ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ටසම්පන්න ජාතියක් බවට පත් වූයේ මිහිඳු මහා හිමියන්ගේ වැඩමවීමෙනි. ගස් ගල්වලට වැඳුම් පිදුම් කරමින් ජීවත් වූ ජනතාවට නිවන් මග පසක් කරන උතුම් දහමක් දායාද කරනු ලැබූ අනුබුදු මිහිඳු නාහිමි වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ශ්‍රී ලාංකීය ජන සමාජය ලොව ඇති උතුම්ම දහමින් පෝෂණය වූවා පමණක් නොව සාහිත්‍ය, කලාව, භාෂාව, ශිෂ්ටාචාරය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම දියුණු වෙමින් උතුම්වූ සංස්කෘතියකට උරුමකම් කීමට අපට හැකිවූයේද අදවන් පොහෝ දිනකය.
දේවානම්පියතිස්ස රජතුමා එදවස එනම් පොසොන් පොහෝ දිනයේ අනුරාධපුරේ සිට හතළිස් දහසක පිරිසක් සමග මිහින්තලාවට පැමිණ හුදෙක් සිය විනෝදය පිණිස දඩ කෙළියෙහි නියැළිණ. එහිදී මිස්සක පව්ව ආසන්නයෙන් එක් මුවෙකු පසුපස හඹා යන රජතුමන්ට තිස්ස තිස්ස ඔහොම නවතින්න කියූ මිහිඳු හිමියන්ගේ කාරුණික ආමන්ත්‍රණය දඩකෙළිය වෙනුවට සදහම් ලොවකට කැඳවාගෙන යන ආමන්ත්‍රණයක් වුණා.
“සමනාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා
තමෙව අනුකම්පාය – ජම්බුද්විපා ඉධා ගතා”
මහරජ අප ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු යන්නෙන් දේශනා කළහ.
ලංකා වාසී ජනයා පිළිබඳව අව්‍යාජ අනුකම්පාවකින් දඹදිව සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා ද දේවානම්පියතිස්ස රජතුමාට මුණගැසුනේ මෙම පොහොය දිනයේදීය.
මෙහිදී මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්ස රජතුමා සමග සිදුකළ පළමු කථිකාව ලෝක ඉතිහාසයේ ඉතා ප්‍රබල බුද්ධි සංවාදයක් ලෙස හඳුන්වයි.
“රජතුමනි, මේ අඹ ගස කුමක්ද, ස්වාමීනි එය අඹ ගසකි.”
“මේ ගස හැර තවත් අඹ ගස් වන පෙතේ තිබේද, එසේ ස්වාමීනි තව බොහෝ අඹ ගස් තිබේ.”
“මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර වෙනත් ගස් තිබේද, තිබේ හිමියනි, තව බොහෝ ගස් වර්ග තිබෙයි.”
ඒ අඹ ගසුත් වෙනත් අඹ ගසුත් හැර තවත් ගස් තිබේද, තිබේය ස්වාමීනි ඒ මේ අඹ ගසයි.”
මෙහිදී මිහිඳු හිමියන් රජතුමන්ගේ ඥානය පිළිබඳව සතුටට පත්වුණා. පසුව ඥාතීත්වය පිළිබඳව ද ඒ ආකාරයටම ප්‍රශ්න විමසීය. ඒ සඳහාද රජතුමන් තීක්ෂණ ලෙස පිළිතුරු ලබා දුන්නා. ඒ වෙන කිසිවකට නොව නිර්මල බුදු දහම වටහා ගැනීමට තරම් ප්‍රඥාවක් රජුට තිබේද යන්න දැන ගැනීම අරමුණු ඇතිවය.
අනතුරුව දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු දඩකෙළියෙහි පැමිණි පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේය. මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමද මෙහි ඇති තවත් විශේෂිත්වයකි. මෙය අවසානයේදී මෙයට සහභාගි වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
මෙහිදී බණ අසා දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයකු බවට පත් වුණා. රජතුමා හා දඩ කෙළයෙහි යෙදුණු රජුගේ පිරිස ද මේ අනුව ථෙරවාදී බුදු දහම වැළඳ ගත් පොහොයක් ලෙස පොසොන් පොහොය අපට ඉතා වැදගත්ය.
බෞද්ධයකු බවට පත් වූ දේවානම්පියතිස්ස රජතුමා පසුදා අනුරාධපුරයේ රජ මාලිගාවේදී මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට දානයකට ආරාධනා කළහ. එදින රජ මැඳුරේ දහවල් දානයෙන් පසු විශේෂ මණ්ඩපයක් ඉදිකර ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්විණ.
මෙහිදී “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා සිදු කළහ. එම ධර්මය අවබෝධ කරගත් “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් පලයට පත්ව පසුව අනාගාමී ඵලයට පත් විණ.
පසුව දෙවන දිනයේදී ධර්මය ශ්‍රවණය කිරීමට රට වැසියන් පැමිණියා. රජ මාලිගාවට ඒ සියලු දෙනාට පැමිණීමට නොහැකි වූ බැවින් රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් ධර්ම දේශනය කිරීමට පිළියෙල කෙරිණ. මෙහිදී මිහිඳු මාහිමියන් පැමිණ සිටි රටවැසියන්ට “දේව දූත” සූත්‍රය දේශනා කළහ. එහිදී බණ අසා 1000ක් දෙනා සෝවාන් ඵලයට පැමිණි බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
රජ මාලිගයට නුදුරින් පිහිටි රාජකීය උද්‍යානයක් වන මහමෙව්නා උයනේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දිනපතා බණ දේශනා කළහ. එහිදී ධර්මය ශ්‍රවණය කිරීමෙන් දහසක් පමණ දෙනා සෝවාන් ඵලයට පත් විණ.
තුන්වන දිනයේ දී මිහිඳු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා නන්දන වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළහ. එහිදී දෙදහසක පමණ පිරිසක් ධර්මාවබෝධය ලබා ගත්තා. පසුව බජ්ජහියක සූත්‍රයද සයවන දින ගෝමය පින්ඩිත සූත්‍රය දේශනා කළේය.
මෙලෙස දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබිණ. මෙසේ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇති විණ.
මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමෙන් පසුව දෙවන පෑතිස් රජය දවස ථෙරවාදී බුදු සසුනේ දියුණුව සඳහා විශාල සේවාවක් සිදු කළා. පළමුව රාජ්‍යය ආගම ලෙස බුද්ධාගම තෝරා ගත්තා. මෙතැන් පටන් ලක්දිව ගම් දනව් සිසාරා බුදු දහම ප්‍රමුඛ රාජ්‍යය ආගම වන බවත් මහරජ එම ආගමේ චිරස්ථිතිය සඳහා කටයුතු කරන බවටත් ගිවිස ගත්තා.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, පාත්‍රා ධාතුව, දන්ත ධාතුව මෙන්ම තවත් බොහෝ ධාතූන් වහන්සේලා ලක්බිමට වැඩම කරන්නට පදනම සැකසුනේ පොසොන් පොහොයෙන් පසුවය.
ලක්දිවට බුදු දහම ප්‍රචලිත කිරීම පිණිස වැඩම කළ මිහිඳු හිමියන් හඳුන්වන්නේ අනුබුදු හිමි ලෙසින්ය. ඒ අනුව අනුබුදු හිමියන්ගේ ශාසනික සේවාව නිසා මෙරට නවමු සංස්කෘතියක අඩිතාලම සැකසුණි.
පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවූ සිදුවීම් කිහිපයකි. අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදුවූ බව ශාසනික ඉතිහාසයේ සඳහන් වෙයි.
පොසොන් පොහොය නිමිති කර ගනිමින් දෙස් විදෙස් ජනතාව අනුරාධපුර අටමස්ථානය ඇතුළු මිහින්තලා පුදබිම වන්දනාමාන කරනු ලැබේ. මිහින්තලය වන්දනාමාන කරන ජනතාව මිහිඳු සෑය, අම්බස්තල චෛතය, මහ සෑය, ඇත් වෙහෙර, ඉඳිකටු සෑය, කණ්ඨක චෛත්‍යය, පැරණි රෝහල ඇතුළු සියලු සිද්ධස්ථාන වැඳ පුදාගනු ලබනවා. එසේම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් ඇතුළු අටමස්ථාන විහාරස්ථානයන් වැඳ පුදා ගනිමින් විවිධ ආගමික වතාවත්වල නියැළෙයි.
මිහිඳු නාහිමියන් වැඩම කරවීම බෞද්ධයන් ලෙස අප මහත් හරසරින් යුතුව සමරනු ලබයි. එලෙසම උන්වහන්සේ දේශනා කළ ධර්මය අප සිත් තුළ තබාගෙන කටයුතු කරයි නම් වර්තමානයේ අපට දක්නට අසන්නට ලැබෙන අපරාධ, ඊර්ෂ්‍යාව තණ්හාව සමාජය තුළ දක්නට නොලැබේ. ඒ අනුව අනුමුදු මිහිඳු නාහිමියන් දේශනා කළ උතුම් දහමින් පෝෂණය වූ ශ්‍රී ලාංකීය ජනතාව උන්වහන්සේ දේශනා කළ දහම් මග යමින් මෙලොවත් පරලොවත් හිත සුව පිණිස අපගේ ජීවිත සකසා ගැනීමට අප්‍රමාදව කටයුතු කළ යුතුව තිබේ. එමගින් උන්වහන්සේ දෙසූ දහමින් අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට සියලු දෙනා අරමුණු කර ගත යුතුය.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි