැසුණු නාගරික ජලාපවහන ඉංජිනේරු දිනුක සෙනෙවිරත්න මහතා පැවසුවේ මහනුවර අප ජලවහන පද්ධතිය සඳහා ලැබීමට නියමිතව තිබුණු ඉතිරි රුපියල් බිලියනයක මුදල ලැබීම නිසා දැන් එම ව්‍යාපෘතිය අවසන් අධියරේ පවතින බවයි. මේ නිසා තවත් නුදුරු කාලයකදී මහනුවර නගරයේ සියලු වැසිකිළි පද්ධති සහ අප ජලය බාහිර පරිසරයට මුසු නොවී පවිත්‍රාගාරය වෙත යොමු කෙරෙන බවයි. ඒ අනුව ජයිකා ආයතනය සහ මහනුවර නගර සභාව බලාපොරොත්තු වූ පරිදි මහවැලි ගඟට මෙතෙක් මුදා හළ පරිසර දූෂක කාරක අප ජලය ඉන් ඉදිරියට එකතු නොවනු ඇති බව ඔහු පවසයි. නමුත්, පදිංචිකරුවන් විසින් ඝන අපද්‍රව්‍ය හීන් ඇළ ඇතුළු ජල දහරාවලට බැහැර කිරීම තවමත් නිමා නොවුණු ගැටලුවක් බවද ඔහු කීවේය. එම අර්බුදය හැරෙන්නට නාගරික සනීපාරක්ෂක කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම මගින් ඉතා හොඳ පිරිසිදු නගරයක් බවට ලෝක උරුම මහනුවර නගරය පත්කළ හැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය. එසේම, අවසන් ජයිකා ආධාර මුදල ලබාගැනීම සඳහා ‘දිවයින’ පුවත්පත ඇතුළු ජනමාධ්‍ය ලබාදුන් සහයෝගයට ස්තුතිය පළ කරන්නට ද ඔහු මෙහිදී අමතක නොකළේය.

දළදා දැක්ම සමයේ මහනුවර නගරය මුහුණ දුන් අමිහිරි අත්දැකීම තදබදය පමණක් නොවේ. කසළ එකතුවීම, කසළ විසිරීම සහ විසිරි කසළ එකතුකර කළමනාකරණය සහ නගරයට දරාගත නොහැකි ලෙස එක්වූ ජන ගංගාව නිසා නගරවැසියන් සහ නගර බලධාරීන් මෙන්ම, සනීපාරක්ෂක කම්කරුවන්, මහනුවර නගර සභාවේ කසළ කළමනාකරණ අංශ මුහුණ දුන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළේ මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු (ජල සහ අප ජල) සහ ඝන අපද්‍රව්‍ය අංශ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා ය. ඒ සඳහා අප මහනුවර මහ නගර සභා පරිශ්‍රයේ විශේෂ සාකච්ඡාවකට එක් විය. පරිසර යුක්ති කේන්ද්‍රයේ සහ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද මීට එක්වූහ. එහිදී ධම්මික දිසානායක මහතා පැවසුවේ මෙවන් කතාවකි.

“මහනුවර මහ නගර සභා බලප්‍රදේශය තුළ අපි ඉතා හොඳින් කසළ කළමනාකරණය සිදුකරනවා. ඒ 2014-2024 දක්වා ඇති තිරසර කසළ කළමනාකරණ සැලැස්ම අනුවයි. ඉදිරි දස අවුරුදු සැලැස්ම අලුත් නගර සභාව සමග අපි නුදුරේදීම සැලසුම් කරනවා. අපටම වෙන්වුණු ගොහාගොඩ කසළ අංගනයට තමයි අපි කසළ ගෙන යෑම සිදුකරන්නේ. බල ප්‍රදේශයේ පවතින ග්‍රාම නිලධාරී කොට්ඨාස 45 තුළ අපි ප්‍රජා කමිටු පිහිටුවා එක වසමකට එක අයකු බැගින් අපේ නිලධාරියකු අනුයුක්ත කරලා තියනවා. ඔවුන් ප්‍රජාව සම්බන්ධ කරගෙන විශාල වැඩකොටසක් කරනවා කසළ කළමනාකරණයට සහ නගරය අලංකරණය සඳහා. සැබැවින්ම කාලයක පටන් අපි නගරයේ කසළ තෝරාගෙන තමයි එකතු කරන්නේ, නොදිරන සහ දිරන කසළ වශයෙන්. ඒ වගේම නොදිරන කසළත් තෝරා-බේරා ලබාගන්නා අතර අංගනයේදීත් යාන්ත්‍රිකව නැවත තෝරා බේරාගැනීම සිදුකරනවා. මේ මගින් සැලකිය යුතු ආදායමක් නගර සභාව ලබනවා. දිරන කසළ මගින් කොම්පෝස්ට් නිපදවන අතර, අපි අපේ වගාවක් පවා ඒ මගින් සිදුකරනවා.

නගරයේ කසළ ටොන් 176 ක් නිපදවෙනවා දිනකට. ඉන් ටොන් 35 ක් ගෘහස්ථ කසළ. ඉන් 75% ක් කාබනික අපද්‍රව්‍ය ලෙස පැමිණෙන නිසා නිවාස තුළම ඒවා කළමනාකරණය කරගන්න කොම්පෝස්ට් බඳුන් දීල තියනවා. ඒ නිසා දැන් ඒ ගෘහස්ථ දිරන කසළ ටොන් 20 ක් අපට එන්නේ නෑ. ටොන් 50 ක් දිනපතා අපට ආපු හෝටල් දිරන කසළ අඩු කරන්නත් අපි ජීව වායු ඒකක අනුමත කරලයි තියෙන්නේ. තවත් ටොන් 30 ක් විතර ඌරු කෑම විදිහට යනවා. මේ නිසා කලින් එකතු වූ ටොන් 176 ක කසළ අපි ටොන් 70 කට අඩුකරලා තමයි පවත්වාගෙන යන්නේ. මේ ටික ගොහාගොඩට යනවා.

කොහොම වුණත් අපිට තියන ලොකුම අර්බුදය පොලිතීන්. දිනකට ටොන් 10 ක් බැගින් අංගනයට එකතුවෙනවා. අපි මේවා INSEE සිමෙන්ති කර්මාන්ත ශාලාවේ බර්නර් එකට යවනවා. පොලිතීන්, රෙදි, ඍජුෆෝම් ඒ අතර තියනවා. දිනපතා ටොන් 10 බැගින් ඒවා යනවා. ලක්ෂ 3-5 අතර සංචරණය කරන (ඇවිත් යන) ජනගහනයක් නගරයට දිනපතා එනවා. ඔවුන්ගෙනුත් මේ කසළ එකතු වෙනවා. කොහොම හරි තද ප්ලාස්ටික් අපි කුඩා කැබලි බවට පත් කරලා, බේල් කරලා තියනවා. සමහර දේවල්වලට කරන්න දෙයක් නෑ. යෝගට් කෝප්ප වැනි තනි භාවිත ප්ලාස්ටික් අපට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

දළදා දැක්ම එක්ක සිදු වුණ ප්‍රශ්නය ගැන කතා කරනවා නම් සිදු වුණේ අපි අපේක්ෂා කරපු දෙයක් නෙමේ. සාමාන්‍ය කසළ කළමනාකරණ ක්‍රමවේදය අභියෝගයට ලක් වුණා මේ නිසා. මන්ද කසළ නිවැරදිව බැහැර කළේ නැහැ. අපේ කම්කරුවන්ට එය දරාගන්න බැරි වුණා. එකතු කරන්න අමාරුයි. PET වතුර බෝතල් විතරක් මේ දවස් ටිකට ලක්ෂ 40 ක් බෙදල දීල, ඒවා අපිට දැන් ඇවිල්ලා තියනවා. දන්සල් 6000 ක් තිබුණා. ඒවාගේ කසළ යනාදිය අපට ප්‍රශ්නයක් වුණා. ටොන් 629 ක් කසළ ගොහාගොඩට ගෙනාවා මේ දවස් ටිකේ. ගණන් කරලා බැලුවොත් එක අයෙක් එක කිලෝව බැගින් කසළ ජනනය කරලා තියනවා. අපි අහන ප්‍රශ්නෙ මේකයි, ඇයි ඒ කිලෝව අපට එකතුකරලා ඔවුන්ට දෙන්න බැරි වුණේ කියන එකයි. විවිධ ලොරි ලෝඩ්වලින් බැලුවොත් මේ සම්පූර්ණ ප්‍රමාණය ලෝඩ් 420 ක්. ලොකු ලොරි 200 ක් ඕන මේ ටික කොළඹ ගෙනියන්න. රුපියල් කෝටියක් වියදම යනවා ඒකට. කවුරු කරත් මේවා සල්ලි. ඒ නිසා තාම මේ PET බෝතල් ගොඩගහලා තියනවා.

හිතන්න පෙරහැර දවස් 10 ට අලුතෙන් කසළ ටොන් 385 ක් විතර එකතු වෙනවා. අලි කොට, අලි බෙටි මින් ටොන් 220 ක් තියනවා. ඉතිරි ඒවා ටොන් 40-50 ක්. ඒ කියන්නේ දවසකට ටොන් 4-5 ක්. ඒවා වෙන්කරලා එන නිසා ප්‍රශ්නයක් නෑ. නමුත් දළදා දැක්මේ දී එකතු වුණු කුණු ඉක්මනින් අස්කරන්න ඕන නිසා අපි ඔක්කොම එකට ගෙනාවේ. රෑ 10 වෙනකොට නගරය අපි පිරිසිදු කළා, ස්වේච්ඡා කණ්ඩායම්, නගර වැසියන් තවත් පළාත් පාලන ආයතන සමග එක්වී. නමුත්, ප්‍රශ්නය මෙවැනි අනපේක්ෂිත කසළ එනකොට අපට නිවනක් නැහැ. අපේ සනීපාරක්ෂක සේවකයින්ට පැය 24 ම වැඩ කරන්න බැහැ. ඒක තමයි ප්‍රශ්නය, හොඳ සැලසුමක් තිබුණා නම්, අපට කසළ කළමනාකරණය ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මහනුවර නගර සභාවේ අපි තමයි මීට පෙර ආසියානු සංවර්ධන පදනම මගින් තෝරපු ආසියාවේම අංක එකේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ නගර සභාව බවට පත් වුණේ” යැයි ඉංජිනේරු නාමල් දිසානායක මහතා පැවසීය.

මේ අනුව අප ජල, ඝන අපද්‍රව්‍ය යන දෙඅංශයෙන්ම වර්තමානය වන විට මහනුවර මහ නගර සභාව සහ එම බල ප්‍රදේශය යම් සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇති බව පැහැදිලිය. එය ලෝක උරුම නගරයකට අත්‍යවශ්‍ය කාරණයක් බවද පැහැදිලිය. එනමුත් ඒ සඳහා ජනතා සහභාගිත්වය අත්‍යවශ්‍ය කාරණයකි. මේ වගකීම නගරයට දිනපතා පැමිණෙන ලක්ෂ 5-6 ක ජනතාව විසින් ද නාගරික ජනයා විසින් ද දැරිය යුතු වගකීමකි. අපගේ සංචාරයේදී මේ බොහෝ කරුණු ගැන අප අවධානය යොමුකරන ලද අතර, කරුණු සොයා යෑමේදී නාගරික බලධාරීන් විසින් දක්වන ලද සහය ද අගය කරන්නෙමු.

ජගත් කණහැරආරච්චි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත්කුඩු ආරවුලකට තෝරකොළයාය තේක්ක කැලේ චමල් – කැලුම් එලොව යැවූ හැටි

ප්‍රාදේශීය පුවත්

දොස්තර ගැටුම් මැද ජපුර රෝහලේ වකුගඩු බද්ධයේ අවුල

ප්‍රාදේශීය පුවත්

ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්

ප්‍රාදේශීය පුවත්

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

ප්‍රාදේශීය පුවත්

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok