ඇත්කඳක ස්වරූපය ගත් මහා පර්වතය මායිම් කරගෙන ඉදිකරන ලද විහාරය ඇත්කඳ විහාරය ලෙසට හඳුන්වනු ලබයි. විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා ඈතට දිව යයි. එය ක්‍රිස්තු පූර්ව 177-187 දක්වා දිගු ඉතිහාසයකි. අනුරාධපුර යුගයේ සූරතිස්ස රජතුමා විසින් ඇත්කඳ රජමහා විහාරය කරවූ බව සඳහන් වේ. ඉන් හැඟීයන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිට ම මෙම ස්ථානය ආගමික හා ශාසනික වශයෙන් උසුලා ඇති වැදගත්කමය. සූරතිස්ස රජ දවස මෙම විහාරයේ පන්සියයකට වැඩි රහතන් වහන්සේලා වැඩ විසූ බව කියවේ. මීට අමතරව විහාරස්ථානය සතු සුවිශේෂී සිද්ධියක් ලෙස සලකනු ලබන්නේ, 4 වැනි පණ්ඩිත පැරකුම් රජු කුරුණෑගල රජකරන සමයෙහි ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කිරීම ය. ආගමික සාහිත්‍යයේ සංවර්ධනය පිළිබඳ තොරතුරු ගවේෂණයේදී අස්ගිරි තල්පතින් ඇත්කඳ රජමහ විහාරය පිළිබඳ මූලාශ්‍ර විස්තර කෙරේ. ඒ අනුව අස්ගිරි මහා විහාරයේ ආරම්භයේ දී එහි වාසය සඳහා වැඩම කළ තෙරුන් වහන්සේ ඇත්කඳ විහාරය නවාතැන් පළක් ලෙස භාවිත කළ බව ද එහි සඳහන් ය.
ඇත්කඳ රජමහා විහාරයට ආභරණයක් ව පවතින ජාතක පොත් වහන්සේ ප්‍රමුඛ කොට වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පොසොන් පෙරහැරට රාජ්‍ය අනුග්‍රහය ද හිමිය. කුරුණෑගල ශ්‍රී දළදා පොසොන් පෙරහැර සෑම වසරකදී ම පොසොන් පුර පසළොස්වක පොහොය නිමාවත් සමග කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගෙන පැවැත් වේ. වසර හත්සීයකට වැඩි ඉතිහාසයක් මෙම පෙරහැරට හිමිව තිබේ. කුරුණෑගල රජකම් කළ 4 පණ්ඩිත පැරකුම්බා රජතුමාගේ මාර්ගෝපදේශයෙන් කතුවරුන් කිහිප දෙනෙකු යටතේ පාලියෙන් ලියැවී තිබුණු ජාතකට්ඨ කතාව සිංහලයට පරිවර්තනය කිරීමෙන් පසුව සිංහල ජාතක පොත්වහන්සේ වීථි ප්‍රදක්ෂිණා කර ඇත. වාර්ෂිකව ඇත්කඳ රජමහා විහාරය මගින් පවත්වනු ලබන ශ්‍රී දළදා පොසොන් පෙරහැරේ තවත් අංගයක් ලෙස ගලේ බණ්ඩාර දෙවියන්ගේ දේව රූප, ආභරණ සහ දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන සුදු අශ්වයකු ගමන් කරවීම සිදු කරනු ලබයි. නගරය වටා ප්‍රදක්ෂිණා කරන දේව රූප රැගත් මෙම අවස්ථාව දැක බලා ගැනීමට පැමිණෙන බෞද්ධ සහ අන්‍යාගමික බැතිමත්තු ආරක්ෂාව හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පඬුරු දැමීම සිදු කරති.
පෙරහැර ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පෙරහැර පැවැත්වීමේ සිරිත ආරම්භ වී ඇත්තේ සිංහල වර්ගයාගේ ආරම්භයේ සිට ම බව මහාවංසයේ සඳහන්ය. විජය රජු පඬි රජුගේ දුව මහ පෙරහැරින් අභිෂේක කළ බව සඳහන්ය. බෞද්ධ ඉතිහාසයට අනුව ලංකාවේ ප්‍රථම බෞද්ධ පෙරහැර ලෙස සැලකෙන්නේ දෙවනපෑතිස් රජ දවස ඉන්දියාවේ සිට ශ්‍රී මහා බෝධි අංකුරය ලංකාවට වැඩමවීමේ උත්සවයයි. ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ බෝධියේ පුද පූජා කටයුතු සඳහා තවත් කුල 18ක පිරිස් සමග ලංකාවේ දඹකොළ පටුනෙන් මෙරටට පැමිණියහ. රජතුමා අතිවිශාල පෙරහැරකින් මෙම පිරිස අනුරාධපුරයට වඩම්මවා ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කළේය. වංශකථාවලට අනුව අනුරාධපුරේ දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ 4 වන සියවසේ දී ය. ක්‍රි. ව.301 – 308 දී රජකළ කිත්සිරි මේඝවර්ණ රජු රාජකීය දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරයට පෙරහැරින් වැඩම වූ මෙම පෙරහැර පිළිබඳ තමා දුටු විස්තර ෆාහියන් භික්ෂුව සටහන් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ පෙරහැර ඉතිහාසය පිළිබඳ විස්තර ප්‍රථමවරට හමුවන්නේ අනුරාධපුර යුගයේදී ය. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම දළදා පෙරහැර සියැසින් දුටු චීන ජාතික ෆාහියන් ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ සටහන් කොට ඇති විස්තරයේ ය. එකී පෙරහැරින් අපේක්ෂා කර ඇත්තේ දළදාව මහජනතාවට ප්‍රදර්ශනය කිරීම ය. ඒ සම්බන්ධයෙන් ෆාහියන් හිමියන් දක්වන විස්තරය මෙහි ලා සඳහන් කරන්නේ පෙරහැර හා පෙරහැර පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට ය. මක්නිසාද යත්; එදා ප්‍රථම පෙරහැරේ පරමාර්ථ හා නූතන පෙරහැරක් පැවැත්වීමේ දී අභිප්‍රේත අරමුණු හා එකිනෙක සැසඳීමේ දී වඩාත් ප්‍රයෝජනවත් වන බැවිනි. මහබෝ පෙරහැරත් දළදා පෙරහැරත් ආරම්භ වූ පසු ලංකාවේ මිහිඳු පෙරහැර ආරම්භ විය. ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන්හි අස්පර්ශ සංස්කෘතියට (Intangible) අයත් පෙරහැර වූ කලී මෙරට වටිනා සංස්කෘතික ක්ෂේත්‍රයන් නියෝජනය කරන ජාතික උත්සවයක් ලෙස හැඳින්විය හැකි ය. ක්‍රිස්තු වර්ෂ හතරේ දී පමණ ශ්‍රී මහා බෝධිය වැඩම කළ දිනයේ සිට පෙරහැර සංස්කෘතිය ආමිස පූජාවක් ලෙස මෙරට ආරම්භ විය.
ඇත්කඳ රජමහා විහාරයේ පෙරහැර පෙළ ගැස්ම
කස කණ්ඩායම, ජාතික ධජය පෙරටු කරගත් බෞද්ධ ධජ කණ්ඩායම, ආරම්භක හේවිසි කණ්ඩායම, අලියා පිට නැගි පෙරමුණේ රාළ සන්නස් කොපුව සහිතව ගමන් කිරීම, චාමර නැටුම, පතුරු නැටුම, කඩු නැටුම්, පන්තේරු නැටුම, ලී කෙළි නැටුමක්, බැනරයක් රැගෙන යෑම, වෙස් නැටුම, තාලම්පට නැටුම, පතුරු නැටුම, ලී කෙළි නැටුම, වේවැල් නැටුම, ගැමි නැටුමක්, අලියකු ඇතින්නියකු ගමන් කරවීම, පොල්මල් නැටුම, ලනු දඟරය නැටුම, රබන් නැටුම.
වෙස් නැටුම් කණ්ඩායම ආදියෙන් අද්‍යතන පෙරහැර පරිපූර්ණ විචිත්‍ර නර්තනාංග රැඳි පෙරහැරක් ලෙස හඳුන්වාදිය හැකිය. ප්‍රධාන පෙරහැරට සමගාමීව දේවාල පෙරහැර ද පැවැත්වෙන අතර, දේවාල පෙරහැර තුළ නූතන නර්තන විචිත්‍රාංගකරණයන් දැකිය හැකිය. එහි නර්තන කණ්ඩායම් කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වයම විසින් සිදුකරනු ලබන අතර, මුල් පෙරහැර තුළ සාම්ප්‍රදායිකත්වය පෙරදැරිව පුරුෂ පාර්ශ්වය පමණක් නර්තන ප්‍රාසාංගීකරණයන් තුළ දැකිය හැකිය.
දේවාල පෙරහැර සැකසුම
(ඇත්කඳ විහාරස්ථ ගලේබණ්ඩාර දේවාලයේ පෙරහැර)
ආරම්භක හේවිසි කණ්ඩායම, සවරන්න නැටුම, කුළු, මෝල්ගස්, කළගෙඩි නැටුම, ඕඩියමාත්‍රා නැටුම, අලියකු හෝ ඇතින්නක ගමන් කරවීම, කළගෙඩි නැටුම, ඕඩියමාත්‍ර නැටුම, කුළු නැටුමක්, කළ නැටුමක්, අලියකු හෝ ඇතින්නක් ගමන් කරවීම, මල්කළ, කොහොඹ කළ නැටුම, මොනර නැටුම, වෙස් නැටුම, දේවාභරණ වැඩ වීම (ඇතෙකු පිට)
සංස්කෘතිකාංග තුළ දැකිය හැකි පූජාර්ථ
පෙරහැරේ සෑම සංස්කෘතිකාංගයක් තුළ ම දළදා වහන්සේට ගෞරවය ආදරය භක්තිය දක්වනු පිණිස වාදන, ගායන, රංගන ඉදිරිපත් වේ. වෙස් නැටුමක් ඉදිරිපත් කිරීම තුළ භක්තිය මෙන් ම ගෞරවය හා අභිමානනීය තත්ත්වයත් ප්‍රතියමානය සිංහල වාදන කලාවට අනුකූලව වාදන පෙරහැර තුළ ඉදිරිපත් කරයි. හේවිසි කණ්ඩායම් පවා වාදනය කරන සෑම පද කොටසකම ගෞරවාන්විත පූජනීය බවක් උසුලයි. ගජගා වන්නම, ගාහක වන්නම වැනි වන්නම්වල ගාම්භීරත්වය පෙන්නුම් කරමින් වෙස් නැට්ටුවන් තම දක්ෂතාවයන් තුළින් දළදා පෙරහැරට පූජෝපහාර දක්වති. සවරම්, සළු වැනි නැටුම්වල දී පවන්සැලීමක් නැතහොත් පෙරහැරින් වැඩම කරවන ජාතක පොත් වහන්සේට ආ වැඩීමක් වශයෙන් රඟ දක්වති. හුදෙක් ම පූජාර්ථය ඒ තුළ රැඳී ඇත. තාලම්පට, පන්තේරුව වැනි තාල වාද්‍ය භාණ්ඩ රැගෙන රඟ දක්වන ශිල්පීන් පවා තබන සෑම අඩියක් ම, තාලයක් ම පූජාර්ථය මුල්කොට ගෙන රඟ දක්වති. එම භාණ්ඩ පූජා භාණ්ඩ වශයෙන් සැලකේ. කොහොඹ කළය නැටුම් පත්තිනි දේවියට ගෞරව පිණිස කෙරෙන අතර ඖෂධීය පැළෑටි ලෙස කොහොඹ කොළේ සංකේතවත් කරගෙන අම්මාවරුන් හත් දෙනා හා සම්බන්ධ බෝවන රෝග නිවාරණයට පත්තිනියගේ සහාය ලබා ගැනීමට රඟ දක්වන බව කියති. එය හුදෙක් ම පූජා නැටුමකි. දේවාල පෙරහැර තුළ පවතින කාවඩි නැටුම් පවා හින්දු ආගමික ස්වරූපයෙන් පූජා අර්ථයෙන් නිරූපණය කරන්නේ පූජාමය හැඟීම ඇතිව ය.
ඇත්කඳ වෙහෙර දළදා පෙරහැරේ ප්‍රාසාංගිකත්වය හා සංජානනය
ඇත්කඳ පෙරහැරේ ප්‍රාසාංගිකත්වය දනවන සංස්කෘතිකාංග නිසා පෙරහැරේ පැවැත්මට ඒවා මහත් පිටිවහලක් වන බව කිව හැක. චලන රටා, වාදන රටා තුළින් ගෞරවය පූජාර්ථය දැනවීම පිණිස ස්වාර්ථයෙන් ම පෙරහැරට සම්බන්ධ වන පාරම්පරික ශිල්පීහු බොහෝ ය. ඔවුන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් නිරූපණය කිරීම තුළින් පෙරහැරේ ප්‍රාසාංගිකත්වය රැඳී පවතී. ඔවුහු කැමැත්තෙන් හැඟීමෙන් ම පෙරහැරට සම්බන්ධ වෙති. ඇඳුම් පැළඳුම් පවා පූජාර්ථය දනවන වර්ණවත්ව හා ප්‍රාසාංගික බවක් ද ගෙන එයි. වාදන, ගායනය, නර්තනය යන කොටස් තුන ම අලංකාර බවක් මෙන් ම ලාංකීය ප්‍රෞඪත්වය දැනවීමට හේතුවන බව පෙනේ. තබන සෑම පාදයක් ම රිද්මයානුකූලව, තාලානුකූලව, සංයමයෙන් යුතුව ඉදිරිපත් කිරීමෙන් එහි සාර්ථකත්වයක් විද්‍යමානය. වේදිකාවක නොවූවත් මාර්ගයට උචිත පරිදි පෙරහැර සංකල්පයෙන් යුතුව ඉදිරිපත් කිරීම තුළ ප්‍රාසංගික බවක් එක්කෙරේ. මෙම පෙරහැර නොයෙක් අයුරින් විචිත්‍ර අංග එක් කරමින් සංවිධානය වේ. ඇතුන් සැරසවීම, බස්නායක නිලමේවරුන්ගේ ගමන, සංගීත කණ්ඩායම්, නැට්ටුවන්, ධජ පතාක ගෙන යන්නන් ආදීන් මෙන්ම හස්තීන්ගේ හැසිරීම් පවා ප්‍රාසාංගික බවක් ගෙන එයි.
“පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පිළිබඳ ව වන ප්‍රවෘත්තිය ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයෙහි ඓතිහාසිකත්වය සම්බන්ධයෙන් වැදගත් වන කාරණය මේ තුළ දී මෙයට පූර්වයෙන් පෙන්වා දී ඇත. ඒ එම කෘතිය මෙම රජමහා විහාරයෙහි දී රචනා වීම නිසා ය. ග්‍රන්ථාරූඪ කරන ලද පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ ගරු බුහුමනට හා පුද පූජාවන්ට ලක් වෙමින් මෙම විහාරයෙහි ආරක්ෂිත මංජුසාවක් තුළ වැඩ සිටී. මෙම මංජුසාවෙහි වැඩසිටින ජාතක පොත් වහන්සේ සෑම වර්ෂයක දී ම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන දළදා පෙරහැරෙහි දී සරසන ලද හස්තියකු පිට ජනී ජනයාගේ සාධු නාද මධ්‍යයේ වැඩම කරවමින් පුද පූජාවන්ට ලක් කරනු ලබන්නේ මෙම කෘතිය සම්පාදනය කළායින් පසුව හතර වැනි පැරකුම් මහරජු ඇතකු සිට වඩා හිඳුවා මෙය නගරය වටා දක්ෂිණා කරවූ පුවත සිහි ගන්වමිනි. මෙම ක්‍රියාව සෑම වසරක ම සිදු කරන ලෙසට රජු විසින් රාජ නියෝගයන් ද පනවා ඇත.
වර්තමාන පෙරහරේ පෙළගැස්ම ද ඉපැරණි පෙරහැර පෙළගැස්මේ ස්වරූපයට බොහෝ සමාන ය. සෑම වසරකම ශ්‍රී ලංකා ජනරජයට සහ ලක්වැසි සැම දෙනාට ද වෙසෙසින් වයඹ පළාත්වාසී සියලු දෙනාටද ආශිර්වාද පිණිස කුරුණෑගල නගරයේ වීථි සංචාරය කෙරෙන ඓතිහාසික, හස්තිශෛලපුර ඇත්කඳ (හත්ථින්ධ) රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර සහ එම විහාරස්ථ ගලේබණ්ඩාර දේවාලයේ පෙරහැර ඉතා අලංකාර උඩරට හා පහතරට මෙන් ම සබරගමු සම්ප්‍රදායට අයත් විවිධාකාර නර්තනයන්ගෙන් සමන්විත වන අතර ඒවායෙහි ගැහැනු හා පිරිමි යන දෙපාර්ශ්වය ම නර්තනයේ යෙදෙනු ලැබේ. එමෙන් ම පංචතූර්යය නාදයෙන් සුසැදි මෙය අලි ඇතුන් 30 කට ආසන්න ප්‍රමාණයක් සහිත ව කසකරුවන්, මාලාකරුවන්, ගිනිබෝල කරකවන ශිල්පීන් හා පෙරහැරට ආලෝකය සපයන පන්දම්කරුවන් ආදී බොහෝදෙනකු සහභාගි වන චිත්තාකර්ෂණීය සහ ආනන්දනීය පෙරහැරක් බවට පත්ව ඇත.
ආචාර්ය විමල් මුණසිංහ