මිතුරන් පිරිසක් සමග අග්බෝව ප්‍රදේශයේ උඩගන්කන්ද වැවේ දිය නෑමට ගිය තරුණයකු එම වැවේ ගැඹුරු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව අලව්ව පොලිසිය පවසයි.
වැව් දියේ ගිලීමෙන් එසේ මියගොස් ඇත්තේ පල්ලෙකැකුලාවල, නවතල්වත්ත ලිපිනයේ පදිංචි ජයලත් පතිරැන්නැහැලාගේ සචින්ත ජයලත් (20) නමැති තරුණයෙකි.
මිතුරන් පිරිසක් සමග ගමේ පන්සලේ ඉදිරි ඇසළ පොහොය නිමිති කර ඉදිකරනු ලබන තොරණේ වැඩකටයුතු සඳහා සහයෝගය ලබාදීමට ඊයේ (24 දා) උදේ නිවසින් පිටත්ව ගොස් ඇති ඔහු එම වැඩ කටයුතු සඳහා උදව් උපකාර ලබා දී පසුව සවස 1.30 ට පමණ එහි සිට අග්බෝව උඩගන්කන්ද වැවේ දිය නෑමට ගොස් ඇති අතර එම දිය නාමින් සිටියදී සොරොව්ව සහ පිටවාන අතර ප්‍රදේශයේ දී එහි ගැඹුරු දියට එක්වරම ඇදී ගොස් දියේ ගිලී යෑමෙන් මෙම මරණය සිදුව ඇති බව පොලිසිය පවසයි.
තුල්හිරිය ධර්මසිරි සේනානායක මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් පසුව ඇති මියගිය තරුණයා පවුලේ එකම දරුවා වන අතර තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බෝයවලාන – ජයන්ත කුමාර දිසානායක