අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය කාලයේදී කරගෙන ආ විමර්ශන නිසා අත්අඩංගුවට පත්වූවන් අතරින් වැඩිපුරම සමාජ කතාබහට ලක්වුණේ දේශපාලනඥයන්ය. ඒ අතරිනුත් පසුගිය සතියේ චරිතය වූයේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පවුල පිටින් අත්අඩංගුවට පත් වීමය.
එහෙත් පසුගිය සතියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, එම රෝහලේ කළමනාකරණ සහකාරවරයකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ විශේෂඥ වෛද්‍යවරිය විසින් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලික ආයතනයක සේවය කරන මුතුකුඩආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ජුනි 17 වැනිදාය. එදිනම රාත්‍රි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කළ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කර තිබුණි.
ඉතා අධික මිලට විකුණා තිබුණේ ඊවීඩී සහ වීපී ෂන්ට් නම් වූ ශරීරයට බද්ධ කරන වෛද්‍ය උපකරණ වේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන රෝගීන්ගෙන් ඉතා ඉහළ මිලක් අය කරමින් මේ උපකරණ විකුණා ඇත. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදුව ඇති ජාවාරමකි. මෙයට විරුද්ධව කාලයක් තිස්සේ හඬ නඟා ඇත, පැමිණිලි කර බොහෝ කාලයකි.
සැකකාර වෛද්‍යවරිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ අදාළ වෛද්‍යවරිය විසින් ඊවීඩී උපකරණ රුපියල් 17,500ක් පමණ මිලකට 2022 දී පැවැති අතර, මේ වෙද්දී එම මිල රුපියල් 46,500 දක්වා වැඩි වී තිබෙනවා. ඒවා රුපියල් 120,000ට සිට රුපියල් 250,000 දක්වා මිලට අලෙවි කර ඇති බවය.
මේ වෙද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූ 300කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇත. ඉන් 77 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එමෙන්ම ශල්‍යකර්මවලට භාජනය වූ අය අතරින් සැලකිය යුතු පිරිසක් මියගොස්ය. දැනට හඳුනාගෙන ඇති පිරිසට අදාළ වංචාව පමණක් රුපියල් කෝටි තුනකට ආසන්නය.
එම් ඇන්ඩ් එන් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටඩ් නම් වූ කොළඹ ප්‍රනාන්දු මාවතේ ලිපිනයක ඇති එම ආයතනය සැකකාර වෛද්‍යවරියගේ සැමියා විසින් ආරම්භ කරන ලද එකකි. ඔහුගේ මරණයෙන් පසු ඇගේ නමින් අදාළ ගනුදෙනු සිදු කර තිබේ. මෙම උපකරණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ලබාගෙන ඒ හරහා ලබාදිය හැකි වුණත්, ඇය වාර්ෂික ඇස්තමේන්තු හරහා එම උපකරණ ලබා ගෙන නොමැත. එයින් පසු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන්ගේ උදව්වෙන් මේ උපකරණ අලෙවි කර තිබෙන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම උපකරණ අලෙවි කිරීමේදී උපකරණය මිලදී ගන්නා ලෙස උපදෙස් දෙන වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබූ එක සැකකරුවකුගේ දුරකථන අංකය එම පුද්ගලයන්ට ලබා දී තිබේ. ඒ හරහා අදාළ පුද්ගලයාව සම්බන්ධ කළ පසු, ඒ පුද්ගලයා අධික මිලකට උපකරණ අලෙවි කර ඇති අතර, මුදල් එම පුද්ගලයාගේ ගිණුමට බැර කරගෙන ඇත.
මෙම සැකකාර වෛද්‍යවරිය ළඟට එන පුද්ගලයන් වෙනත් තැනකින් එම උපකරණ මිලදී ගැනීම වැළැක්වීමට අවශ්‍ය උපකරණයට අදාළ නාමයන් සහ වට්ටෝරුව ලබා නොදී ඍජුවම තමන්ගේ ගැනුම්කරුවාව සම්බන්ධ කර තිබේ.
අත්දැකීමක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේම සේවය කරපු හෙදියක ෆේස්බුක් සටහනක තමන් ලැබූ අත්දැකීමක් මෙසේ ලියා තිබුණි.
“අල්ලස් කොමිසම මෑතකදී සිදු කළ අත්අඩංගුවට ගැනීම ගැන පළ කළ ප්‍රවෘත්තිය මම දැක්කේ දැන්.
2022 දී අපි ඉතාම බිහිසුණු අනතුරකට මුහුණ දුන්නා. අපේ වාහනයට දරුවෙකු හැප්පුණා. අපි ඔහුව හදිසියේ රෝහලට රැගෙන ගියා. ස්නායු ශල්‍ය විශේෂඥ කී විදියට ඔහුට හදිසි සැත්කමක් අවශ්‍ය වුණා. ඊවීඩී එකක් බද්ධ කිරීමේ සැත්කමක් කළා. (ඉංග්‍රීසි භාෂාවෙන් එක්ස්ටර්නල් වෙන්ට්‍රිකියුලර් ඩ්‍රේන් කියලා හඳුන්වනවා. සිංහලෙන් එය බාහිර කශේරුකා කණු බද්ධ කිරීමේ සැත්කම කියලා හඳුන්වන්න පුළුවන්.) අපට බාහිරින් ඊවීඩී එක මිලදී ගන්න කියලා කිව්වා. අපි රුපියල් 130,000ක් ඒ සඳහා ගෙව්වා. එවැනි එකක සාමාන්‍ය මිල රුපියල් 17,500ක් වුණත්.
සතියකට පස්සේ දරුවට දෙවැනි ඊවීඩී එක අවශ්‍ය වුණා. අර වගේම අධික මිලකට. ඒ නිසා ඒක දෙවතාවක් මිලට ගන්න සිද්ධ වුණා. දෙවතාවේම සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට. තවමත් අපි ළඟ රිසිට් සහ සාක්ෂි තියෙනවා.
මාසයකට පස්සේ, රෝහල් ගාස්තු මිල අධික නිසා රජයේ රෝහලකට මාරු කරන්න කියලා අපි ඉල්ලුවා. මාසයකට විතර පස්සේ දරුවා මරණයට පත් වුණා.
මට ඉතා පැහැදිලිව කියන්න ඕනෑ. මම මෙතැන වෛද්‍යවරියගේ වෛද්‍යමය තීන්දු ප්‍රශ්න කරන්නේ නැහැ. එහෙත් මෑතකාලීන ප්‍රවෘත්ති දැක්කාම මට හිතුණා අපට සිදුවුණ දේ බෙදා ගැනීමට. මීට පෙර මම කතා කළේ නැහැ. එහෙත් දැන් කතා කළ යුතුයි.
ඒ රෝහලේම, ඒ ශල්‍යාගාරයේම වැඩ කරපු කෙනෙක් විදියට මම තදින් විශ්වාස කරන්නේ මෙහි අනෙක් පරිපාලන නිලධාරීනුත් මෙවැනි දේවල්වලට සම්බන්ධ බව. මා සතුව හැමදේටම ශක්තිමත් සාක්ෂි නැහැ. තවත් අයට මෙවැනි දේවල් සිදු වුණා කියලා විශ්වාස කරන්නට තරම් දේවල් මට ඇහිලා තියෙනවා.”

අත්දැකීමක්
වැදගත්ම කරුණ වනුයේ මේ උපකරණ මොනවාද යන්නය. මෙම උපකරණ එදිනෙදා පාරිභාෂික වචන පද්ධතියේ ජනතාව කතාබහට ලක් කරන උපකරණ නොවේ. එය හෘදයාබාධයකදී පාවිච්චි කරන ස්ටන්ට් නමින් ප්‍රකට උපකරණයට සමාන නොවේ. නැත්නම් අක්ෂි කාචයක් වාගේ නිතර පාවිච්චි වෙන උපකරණයක් නොවේ. මෙම උපකරණය පාවිච්චි වෙන්නේ නිතර දකින සුලභ තත්වයන්ට අදාළවත් නොවේ. එමෙන්ම ඊවීඩී වැනි උපකරණ හදිසි අනතුරකින් පසුව පාවිච්චි කරන අවස්ථා ද ඇත. එවැනි මොහොතක සියල්ලන් ඉන්නේ කලබලයෙන් සහ බියෙනි. එවැනි පසුබිමක මෙවැනි උපකරණ පිළිබඳ ඇති බියත්, රෝගියාගේ තත්ත්වය ගැන අනවබෝධයත් නිසා කියන ඕනෑ කොන්දේසියකට යටත් වීමට රෝගීන් නිතැතින් පෙළඹෙයි.
අප සමග අදහස් දැක්වූ විෂය පිළිබඳ වෛද්‍යවරයකු මෙම සැත්කම් පිළිබඳ විස්තර කළේ මෙසේය.
“මෙතැන ඊවීඩී සහ වීපී ෂන්ට් (හෙවත් කශේරුකාව සහ උදරය සම්බන්ධ කරන නළයක්) කියන වෛද්‍ය උපකරණ දෙකම ශරීරයට බද්ධ කරන කොටස්. ඊවීඩී කියන්නේ තාවකාලිකව ශරීරයට බද්ධ කරන කොටසක්. වීපී ෂන්ට් පාවිච්චි කරන්නේ, ස්ථීරව සවි කරන වෛද්‍ය උපකරණයක් විදියට.
මස්තිෂ්ක සුෂුම්නා තරළය හෙවත් සීඑස්එෆ් හරියට ගලා නොයන රෝගීන්ට. ස්නායු පද්ධතිය කියන්නේ අපේ මොළෙන් දෙන සංඥා ශරීරයේ විවිධ තැන්වලට යවන පද්ධතිය බව අපි දන්නවානේ. සුෂුම්නාව කියන්නේ ස්නායු පද්ධතියේ ප්‍රධානම අංගයක්. මේ සීඑස්එෆ් මොළය තුළ අධික ලෙස පිරී ගිහිල්ලා, පීඩනය වැඩි වෙද්දී හිසේ කැක්කුම්වල ඉඳන් ශරීරය හරියට වැඩ කරන්නේ නැති වීම දක්වා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ඊවීඩී එකක් පාවිච්චි කරන්න පුළුවන් කලින් කීවා වගේ අනතුරකට පස්සේ. නැත්නම් මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් වගේ දේවල්වලදීත් පාවිච්චි කරන්නට ඉඩ තියෙනව. සමහර වෙලාවට මොළයේ සැත්කමක් කළාට පස්සේ ඊවීඩී එකක් පාවිච්චි කරන්න ඉඩ තියෙනව. මේ උපකරණය පාවිච්චි කරද්දී මොළයේ තරල ගලායෑම පාලනය කරන්න විතරක් නෙවෙයි ඒක නිරීක්ෂණය කරන්නටත් වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම සීඑස්එෆ් තරලයේ සාම්පල් පරීක්ෂාව සඳහා ලබාගන්නත් පුළුවන්. ඒත්, ඊවීඩී තාවකාලික විසඳුමක්.
අර වීපී ෂන්ට් වගේ උපකරණයක් සවි කරන තුරු හෝ යථා තත්ත්වයට පත්වෙනතුරු තමයි ඊවීපී එකක් පාවිච්චි කරන්නේ. වීපී ෂන්ට් කියන උපකරණය හයිඩ්‍රොසෙෆලස් තත්ත්වයන්ට විසඳුමක්. මේ තත්ත්වය සමහර අයට උපතින්ම ඇතිවෙනවා. තවත් අයට මොළයේ හටගැනෙන ගෙඩි, අභ්‍යන්තර රුධිර වහනයන්, හිසට ඇතිවෙන තුවාල වගේ හේතු නිසා පසුකාලීනව ඇතිවෙනවා. තවත් අයට වයසට යද්දී ඇති වෙන්න පුළුවන්. එතකොට මුත්‍රා පාලනය නැතිවීම, ඇවිදීමේ අපහසුතා, මතක ශක්තිය හීන වීම සිද්ධ වෙන්න පුළුවන්.
හිසරදය, වමනය, දෘෂ්‍යාබාධ, සමබරතාව නැති වීම වගේ හයිඩ්‍රොසෙෆලස් රෝගයේ රෝග ලක්ෂණවලට මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ තරලවල පීඩනය සීමාව ඉක්මවලා ඉහළ ගියොත් මොළයට සදාකාලික හානි වෙන්නත් පුළුවන්. මරණය දක්වා වුණත් යන්න පුළුවන්. වීපී ෂන්ට් එක මේ හානි අවම කරන්න පාවිච්චි කරනවා.”
දුමින්ද සිල්වා
කෙසේ වෙතත් මෙම වෛද්‍යවරිය පිළිබඳ කතාබහට ලක් වුණේ 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා රෝහල්ගත කිරීමෙන් පසු ඔහුට ප්‍රතිකාර කිරීම මෙන්ම සිංගප්පූරුවට යැවීමට නිර්දේශ කරන ලද්දේ ද එම වෛද්‍යවරිය වන නිසාය.
අදාළව සටහනක් පළ කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විමසා තිබුණේ, දුමින්ද සිල්වාගේ හිස්කබලට සිදුව ඇතැයි, විශේෂඥ වෛද්‍යවරියක ලෙස මහේෂි විජේරත්න ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැබෑවක් නම් දුමින්ද සිල්වා ජීවත්ව සිටින්නේ කෙලෙස ද යන්නයි. ඒ වාර්තාවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන ලෙස මෙන්ම, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි. එහෙත් එවැන්නක් කර තිබුණේ නැත.
රාවය පුවත්පතේ එවකට කටයුතු කළ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ගේ පුත්‍ර සමාගම කෘතියේ ඇති පරිදි, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු දුමින්ද සිල්වාට වෙඩි වැදීම මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු රෝහලේ ගත කළේ මාධ්‍යවලට මෙන්ම රෝහලේ කාර්ය මණ්ඩලයට ද රහසක් වන ආකාරයටය. විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ අධීක්ෂණය යටතේ සිටි දුමින්ද සිල්වා ආසන්නයටවත් යෑමට ඉඩ නොතිබුණි. ගොඩනැඟිල්ලේ ඔහු සිටි කොටසට යෑමට හැකියාව තිබුණේ අවසරලත් පුද්ගලයන් පිරිසකට පමණි.
දුමින්ද සිල්වා අදටත් සිය වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් විශාල සැකසහිත හැසිරීමක යෙදෙන බව බොහෝ දෙනෙකුගේ මතයයි. එය සාමාන්‍ය ජනතාවට පවා සනාථ වන්නේ ඔහු ප්‍රථමයෙන් අධිකරණ කටයුතුවලදී තමන්ට මතකය පවා නොමැති බව කීමත්, එයින් පසු සාමාන්‍ය විදියට හැසිරීමත්, සිර දඬුවම් ලබද්දී බන්ධනාගාර රෝහලට වී සිටීමත්, ජනාධිපති සමාව ලැබූ පසු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය දැරීමත්, යළි ඔහුගේ ජනාධිපති සමාව අතුරු තහනමකින් අවලංගු කළ පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගත වීමත් යනාදී සිදුවීම් මාලාවක් නිසාය.
හිපොක්‍රටීස් දිවුරුම
ගැටලුව වන්නේ, ‘හිපොක්‍රටීස්ට මුවා වූ සාතන්ගේ දියණිය’ යන නමින් ලංකා පුවත්පතේ මීට වසර කිහිපයකට පෙර සිට මෙම වෛද්‍යවරිය පිළිබඳ කරුණු හෙළිකර තිබීමය. එසේ තිබියදීත් ඇය වසර ගණනක් තිස්සේ කිසිදු හානියක් සිදු නොවී තමන්ගේ කටයුතු කරගෙන යෑමය. අල්ලස් කොමිසම මීට පෙර ද විමර්ශන ඇරඹුවත්, ඒ විමර්ශන ඉදිරියට නොයෑමය.
වෛද්‍ය වෘත්තිය සම්පූර්ණයෙන්ම විශ්වාසය මත පදනම් වූ වෘත්තියකි. වෛද්‍යවරුන් සිය උපාධිය ලබා ගන්නා විට ලබා ගන්නා දිවුරුම හිපොක්‍රටීස් දිවුරුමයි. 1948 ජිනීවා ප්‍රකාශනයේදී ලෝක වෛද්‍ය සංගමය හිපොක්‍රටීස් දිවුරුම කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කරන ලදී. එය 1968 දී සහ 1983 දී සංශෝධනය කරන ලදී. ඒ ලෝක වෛද්‍ය සංගමයේ මැදිහත්වීමෙනි.
එය බිහි වුණේ ක්‍රි.පු. 460. 670 කාලයේ ග්‍රීක වෛද්‍ය හිපොක්‍රටීස් විසින් සියලු ග්‍රීක දෙවිවරුන්ගේ නාමයෙන් හැකි උපරිමයෙන් තමන්ගේ රාජකාරිය ඉටු කරන බවට ලබාදීමට සකස් කළ දිවුරුමකි. යුග ගණනාවක් තිස්සේ වෛද්‍ය විද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සවවලදී එම දිවුරුම පාවිච්චි කර තිබුණි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිපොක්‍රටීස් දිවුරුම අනුසාරයෙන් සකස් කළ මාර්ගෝපදේශ සහ ආචාරධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කර ඇත. තමන්ගේ රෝගියා මුල් කරගත් කරුණු දහයකින් පමණ සමන්විත හිපොක්‍රටීස් දිවුරුම මූලිකව පදනම් කරගෙන්නේ රෝගියා සූරා නොකන බවට පොරොන්දුවලිනි.
රෝගියාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම සහ කිසිදු හානියක් නොකිරීම දිවුරුමේ එක ප්‍රධාන අංගයකි.
රෝගියාගේ තොරතුරු සහ සෞඛ්‍ය ඉතිහාසය රහසිගතව තබාගැනීම, වෘත්තිය හැසිරීම ඉහළම මට්ටමක පවත්වාගැනීම, රෝගියාගේ පුද්ගලිකත්වයට ගරු කිරීම, දැනුම ඊළඟ පරම්පරාවේ වෘත්තිකයන් සමග බෙදාගැනීම ඇතුළු ප්‍රතිඥාවේ අංග රැසක් ඇත.
එහෙත් අද වෛද්‍යවරුන් හුදෙක් එය වෘත්තියට පිවිසෙද්දී සැරසිල්ලක් ලෙස පමණක් පාවිච්චි කරන බව පෙනෙන්නට ඇති කරුණය. ඒ නිසා අප විමසිය යුත්තේ වෛද්‍ය මහේෂි මෙතෙක් කාලයක් තමන්ගේ කටයුතු කරගෙන ආවේ කෙසේද යන්නත්, මෙවැනි තව වෛද්‍යවරුන් කීයක් සිටින්නේ ද යන්නත්ය.
තරිඳු උඩුවරගෙදර