ඉරානයේ 639ක් හා ඊශ්‍රායලයේ 24ක් දැනට මියගිහින්
අටවැනි දිනට එළඹ තිබෙන ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ දී දෙපාර්ශ්වය විසින් දිගින් දිගටම එකිනෙකාට එරෙහිව ප්‍රහාරයන් එල්ල කරමින් සිටින අවස්ථාවේ යුරෝපා රටවල් තුනක විදේශ අමාත්‍යවරුන් යුද්ධය සමථයකට පත් කිරීම හා ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා සමග ඊයේ (20) ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ අනුව එංගලන්ත, ජර්මන් හා ප්‍රංශ විදේශ කටයුතු ඇමැතිවරුන් ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා සමග මෙසේ සාකච්ඡා අරඹා ඇත්තේ ඊශ්‍රායල -ඉරාන යුද්ධය සඳහා ඇමරිකාව මැදිහත් වනවාද යන්න පිළිබඳව ඉදිරි සති දෙකේ දී තීරණයක් ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් බව වාර්තා වෙයි. කෙසේ වුවද ජිනීවා සාකච්ඡා ඇරඹීමට පෙර ඉරාන විදේශ කටයුතු ඇමැති අබ්බාස් අරග්චි ඉරාන රජයේ රූපවාහිනියට පවසා තිබුණේ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කරන වාතාවරණයක් තුළ තමා කිසිවකු සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් නොමැති බවයි. මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා යුරෝපා රටවල් තුනක විදේශ ඇමැතිවරුන් සමග සාකච්ඡා කිරීමට ඊයේ ජිනීවා නගරයට පැමිණ ඇති බව පසුව වාර්තා විය.
ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය වන කැරොලයින් ලෙවිට්ට අනුව ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල -ඉරාන යුද්ධයට ඇමරිකාවේ මැදිහත්වීම ප්‍රමාද කරමින් සිටිනුයේ මෙම යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ප්‍රමාණවත් අවස්ථාවක් පැවතීම හේතුවෙනි. ඉරානයේ න්‍යෂ්ටික හා මිසයිල පහසුකම් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් ඉකුත් සිකුරාදා ගුවන් ප්‍රහාරයන් එල්ල කිරීමත් සමගම දෙරට අතර යුද්ධයක් හට ගැනුණි. යුද්ධය ඇරඹුණු දින සිට ඊයේ (20) දහවල් දක්වා වූ කාලයේ දී ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරාන වැසියන් 639 දෙනකු හා ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 24දෙනකු පමණ මියගොස් ඇති බව බටහිර මානව හිමිකම් සංවිධාන පවසා ඇත. කෙසේ වුවද මෙම යුද්ධයෙන් මියගිය නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර පෙරේදා (19) රාත්‍රියේ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ යුද ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාරයන් එල්ල කර ඇති අතර ඉරානය විසින් දකුණු දිග ඊශ්‍රායලයේ පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනයේ කාර්යාල සහිත ගොඩනැඟිලිවලට ආසන්න ප්‍රදේශයකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිසා කාර්යාල ගණනාවක් ගිනි ගනිමින් පවතින බව වාර්තා විය. මෙම ප්‍රහාරයෙන් පස්දෙනකුට තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර ධවල මන්දිරය විසින් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදා විසින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ මිසයිල පද්ධතියට දැඩි හානි සිදුව තිබීම නිසා ඉරාන බලධාරීන් විසින් මෙතෙක් අනුගමනය කළ දැඩි ස්ථාවරය වෙනස් කරමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සඳහා යොදා ගනු ලබන යුරේනියම් ලබා ගැනීමේ වැඩපිළිවෙළ අතහැර දැමීම ඇතුළු ඔවුන් කලින් ප්‍රතික්ෂේප කළ කොන්දේසි සඳහා එකඟතාවය පළ කරනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක උපදේශකවරුන් බලාපොරොත්තු වන බවයි.
ඒමන්ති මාරඹේ