දිනපතා පත්තර දුන්නොත් ඒ හරහා පණිවිඩ ලැබෙනවා
පරණ පත්තර පොත් දෙනවා – රජයේ අධිනීතිඥ
මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නමැත්තාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (28දා) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට ඉදිරිපත් කළේය.
පෙර නඩු දිනයේදී අධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව එකී වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි.
එකී විත්තිකරු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ කැඳවිණි. විත්තිය ඉල්ලා ඇති සියලු ලේඛන මේ වනවිට පැමිණිල්ල විසින් ලබාදී ඇති බැවින් නඩු විභාගය ආරම්භ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා, සිය සේවාදායකයාට කියවීමට අවශ්‍ය පුවත්පත් හා පොත්පත් ලබාදීමට පියවර ගන්නා ලෙසට අධිකරණය විසින් මින් පෙර ද නියෝග කොට ඇතත් එකී නියෝගය ප්‍රකාරව ඔහු භාරව සිටින නිලධාරීන් කටයුතු නොකරන බව අධිකරණයට පැවසීය. එම කරුණු සත්‍යයක් දැයි අධිකරණය විසින් විත්තියේ නීතිඥවරයා මාර්ගයෙන්ම විත්ති කූඩුවේ සිටි විත්තිකරුගෙන් විමසා සිටි අතර තමන්ට මාසයකින් පුවත්පත් කිසිවක් නොලැබුණ බව විත්තිකරු අධිකරණයට පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ අධිනීතිඥවරයා දිනපතා පුවත්පත් ලබාදුනහොත් ඒ හරහා ඔහුට යම් යම් පණිවිඩ හා තොරතුරු ලැබීමේ හැකියාව පවතින බවත් එය ගැටලු සහගත තත්ත්වයක් ඇතිකරන්නක් බවත් අධිකරණයට පැවසීය. කෙසේ වෙතත් පැරණි පුවත්පත් හා නවකතා පොත් ආදිය විත්තිකරුට ලබාදීමට පියවර ගෙන ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පැවසීය.
මීට පෙර අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසිවලට අනුකූව විත්තිකරුට ලබාදිය හැකි දේවල් ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට නියෝග කළේය.
මෙවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් තමාට ද කටයුතු කළ හැක්කේ පවතින නීතිමය සීමාවන්ට යටත්ව බවත් ඉන් ඔබ්බට යම් ඉල්ලීමක් කරන්නේ නම් ඒවා ඉහළ අධිකරණය වෙත යොමු කළ යුතු බවත් විනිසුරුවරයා පැවසීය.
හරක්කටා නමැත්තා අපරාධ පරීක්‍ක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 2023.09.10 වැනිදා ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරිවරයකුට පහරදී පලායෑමට තැත්කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න, දිනේෂ් තරංග හා හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප යන තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක