ඇඟලුම් කම්හලේ සීසීටීවී වලින් ඝාතනය ගැන හෝඩුවාවක්
පොලිස් කණ්ඩායම් තුනක් ඝාතනය ගැන පරීක්‍ෂණ අරඹයි
මියගිය චමල්ට එරෙහිව අධිකරණයේ නඩු 11ක්
ඝාතනයට පැමිණි යතුරුපැදිය පේර වැවෙන් මතුවෙයි
මේ වසර ආරම්භයත් සමගම මෙරට පාතාලය ඉතාම දරුණු තත්ත්වයකට පත් වෙමින් එක දිගට මිනිස් ඝාතන සිදු කරන්න පටන් ගත්තේය. බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන සිදුවූ මිනිස් ඝාතන නිසා රට චිකාගෝවක් බවට පත්වෙමින් තිබුණේය.
ඉවක් බවක් නොමැතිව සිදුවන මේ පාතාල මිනිස් ඝාතන නිසා රටේ දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් උද්ගත වෙමින් පැවතිණි. කොටින්ම රටේ ජනතාව ජීවත් වූයේ දැඩි භීතියකින් යුතුවය.
පසුගිය මාස පහක පමණ කාල සීමාව තුළ සිදුවූ පාතාල වෙඩි තැබීම් 56කින් පුද්ගලයන් තිස් දෙදෙනෙක් ඝාතනයට ලක් වන්නේ රට තුළ දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් උද්ගත කරමින්ය.
ඒ වනවිට දෛනිකව කොහේ හෝ තැනක පාතාල වෙඩි තැබීමක් සිදුවන තත්ත්වයක් ඇතිව තිබුණේය. මේ තත්ත්වය නිසාම දෛනිකව සිදුවන මේ පාතාල වෙඩි තැබීම් දවසේ වෙඩිල්ල ලෙස හැඳින්වීමට ද ඇතැමුන් කටයුතු කළහ.
එහෙත් ගෙවී ගිය සති කීපය පුරාම පාතාලය නිහඬව පැවතියේය. පොලිසියට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද එය විශාල ප්‍රේහේලිකාවක් විය. දෛනිකව එකිනෙකා මරාගත් පාතාලය හිටිහැටියේම නිහඬ වුණේ මන්ද යන්න කා තුළත් වූයේ විශාල කුතුහලයකි.
පාතාලය නිහඬවීම ගැන සාමාන්‍ය ජනතාව තුළ පැවතියේ මහත් අස්වැසිල්ලකි. පාතාල නිහැඬියාව ගැන පොලිසිය සැනසුම් සුසුම් හෙළුෑවේය. එහෙත් ඒ නිහැඬියාව දිගටම පැවතුණේ නැත. මිද්දෙණියේ සිදුවූ පාතාල ද්විත්ව ඝාතනයෙන් මුළු දකුණු පළාතම ගිනියම් වුණේය.
ජුනි 25 වැනිදා මිද්දෙණිය තෝරකොළයායට හිරු උදා වන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරමින්ය.
සර්… තේක්ක රක්‍ෂිතය ළඟ පාරේ කොල්ලො දෙන්නෙක් මරලා දාලා ඉන්නවා. උන් ආව බයික් එකත් එතන වැටිලා තියනවා….
තෝරකොළයාය තේක්ක රක්‍ෂිතය අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුගෙන් මිද්දෙණිය පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඉන් කියැවුණේ නාඳුනන තරුණයන් දෙදෙනකු මහ මඟ වෙඩි තබා ඝාතනය කර ඇති බවය.
වහාම ක්‍රියාත්මක වූ මිද්දෙණිය පොලිසිය තෝරකොළයාය තේක්ක රක්‍ෂිතය වෙත පැමිණියේ තවත් එක් ඛේදවාචකයක විමර්ශන ආරම්භ කිරීමටය.
සිදුවී ඇති අපරාධය පිළිබඳව මාතර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගැනීමට මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
මෙහිදී ඝාතනයට ලක්වූ 26 හැවිරිදි කැලුම් තුෂාර ඇඹිලිපිටිය බෝගස්වැව තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලක් රුසියාවේ රැකියාවක් කළ කැලුම් තුෂාර නැවත මව්රට බලා පැමිණ සිටි තරුණයෙකි.
පොලිසිය පවසන්නේ කැලුම් තුෂාර මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අයකු බවයි.
කුලී ඝාතකයන්ගේ ඊළඟ ඉලක්කය වී සිටි චමල් අබේසේකර වෘත්තියෙන් බස්රථ රියැදුරෙකි. චමල් ද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි අයකු බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබුණේය.
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය සහ උපදෙස් යටතේ මිද්දෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කළහ. ද්විත්ව ඝාතනය සිදුවූ ස්ථානයේ වැටී තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල හිස් උණ්ඩ 05ක් පොලිසිය සොයා ගත්තේය.
ඝාතකයන් චමල් සහ කැලුම් තුෂාර තේක්ක රක්‍ෂිතය වෙත කැඳවා ඔවුන්ට වෙඩි තබන්නට ඇති බවට පොලිසිය සැක පහළ කළහ. එසේ පොලිසියට සැකයක් මතුව තිබුණේ එවැනි අවස්ථාවක මේ පුද්ගලයන් දෙදෙනාට තේක්ක රක්‍ෂිතය වෙත පැමිණීමට වෙනත් අවශ්‍යතාවක් නොතිබූ නිසාය.
විමර්ශන නිලධාරීන් ඝාතනයට ලක්වූ තරුණයන්ගේ වගතුග සොයන්නට පටන් ගත්හ.
“සර්… ඔය මැරුම්කෑව චමල් කුඩුගහන්න ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම එයා කුඩු බිස්නස් එකෙත් ඉන්නවා. බස් එලවන වැඩේට අමතරව ඔහු කුඩු විකුණන එක තමයි එයා ජයටම කරගෙන යන්නෙ.”
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු ඉතාම වැදගත් ඒවා විය. චමල් මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටිනවා නම් එකත් එකටම මේ ද්විත්ව ඝාතනය එහි ප්‍රතිඵලයක් විය යුතු බවට පොලිසිය සැක පහළ කළහ.
පොලිසිය තවදුරටත් චමල්ගේ පැටිකිරිය සොයන්න ගත්තේය. මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චමල්ට එරෙහිව නඩු 11ක් අධිකරණවල පවතින බව පොලිසිය සොයා ගත්හ.
චමල් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු ගම් බිම් බලා පැමිණ ඇත්තේ මීට ටික දිනකට උඩදී බවද පොලිසියට තොරතුරු ලැබිණ.

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් තුනක් වෙන් වෙන් වශයෙන් සිය විමර්ශන ක්‍රියාත්මක කළෝය.
ඝාතනය සිදු වී තිබුණේ ඝන කැලෑබද ප්‍රදේශයක නිසා සීසීටීවී දර්ශනයක් පවා සොයා ගැනීමට නොහැකිවීම පොලිසියට සිය විමර්ශන කරගෙන යෑමට බාධාවක් විය.
එහෙත් තෝරකොළයාය තේක්ක රක්‍ෂිතයට මහ මාර්ගයේ තිබූ ඇඟලුම් කම්හලේ සීසීටීවී කැමරා පද්ධතියක් සවිකර තිබුණේය. විමර්ශන නිලධාරීන් ඇඟලුම් කම්හලේ කැමරා පද්ධතිය පරීක්‍ෂා කරන්නේ කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණෙන් යුතුවය. පොලිසියේ උත්සාහය තරමක් සාර්ථක විය. මේ ද්විත්ව ඝාතනයට පෙර දින රාත්‍රි 10.45ට පමණ චමල් සහ කැලුම් තුෂාර යතුරුපැදියේ නැගී තේක්ක රක්‍ෂිතය දෙසට යන අයුරු කැමරාවේ සටහන්ව තිබුණේය.
එහෙත් මේ ඝාතන සිදුකළ කුලී ඝාතකයන් එම ප්‍රදේශයට යන දර්ශන කිසිවක් එහි සටහන්ව තිබුණේ නැත. පොලිසිය ඉන් පැහැදිලි කරගත්තේ කුලී ඝාතකයන් තෝරකොළයාය මාර්ගයේ ගමන් නොකර වෙනත් ප්‍රදේශයකින් තේක්ක රක්‍ෂිතය වෙත පැමිණ ඇති බවය.
මේ අතර මිද්දෙණිය ගල්පොත්තයාය පේරවැවේ ගිල්ලවා තිබූ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගත්තේ ප්‍රදේශවාසියකු විසින් ලබාදී තිබූ තොරතුරකට අනුවය.
චමල් සහ කැලුම් තුෂාර ඝාතනයට පැමිණි කුලී ඝාතකයන් මේ යතුරුපැදියේ පැමිණෙන්නට ඇති බවට පොලිසියේ විශ්වාසය විය. ද්විත්ව ඝාතනය සිදුකර පසුව යතුරුපැදිය වැවේ ගිල්වා කුලී ඝාතනයන් පලා යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කළහ.
මේ අතර පොලිසිය චමල් සහ කැලුම් තුෂාර මේ සිද්ධිය වීමට පෙර දින ගත කළ ස්ථානයන් ගැන විමසිලිමත් වූහ.
චමල් 24 වැනිදා රාත්‍රියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ අවන්හලක මත්පැන් බොමින් රෑ බෝවන තුරු සිටි බව පොලිසිය සොයා ගත්හ. මිතුරන් කීපදෙනකු සමග ඔහු අවන්හලේ සිටි බව සොයා ගත් පොලිසිය ඒ ඔස්සේ විමර්ශන පවත්වන්නට පටන් ගත්හ. විමර්ශන නිලධාරීන් අවන්හලේදී චමල් සමග මත්පැන් පානය කළ කීපදෙනකුගෙන් තොරතුරු ලබාගත්හ.
“සර්… චමල් අපිත් එක්ක පොඩි ඩි්‍රන්ක් එකක් ගත්තා. ඒ වෙනකොට එයා සැරෙන් සැරේ තැඹිලි ලහිරු එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටියෙ හෙරොයින් ප්‍රශ්නයක් ගැන තමයි එයා කතා කළේ.
තැඹිලි ලහිරු දැන් ඉන්නෙ ඩුබායිවල. එයාට දැන් ඩුබායි ලහිරු කියලත් කියනවා. චමල්ලා, කැලුම් තුෂාරලා ඩුබායි ලහිරු ලංකාවෙ ඉන්න කොට හොඳ යාළුවො.
ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු රැසක් එළියට එන්නට පටන් ගත්තේය. මේ ද්විත්ව ඝාතනය පිටුපස ඩුබායි ලහිරු නිසැකවම සිටින බව පොලිසිය ඒ වනවිට තේරුම් ගෙන සිටියහ. ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක් බවට ද පොලිසිය සැක පහළ කළහ.
ලහිරුගෙන් ගන්න කුඩුවලට සල්ලි දැම්මා කියලා චමල් කියනවා අපිට ඇහුණා. එයා සැරෙන් සැරේ ලහිරුට කෝල් ගත්තා. ඒවගේම දිගටම එස්එම්එස් කළා. කුඩුවගයක් දෙන්න එන්න කියලා චමල්ට ලහිරු කියලා තිබුණා. ඒවා ගන්න තමයි එයා තෝරකොළයාය තේක්ක රක්‍ෂිතයට යන්න ඇත්තෙ…”
චමල්ගේ මිතුරන්ගෙන් ලැබුණු තොරතුරු රැසම වටිනා ඒවා විය.
ඩුබායි ලහිරුගේ එකම ඉලක්කය වී තිබුණේ චමල් බව පැහැදිලිය. එහෙනම් කැලුම් තුෂාර මරා දැමුවේ මන්ද යන්න පොලිසියට තවත් සැකයක් මතුව තිබුණේය.
චමල්ගේ සමීපතම මිතුරන් අතර කැලුම් තුෂාරට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. අවන්හලේ සිට තෝරකොළයාය තේක්ක රක්‍ෂිතය වෙත යෑමට චමල් තම සමීප මිතුරා වන කැලුම් තුෂාර ගෙන්වා ගත්තේය. ඒ වනවිට මත්පැන් පානය කරමින් සිටි මිතුරන්ට සමුදී තිබූ චමල් රාත්‍රි ආහාරය ලෙස ආප්ප අනුභව කළේ කැලුම් තුෂාර සමගය. එදින රාත්‍රියේ චමල් තම සමීපතම මිතුරා වූ කැලුම් තුෂාර සමග තෝරකොළයාය තේක්ක රක්‍ෂිතය බලා යන්නට පිටත් වුණේය.
තමන් මේ යන්නේ අවසන් ගමන බව චමල්වත් කැලුම් තුෂාරවත් දැන සිටියේ නැත. ඝන අන්ධකාරය මැදින් යතුරුපැදිය තේක්ක රක්‍ෂිතය දෙසට යන කොන්ක්‍රීට් පාර ඔස්සේ ඉදිරියට ඇදුනේය.
එතැන් සිට තේක්ක රක්‍ෂිතය තුළ බොහෝ දේ සිදුවන්නට ඇත. එහෙත් ඒ කිසිවක් තවමත් කිසිවකු දන්නේ නැත. චමල් සහ කැලුම් තුෂාර ඝාතනයට සම්බන්ධ කිසිවකුත් මේ වනතුරු අත්අඩංගුවට ගෙන නැත.
ඝාතනයට සම්බන්ධ වූවන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළිවනු ඇත.
පොලිසිය සැක පහළ කරන්නේ චමල් සහ ඩුබායි ලහිරු අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකට මේ ද්විත්ව ඝාතනය සිදුවන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ ද්විත්ව ඝාතනයට නියෝග දුන් පුද්ගලයන් මෙන්ම කුලී ඝාතකයන් ද තවමත් සිටින්නේ නිදැල්ලේය.
හේමන්ත රන්දුණු