“ලයින්කාමර පේළියක පවුල් 16කටම යන්න තියෙන්නෙ පොදු වැසිකිළි හයක්. ඒවාටත් වතුර නෑ. වහගන්න දොරක් නෑ…..”
වසර විස්සකට වැඩි කාලයක් තිස්සේම කුරුණෑගල ලයින් කාමරවල මිනිසුන්ගේ හඬයි.
බිම වර්ග අඩි දහස් ගණන් ඇති නිවාසවල ජීවත්වන මිනිසුන් පිළිබඳව කතා කරන වකවානුවක තවමත් වර්ග අඩියක්වත් නැති මිනිසුන් මෙන්ම, වසර 150 ක පමණ වර්ග අඩි සීයකටත් වඩා පුංචි ඉඩකඩක පවුල් දෙකක් පමණ කිසිදු අයිතියක් නැතිව ජීවත්වන මිනිස්සුන් ද සෑම දිස්ත්‍රික්කයකම සිටී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බතලගොඩවත්ත ලයින් කාමරවල ජීවත්වන මිනිසුන්ගේ ගැටලු පිළිබඳ මීට වසර ගණනාවක සිට මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කළ ද, කිසිදු රජයකින් ඔවුන්ට පිළිසරණක් නොවීය.
මාධ්‍ය කළ හෙළිදරව්වෙන් පසු ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා පිළිබඳව විමසිල්ලෙන් සිටියද, ඔවුන්ගේ වාසස්ථාන, ඉඩම් අයිතිය, රැකියාවේ තත්ත්වය පිළිබඳ ගැටලුවලට විසඳුමක් දීමට හැකියාවක් නොලැබුණි.
මේ නිසා බතලගොඩවත්ත ජන කොට්ඨාසය විවිධ පාර්ශ්වයන් ඇවිත් ඔවුන්ගේ ගැටලු කතා කිරීම පමණක් නිසා ම මානසික වශයෙන් පීඩාවට පත්වෙමින් සිටියහ.
කැමති තැනක වාසය කිරීමට ඇති අයිතියත්, ඉඩම් අයිතියත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යනාදිය කිසිවක හිමිකමක් නැති මේ ජන කොට්ඨාසයට නිදහසේ වැසිකිළි යෑමටවත් හිමිකමක් නොතිබුණි. තරුණ ගැහැනු දරුවන්ට මෙන්ම කාන්තාවන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති වීම නිසා සනීපාරක්ෂාව පිළිබඳ ගැටලුව දැඩිව පැවතිණි.
ඉඩමක අයිතියක් නැති, ඒ නිසාම පදිංචියක් නැති, ජන කොට්ඨාසයක් මුහුණපාන ගැටලු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වුවද අවධානය යොමු වන්නේ ද ඉතාමත් අඩුවෙනි.
මේ අතරතුර විවිධ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ යකල්ල දේවසරණ මධ්‍යස්ථානයටයි. මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් බතලගොඩවත්තේ සියලුම ගැටලු කෙරෙහි අවධානය යොමු වූයේ, තරුණ දරුවන්ගේ ආරක්ෂාව, සනීපාරක්ෂාව, මානව අයිතිවාසිකම්, වෘත්තීය අයිතිවාසිකම්, අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම ඉඩම් අයිතිය සහ ඔවුන්ටම ජීවත්වීමට සුදුසු නිවසක් යන කරුණු සියල්ලම එක් කරමිනි.
මේ අතරතුර මහනුවර සමාජ සංවර්ධන ආයතනය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන්නේ යකල්ල දේවසරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙනි. ඒ සඳහා ඔවුන් තෝරාගනු ලබන්නේ බතලගොඩවත්ත සංවර්ධනය කිරීමටයි.
2023 පෙබරවාරි 28 වන දින පැවැත් වූ සාකච්ඡාවෙන් ඔවුන් මතුකරන ලද ප්‍රධාන ප්‍රශ්නය වූ ඉහත ගැටලු පිළිබඳ අවධානය යොමු කළහ.
අක්කර 281 කින් යුත් බතලගොඩවත්තේ රබර් වගා නොකරන ලද භූමියේ අයිතිය වෙනුවෙන් ඔවුනොවුන් පර්චස් 20 බැගින් පවල් 28 බෙදාගෙන තිබුණි. මේ ගැටලුව පදනම් කරගෙන වතු හිමියන් විසින් මෙයින් පවුල් 6 කට විරුද්ධව කුරුණැගල දිසා අධිකරණයේ අංක 2361/L නඩුවක් පවරා තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි. මේ සියල්ල ජයග්‍රහණය කරා ගෙන යන්නට සිවිල් පුරවැසියන්ට හැකියාවක් ලැබුණි.
ඒ අනුව බතලගොඩවත්තේ පවුල් විසිඅටක් සඳහා අධිකරණ නියෝග මත අදාළ ඉඩම් සඳහා ඔප්පු ලැබී තිබේ. බතලගොඩවත්තේ පදිංචිය පිළිබඳව සලකා බැලීමේදී මලෛයිහම් ජනතාවගේ ඉතිහාසය වසර 200 ක පමණ කාලයක් දක්වා ඇත. දේවසරණ සංවර්ධන කෙන්ද්‍රය විසින් බතලගොඩවත්තේ කම්කරුවන්ට සහයෝගය ලබාදීම ගැන සාකච්ඡාවක් දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේදී කැඳවන ලදි. මෙම සාකච්ඡාවට නීතිය හා සමාජ භාරය, මොන්ලා, කාන්තා සංවර්ධන පදනම, අත්වැල සහන පියස, ග්‍රාස්රූටට් ට්‍රස්ට් ආයතනය, මාධ්‍යවේදීන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය ආදී සංවිධාන මෙන්ම පුද්ගලයින්ද සම්බන්ධ විය.
අදාළ නඩුව සම්බන්ධව නීතිඥ ගාස්තු හා ඊට අදාළල වෙනත් වියදම් දැරීමට නීතිය හා සමාජ භාරය ආයතනය හරහා ගෙවීමට සඳුන් තුඩුගල මහතා සම්බන්ධීකරණය කළේය.

දේවසරණ සංවර්ධන කේන්ද්‍රය විසින් වතු අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසු එක් අයකුට පර්චස් 10 බැගින් පවුල් 28 කට ඉඩම් කැබලි ලබාදීමට වතුහිමියන් එකඟ විය. ඒ අනුව ඔවුන්ට ඉඩම් කැබලි බෙදාදීම 2024 ජූලි මස දී සිදුවිය.
ඉඩම් ලැබුණ ද නිවසක් ඉදිකර ගැනීමට තරම් ශක්තියක් ඔවුන්ට නොවීම නිසා තවත් සහයෝගයක් අවශ්‍යව තිබිණි. ඒ අනුව අයිපෙන් සංවිධානයේ මැදිහත්වීමෙන් ඔස්ටේ්‍රලියා පැල්මෙරා ආයතනය මගින් මිලියන 21 ක මුදලක් වියදම් කර අංගසම්පූර්ණ නිවාස 23ක් ඉදිකිරීමට හැකියාව ලැබිණි.
එලෙස ඉදිකරනු ලැබූ නිවාස අයිතිය වතු කම්කරුවන්ගේ සිහිනයක් “ආනන්දපුරම් නමින්” සැබෑවීමට නියමිතය. එහි අදහස නම් සතුටු ගම්මානයයි.
තම තමන්ගේ ගැටලු වෙනුවෙන් ජනතාව අවදි වන්නේ නම් සහ රාජ්‍ය මැදිහත්වීමකින් හෝ විවිධ සංවිධානවල ශක්තියෙන් හෝ ජනසමාජයක් ගොඩනගන්නට හැකියාවක් ඇති බවට හොඳම උදාහරණය බතලගොඩවත්තේ ප්‍රජාවයි.
ඔවුන් ඔවුන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්නට නොබියව කටයුතු කළේය. විටින් විට පැමිණෙන මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරන ලදී. ඒ ගැටලු සමාජගත වීම හරහා රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම විවිධ පුද්ගලයන් සහ තවත් සංවිධාන ගණනාවකගේ අවධානයට ලක්විය.
ඒ ගැටලුව දිගින් දිගටම කතා කළ බතලගොඩවත්තේ කාන්තාවක් වූ අන්තෝනි විජයමලර් කළ අදහස වූයේ,වත්තේ අනිකුත් අය සමග නොයෙක් සංවිධාන සමග සම්බන්ධතා ගොඩනගමින් මේ සටන ඉදිරියට ගෙනයාමට ඉදිරිපත් නොවූයේ නම් මේ සටන පරාජය විය හැකිව තිබුණ බවයි. ඒ වගේම බතලගොඩවත්තේ මේ ජයග්‍රාහී පාඩම අනෙක් වතුවල වතු කම්කරුවන්ගේ තත්ත්වයන් ජග්‍රහණය කිරීමට පූර්වාදර්ශයක් කරගත හැකි බව මලර්ගේ අදහසයි.
ඔවුන් අධිකරණය දක්වා රැගෙන යන්නටත්, අදහස් ප්‍රකාශ කරන්නට තරම් ඔවුන් පිළිබඳ විශ්වාසය සහ ශක්තිය ඇති කිරීමටත්, ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් අහිමිවීමේදී ඒවාට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවත්, සනීපාරක්ෂාව සහිතව ජීවත්වීමට ඇති හිමිකම පිළිබඳවත් දැනුවත් කරන්නට ඒ සඳහා උදව් කරමින් සම්බන්ධීකරණය කිරීමටත් යකල්ල දේවසරණ කේන්ද්‍රය පෙරමුණ ගත්හ. ඊට අමතරව යකල්ල කාන්තා සංවර්ධන පදනම සහ ග්‍රාස් රූටස් ට්‍රස්ට් යන ආයතන මොවුන් ශක්තිමත් කිරීමට, ඔවුන් නායකයින් ලෙස සමාජයේ පෙනී සිටිය හැකි ශක්තිමත් පිරිසක් බවට පත් කිරීමට එම ආයතන මැදිහත් විය.
ඉඩම් කැබලි වෙන්කිරීම සහ ඔප්පු ලබාදීම පිළිබඳව බතලගොඩවත්ත සභාපතිවරයා වන එස්. ඩී. ගාමිණි සඳහන් කළේ, අපිට මේ වෙන්කළ ඉඩම් කැබලිවල ලැයිම් කාමරයෙන් ඉවත්ව ගොස් මාස හයක් ඇතුළත පදිංචි විය යුතුව තිබුණා. ඒත් අපිට එක පාරටම පදිංචි වෙන්න නිවසක් හදා ගැනීමේ හැකියාවක් තිබුණෙ නෑ. මුලින්ම කුඩා පැල්පත් හදාගෙන තිබුණත් ලොකු ගෑනු දරුවන් එක්ක අපිට භූමියේ පදිංචි වෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. මේ වෙලාවේ අපිට භූමියේ අයිතිය ලබාදෙන්න දේවසරණ මධ්‍යස්ථානය ඇතුළු සිවිල් සංවිධාන ලබා දුන්නු සහයෝගයට හිස නමා ආචාර කරනවා. අපි’ බලාපොරොත්තු කුඩාවට හෝ ගෙයක් ඉදිකර ගන්න සහයෝගයක් කවුරුන් හෝ ලබාදේවි යන හැඟීමෙන් ඉද්දි, තමයි සුරේෂ් මහත්තයා ප්‍රමුඛ සංවිධානය අපිට මේ නිවාස ඉදිකර ගන්න සහයෝගය ලබාදුන්නේ. ඒකට ගොඩක් ස්තූතියි.
අවසාන වශයෙන් බතලගොඩවත්තේ වියපත් වූ කාන්තාවක් කියා සිටියේ, අපේ දෙමව්පියනුත් අපිත් වැසිකිළි වෙනුවට කැලේට ගියපු අවස්ථා තිබුණා. අපි තරුණ දරුවනුත් ඒවට මුහුණ දුන්නා. මේ ගැටලුත් එක්ක ගොඩනැගෙන්න බැරි ගැටලු එක්කයි අපි ජීවත් වුණේ.
දරුවෝ හරියට ඉස්කෝලේ ගියේ නෑ. ලොකු ගෑනු දරුවන්ට පිරිසුදුව වැසිකිළි යන්න අවස්ථාවක් තිබුන් නෑ. මේ නිවාස ඉදිකර දීමෙන් පස්සේ ඒ සියලු ගැටලුවලට විසඳුම් ලැබෙනවා. ඒ හින්දා කියන්න තියෙන්නෙ සහයෝගය දුන්නු හැමෝටම ස්තුතියි කියලයි.
චාන්දනී දිසානායක