31කට බරපතළ තුවාල
රිය සහායක ධාවනය කළ වන්දනා බසය

කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් හා තවත් 31 දෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් පෙරේදා (21දා) සවස බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව බදුල්ල පොලිසිය පවසයි.

අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල මුතියංගණ විහාරස්ථානය ඇතුලු සිද්ධස්ථාන කීපයක් වැඳ පුදාගැනීම සඳහා බස් රථයකින් පැමිණි වන්දනා නඩයක පිරිසකි.
බදුල්ල දෙස සිට මහියංගන දෙසට ගමන් ගත් බස් රථය දුන්හ`ිද වංගුව පසුකොට හතරේ කණුව ප්‍රදේශයේදී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුවිය.
මියගිය අයගෙන් දෙදෙනෙකු බස් රථයට යටවීමෙන් මිය ගොස් ඇති අතර තවත් අයෙකු රෝහල වෙත රැගෙන ඒමෙන් පසුව මිය ගොස් ඇත.
රෝහල් ගත කළ පිරිසෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත. රෝහල්ගත කළ පිරිස අතර කුඩා දරුවන්ද සිටින බව පොලිසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස රථ වාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය වේගයෙන් ධාවනය වී ඇති බවත් එය ධාවනය කර ඇත්තේ රිය සහායකවරයෙකු බවත් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
එසේම අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.මීට පෙරද අවස්ථා ගණනාවකදීම මෙම ස්ථානයේ බස් රථ බවුසර් යන්ත්‍ර ඇතුලු වාහන ගණනාවක්ම අනතරට ලක්ව පුද්ගලයින් කීප දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියැදුරා අද (23) දිනයේ බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල කොට්ඨාශ පොලිස් රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසීම සඳහා ඊයේ උදෑසන බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.
කන්දකැටිය – ජී. චතුරංග, බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර, බදුල්ල – එස්. රත්නායක
අනතුර සිදුවූ තැනම මරුමුවට පත් සිහත්මා දිනාරා

අනතුරින් එප්පාවල පොලිස් වසමේ බටුවත්ත, මීගස්සෑගම ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවියක ද ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ බටුවත්ත, මහමීගස්සෑම පදිංචි කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිහත්මා දිනාරා දිසානායක නම් දියණියයි. ඇය දියණියන් 05 දෙනකු සිටින පවුලක බාලම දියණියයි.
ඇගේ මව සමග කුඹල්වෙල අසපුව ඇතුළු ස්ථාන කිහිපයක් දැක බලා ගැනීමට විනෝද චාරිකාවට සහභාගි වී ඇති අතර, අනතුරින් මව සුළු තුවාල ලබා ඇත. අනතුරින් දියණිය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.
ජීවිතක්ෂයට පත් දියණියගේ දේහයට දැඩි හානි සිදුව තිබෙන බවද පවුලේ ඥාතීහු පවසති.
එප්පාවල – තිසර සමල්