ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්
දුරකථන විශ්ලේෂණ සහ සීසීටීවීත් බලයි
ලක්ෂ 75ක රන් හා මුදල් පසුම්බියත් ගෙනිහින්
කෝටිපතියා වකුගඩු සැත්කමක් කර සිටි අයෙක් 26දා සායනයකට යන්නත් ඉඳලා
හෝටලයෙන් පිට වී ඇත්තේ කොණ්ඩය කපන්න යනවා කියලා
කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන කමල් සම්පත් කුරුප්පු මහතා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අබිරහස් අන්දමින් ඝාතනය කර ඔහුගේ සිරුර ජීප් රථයට දමා පුලුස්සා තිබියදී පොලිසිය මගින් පෙරේදා (26දා) සොයාගෙන ඇත.
ව්‍යාපාරිකයා පැලඳ සිටි රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා අත් පලඳනාව, රන් මාලය ඇතුළු රන් භාණ්ඩ සියල්ල මෙන්ම ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකථනය ඇතුළු වටිනා දේපළ ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කමල් සම්පත් නමැති 50 හැවිරිදි එක්දරු පියෙකි. කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ පිලැස්ස ප්‍රදේශයේ මොහුට අයත් විශාල හෝටලයක් ඇති අතර වාහන විකිණීමේ ව්‍යාපාරයක් ද මොහු විසින් කරගෙන ගොස් ඇත.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් ද කරගෙන සිටි කමල් සම්පත් 26 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක දී වෛi සායනයකට ද සහභාගිවීමට නියමිතව සිටියේය.
පසුගිය 25 වැනිදා උදේ 9.30ට පමණ මොහු පිලැස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත පැමිණ කොණ්ඩය කපාගැනීමට අවශ්‍ය බව කියමින් ඉන් පිටව ගොස් තිබේ.

එසේ පිටව යෑමෙන් පසු මොහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත.
පසුව කමල් සම්පත්ගේ බිරිඳ මේ පිළිබඳව දොරටියාව පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය මගින් කමල් සම්පත්ගේ අතුරුදන්වීම පිළිබඳව අවට පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.
මේ අතර පෙරේදා දහවල් 1.30ට පමණ මහව පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයකු පවසා ඇත්තේ මහව – පොල්පිතිගම මාර්ගයේ පාළු ස්ථානයක කැබ් රථයක් තුළ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පිලිස්සෙමින් තිබෙන බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ මහව පොලිසිය සිද්ධිය වූ ස්ථානය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම නාඳුනන මළසිරුර පිළිබඳව දොරටියාව පොලිසියට ලැබුණු තොරතුර මත කළ විමර්ශනයෙන් අනාවරණය වූයේ ඝාතනයට ලක්ව ඇත්තේ කමල් සම්පත් බවය.
කමල් සම්පත්ගේ බිරිඳ විසින් මෙම මළ සිරුර තම සැමියාගේ බවට හඳුනාගෙන තිබේ.
මෙම අබිරහස් ඝාතනය පිළිබඳව සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර සීසීටීවී කැමරා සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ජනතාව සමග ඉතාම සුහදව ජීවත් වූ පුද්ගලයකු වන අතර ඔහු ඉතාම සාධාරණව සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
හේමන්ත රන්දුණු