ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම මගේ ඉලක්කයයි – ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු
ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානයට කිට්ටු ප්‍රදේශ කිහිපයකට ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් එම ස්ථානවල ගොඩනැඟිලි කිහිපයක් ගිනිබත් වූ බව ඊයේ වාර්තා විය. මොසාඩ් මූලස්ථානයට හානියක් සිදුවූ බවට එම පුවත් තහවුරු නොකළේය. මේ අතර ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම තම ඉලක්කය බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. අයතුල්ලා කොමේනිගේ ඝාතනය මෙම ගැටුම උග්‍ර නොකරනු ඇති බවත් එයින් ගැටුම අවසන් කරනු ඇති බවත් අගමැතිවරයා පවසා තිබේ.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා මරා දැමීමේ ඊශ්‍රායල සැලැස්මක් ප්‍රතික්ෂේප කළ බවට පෙරේදා වාර්තා පළවුවත් එය බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එසේම ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරයට ඉහළ අහස මත ‘පූර්ණ ගුවන් මෙහෙයුම් පාලනයක්’ සිදු කර ඇති බව ඊශ්‍රායලය පවසයි. ඔවුන් එය නිවේදනය කළේ, එරටට ප්‍රහාර එල්ල කර දින හතරකට පසුව ය.
සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “සෑම කෙනෙකුම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුයි” යැයි ඊයේ ප්‍රකාශ කර තිබිණි. ‘හමුදා කඳවුරු’ ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති බව පවසමින් ඊසානදිග ටෙහෙරානයේ සමහර ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල නිලධාරීන් ඊයේ උදෑසන පදිංචිකරුවන්ට උපදෙස් දීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා තිබිණි.
ඊයේ දිනයේත් මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රදේශවලට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල වී තිබිණි. සඳුදා දිනයේ එල්ලවූ මිසයිල ප්‍රහාර නිසා දෙදහසකට සිය නිවෙස් හැරයෑමට සිදුව තිබේ. එසේම ඊයේ දිනයේ ජෙරුසලමේ සහ ටෙල් අවිව්හි විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන මිසයිල ප්‍රහාර ගැන අනතුරු අඟවමින් ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාදවෙමින් තිබිණි.

ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගේ තත්ත්වය සුව අතට හැරී ඇති අතර නැවත ඔවුන්ට සේවය කිරීමේ අවස්ථාව දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඔහු කියා සිටියේ මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු පදිංචි ස්ථාන ද පිපිරීම්වලට ලක්ව ඇති බව යි.
මේ අතර ඊයේ පෙරවරුවේ ඉරානය ටෙල්අවිව් නුවර පිහිටි මොසාඩ් මූලස්ථානයට පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
සිකුරාදා සිට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.
‘ජී හත’ සමුළුවට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග තත්ත්වය හේතුවෙන් එම සංචාරය අවසන් කරමින් පිටව ගොස් තිබේ. ජී හත රටවල නායකයෝ ‘ගාසා තීරයේ සටන් විරාමයක් ඇතුළුව මැද පෙරදිග එදිරිවාදිකම් අවම කරන ලෙස’ ඉල්ලා ඇතත්, කැනඩාවේ පැවැති ඔවුන්ගේ සමුළුවේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඉල්ලා සිටීමෙන් වැළකී සිටියහ.
චතුර පමුණුව