අලුත්ම හෙළිදරව්ව…කේ.පී.අයි.මත්ද්‍රව්‍ය ජාවාරමේ
මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් වර්තමානය වන විට රටම දන්නා ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නිසාය.
මාකඳුරේ මධුෂ්ගෙන් පසු බිහිවූ දරුණු පාතල නායකයෙක් ලෙස කංජිපානි ඉම්රාන් හැඳින්විය හැකිය. මධුෂ් ගිය අඩිපාරේ යන කංජිපානි තව නොබෝ කලකින් මෙරට පාතාලයේ හිණිපෙත්තටම නඟිනු ඇත. ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විටත් ඔහු සකසා ගනිමින් සිටී.
කවුද මේ කංජිපානි……
මාලිගාවත්ත ජුම්මා දේවස්ථානය අසල නිතර ගැවසෙන කෙසඟ සිරුරක් ඇති මුස්ලිම් තරුණයෙකි. ඔහු නමින් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් ය.
මාලිගාවත්ත ප්‍රදේශයේ දුප්පත් පවුලක ඉපිදී හැදී වැඩුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදාන ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පාසලකයි.
ඉම්රාන්ට සිය පාසල් ගමන අතරමග නතර කර දැමීමට සිදු වූයේ පවුලේ තිබූ දැඩි ආර්ථික ගැටලු නිසාය. ඔහුගේ පවුලේ සොහොයුරන් සිව්දෙනෙකි. ඉම්රාන් පවුලේ බඩ පිස්සාය.
ඉම්රාන්ගේ පියා පංචිකාවත්තේ වෙළෙඳසලක සේවය කළේ ඉතා සොච්චම් පඩියකටයි. පවුලේ වියහියදම් සඳහා එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවීය. එම නිසා ඉම්රාන්ලා ගත කළේ ඉතාමත් කටුක ජීවිතයකි.
ඉම්රාන් නිතරම හිස් වැසුමක් පැළඳ සිටියේය. එය ඔහුගේ හිසේ ප්‍රමාණයට වඩා විශාල වූ හිස්වැසුමකි. දුරින් සිට එය බැලූ කල කැඳ කෝප්පයක් හිසේ තබාගෙන සිටිනවා බඳු විය. එම නිසා ඇතැමුන් ඔහුව කංජිපානි ඉම්රාන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන් ගත්තේය.
පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ පසු කංජිපානි පුංචි පුංචි වෙළෙඳ ව්‍යාපාර කරන්නට පටන් ගත්තේය. වෙළෙඳසල්වල සේවය කළේය. තවත් වරෙක කැඳ වික්කේය. තවත් සමහරු පවසන්නේ එලෙස කැඳ විකුණූ නිසා කංජිපානි යන නම ඔහුට පටබැඳුණු බවයි. එහෙත් ඒ කිසි දෙයක් ඔහුට සාර්ථකව කරගෙන යෑමට නොහැකි විය.
මෙම කාලවකවානුව වන විට මාලිගාවත්ත තනිකරම පාතාල රාජධානියක් බවට පත්ව තිබුණේය. ඒ පාතාල රාජධානියේ නායකයා වූයේ ෆාජි නැමැති මැරයාය. මාමාස්මි, මංජල් අක්‍රම්, බයියා වැනි පාතාල මැරයන්ගෙන් සැදුම්ලත් ෆාජිගේ පාතාල කල්ලිය කොළඹ නගරය ආශ්‍රිතව මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් ආදි විවිධ අපරාධ සිදු කළහ.
එකල ෆාජිගේ අනුදැනුමකින් තොරව මාලිගාවත්තට ඉහළින් කපුටෙකුටවත් පියාසර කළ නොහැකි විය. ඒ තරමටම පාතාල බලයක් එම ප්‍රදේශය පුරා පතුරුවා හැරීමට ෆාජි ප්‍රමුඛ පාතාල කල්ලිය සමත්ව සිටියහ.
මෙවැනි පසුබිමක කංජිපානි ඉම්රාන් මාලිගාවත්තේ කුකුළු මස් කඩයක් පටන් ගත්තේය. ඒ එම ව්‍යාපාරය හරහා හෝ පොහොසතකු වීමේ අරමුණින්ය.
කංජිපානි ඉම්රාන්ගේ කුකුළු මස් කඩයට මංජල් අක්‍රම් නමැති පාතාල මැරයා නිතර පැමිණියේය. ඒ අනුව මොවුන් දෙදෙනා අතර සමීප මිතුදමක් ගොඩනැඟුණි. මංජල් අක්‍රම් ඒ වන විට දැඩි ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටියේය. හෙරොයින් පානය කිරීම පමණක් නොව හෙරොයින් අලෙවි කිරීම ද මංජල් අක්‍රම්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබුණේය.
කංජිපානි ඉම්රාන් පසු කලෙක හෙරොයින් පානයට ඇබ්බැහි වුණේය. කුකුළු මස් කඩයෙන් උපයන ලාභය හෙරොයින් පානයට වැය කළ කංජිපානි දිනෙන් දිනම ආර්ථික අතින් පිරිහීමට පටන් ගත්තේය.
හොරොයින් සහ පාතාලය…
එම නිසා දිනක් ඔහු “මංජල් අයියේ හම්බකරන හැම සතයක්මත් වියදම් වෙනවා, මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕනෑ. වැඩිපුර ගාණක් හම්බකරගන්න පුළුවන්. ඒකට ඔයා මට උදව් කරන්න ඕනෑ..” යැයි පැවසුවේය.
“හරි උඹ කිසිදේකට බය වෙන්න එපා. මම උඹට හොඳ වැඩක් සෙට් කරලා දෙන්නම්. සිද්ධික් ළඟ ඕන තරම් බඩු තියනවා. මම උඹට සිද්ධික්ව සෙට් කරලා දෙන්නම්. ඊට පස්සේ උඹට හොඳ සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්….”
එලෙස පැවසූ මංජල් අක්‍රම් තම මිතුරා වූ කංජිපානිට ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වූ මොහොමඩ් සිද්ධික්ව හඳුන්වා දුන්නේය. එතැන් පටන් කංජිපානි ඉම්රාන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. වැඩි දවසක් යන්නට පෙර කංජිපානි ලක්ෂපතියෙක් විය.
මේ කාලය අතර මංජල් අක්‍රම් ගේ මාර්ගයෙන් කංජිපානි ඉම්රාන් මාලිගාවත්ත පාතාලයේ නායකයා වූ ෆාජිව ද හඳුනා ගත්තේය. ඒ සමගම මාලිගාවත්ත පාතාලයේ කෙරුම්කාරයන් වූ මංජල්, බයියා වැන්නවුන් සමග ද ඉම්රාන් මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන පාතාලයට සම්බන්ධ විය.
මංජල් අක්‍රම්ව බණ්ඩාරවෙල නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියත් සමග ඉම්රාන් දැඩි ලෙස කම්පනයට පත් වුණේය. තම දියුණුවේ හෙවණැල්ලක් මෙන් පිටුපස සිටි මංජල් අක්‍රම් අහිමි වීම ඉම්රාන්ට දරාගත නොහැකි විය. මංජල් අක්‍රම් අතුරුදන්වීමෙන් පසු ඔහු අලෙවි කළ හෙරොයින් කොටස් ද ඉම්රාන් වෙත ලැබුණේය.
ඒ කාලය වන විට කංජිපානි ඉම්රාන්ද කිසියම් පාතාල බලයක් මාලිගාවත්ත පුරා ගොඩනඟාගෙන සිටියේය. කොළඹ ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් ගැනීම හෙරොයින් ජාවාරමට අමතරව ගංජා තොගපිටින් අලෙවි කිරීම හරහා ඉම්රාන් විශාල මුදලක් උපයා ගත්තේය.
කංජිපානි සහ මධුෂ්….
මෙම කාලය අතරතුර කංජිපානි ඉම්රාන් ගංජා කිලෝ ග්‍රෑම් 5 ක්ද සමග මාලිගාවත්ත පොලිසියට කොටු වුණේය. ඒ වන විට ඉම්රාන්ට එරෙහිව කප්පම් ගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් වූ පැමිණිලි ද කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනය කරමින් සිටියේය. එපමණක් නොව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ද ඒ වන විට කංජිපානි ඉම්රාන් ලුහුබඳිමින් සිටියේය.
කලක් මෙරට පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස කටයුතු කළ මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන්ට හමුවන්නේ මීගමුව බන්ධනාගාරයේදීය. ඒ වන විට මධුෂ් මංකොල්ලකරුවකු මෙන්ම දකුණේ පාතාල කල්ලියක එක්තරා සාමාජිකයකු පමණක් විය. මේ හමුවීම නතර වූයේ දෙදෙනාම ඩුබායි රාජ්‍යයට පැනගැනීමෙන් පසුවය.
කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ නවාතැන් ගනිමින් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය. මාකඳුරේ මධුෂ්ට ද අවශ්‍ය වුණේ එහි සිට හෙරොයින් ජාවාරමේ නිරතවීම සහ මෙරට පාතාලය මෙහෙයවීමටය.
ඩුබාහිදී අත්අඩංගුවට ….
පසු කලෙක, ඩුබායි රාජ්‍යයේ තරු පන්තියේ හෝටලයක් තුළ මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී මධුෂ් මෙන්ම කංජිපානි ඉම්රාන්ව ද අත්අඩංගුවට පත්විය.
ඉන් පසු කංජිපානි ඉම්රාන්වද මෙරට ආරක්ෂක අංශ වෙත භාර දුන් පසු අත්අඩංගුවට ගත්තේය.
එලෙස අත්අඩංගුවට ගත් පසු කංජිපානි ඉම්රාන්ව මත්ද්‍රව්‍ය ජාවාරම, පුද්ගල ඝාතන හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා රැසක් සම්බන්ධයෙන් නඩු පවරා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඇප ලබා ඉන්දියාවට….
ඒ අනුව, වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කංජිපානි ඉම්රාන්ට ඇප ලැබුණි. ඒ දෙදහස් විසිදෙක වසරේදීය. එලෙස ඇප ලැබී පැය විසිහතරක් ගත වන්නට මත්තෙන් ඔහු මෙරට සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පලා ගියේය. ඉන්දියාවේ රාමනාතපුරම් ප්‍රදේශයේ සැඟව සිටි කංජිපානි පසුව යුරෝපය බලා පැන ගොස් තිබුණි.
කේ. පී. අයි. මත්ද්‍රව්‍ය ජාලය…
යුරෝපය බලා පැන ගිය කංජිපානි ඉම්රාන් කලක් එහි සැඟවී සිට යළි සුපුරුදු පරිදි තම පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගියේය. දැන් ඔහු එහි යෙදී ඇත්තේ ඉතා සැලසුම්සහගත ලෙසයි.
වර්තමානයේ කංජිපානි කේ. පී. අයි. නිෂ්පාදන හෙවත් කංජිපානි ඉම්රාන් නිෂ්පාදන සන්නාමයෙන් හෙරොයින් ජාවාරම සිදු කරගෙන යයි. ඔහුගේ මෙම සන්නාමයෙන් යුතු හොරොයින් ක්‍රිලෝ ග්‍රෑම් එකේ සිට ඉහළ සහ පහළ පැකේජ දක්වා ලබාගන්න හැකිය.
කංජිපානි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ද සෘජු සම්බන්ධතා පවත්වා ගෙන යයි.
ඔහුගේ මෙම ජාලය ක්‍රියාත්මක වන්නේ විදේශ රටවල සිටින මෙරට නමගිය අපරාධකරුවන්ගේ සහයෝගය මතයි. එම ජාලයේ හාජි සලීම්, පකීර් බායි ඉතා සුක්ෂම ආකාරයට හෙරොයින් මුහුදු මාර්ගයෙන් මෙරටට එවීමේ කටයුතු සිදු කරති.
කළු සාගර, උණාකුරුවේ ශාන්ත, අහුංගල්ලේ ලොකු බබා, අහුංගල්ලේ පොඩි බබා, ශිරාන්, රිමෝශන්, කැලිස්ටර් සහ සෙල්විගේ පුතුන්, හිටපු පාතාල කල්ලි නායකයකු වන රණාලේ සමයංගේ කල්ලියේ චමියා, මෑත කාලීනව කතාබහට ලක්වූ දෙවුන්දර දෙහි බාලේ මල්ලි යන අපරාධකරුවන් කංජිපානිගේ අනු දැනුම මත මෙම ජාලයට සම්බන්ධවී සිටිති. තවද රුසියාවේදී අත්අඩංගුවට පත්වුණ රොටුඹ අමිල ද මෙහි පුබල සමාජිකයෙකි.
ඒ අනුව කංජිපානි ඉම්රාන් විදෙස් රටවල සැඟවී සිටින ඉහත නම් සඳහන් කළ දරුණු ගණයේ පාතාල සාමාජිකයන් සමග එකතුවී තම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් සිටී. එම ජාවාරම්කරුවෝ තම ගෝල බාලයින් ලවා ඉතා සූක්ෂම අයුරින් රට පුරාම කංජිපානි ඉම්රාන්ගේ සන්නාමයෙන් යුතු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ විකිණීම සිදුකරගෙන යති.
ගයාන් සමරසිංහ
[email protected]