පානීය ජල බෝතල් වැඩි මිලට විකුණූ මහරගම, පමුණුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ ආයතනයකට නුගේගොඩ, ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ඊයේ (26දා) නියම කර ඇත.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් අප්‍රේල් 29දා සිදුකරන ලද වැටලීමකින් අනතුරුව මෙම පෞද්ගලික ආයතනයකට විරුද්ධව නඩුව පවරා ඇත.
ජලය මිලිලීටර් 500 සිට මිලිලීටර් 999 දක්වා පොලිඑලිතීන් ටෙරප්තලේට් (ඡෑඔ) බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70කට වැඩියෙන් වෙළෙඳාම් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියම කර තිබියදී එම ජල බෝතලයක් රුපියල් 90කට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියකුට අලෙවි කිරීමේ චෝදනාව යටතේ නඩුව පවරා තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පානීය ජල බෝතල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් කරන ලද වැටලීම්වලින් වැඩිම දඩ මුදලක් නියම කර ඇත්තේ මෙම වැටලීමේදී බව කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
චමින්ද සිල්වා