ජාතික ගමනා ගමන කොමිසම
සියලුම බස් රථ රියැදුරන් ආසන පටි පැලඳීම අද (01දා) සිට අනිවාර්ය කළ ද ඔවුන්ට මතුව ඇති ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබාදීමට මැදිහත්ව කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
රියැදුරන්ගේ මෙන්ම මගීන්ගේ ද ආරක්ෂාව සැලකිල්ලට ගෙන රියැදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්ය කළ බව කොමිසම කියයි. එහිදී ඇති වන ප්‍රායෝගික සහ බාහිර ගැටලු කෙරෙහි අවධානය යොමු කර අමාත්‍යාංශය සහ රජය මට්ටමින් මැදිහත්ව මෙය සිදු කිරීම බලාපොරොත්තුව බවත්, ක්ෂණිකව හිරිහැර වන පරිදි මෙම ක්‍රියාව සිදු නොකරන බවත් ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු, පී. ඒ. චන්ද්‍රපාල මහතා පැවැසීය.
“මාර්ග ආරක්ෂාව පිළිබඳ හොඳ දර්ශකයක් ඇති කර මාර්ගයේ අනාරක්ෂිත තත්ත්වය නිසා රජයට දරන්න වන පිරිවැය පාලනය කිරීම මෙහි අරමුණයි. වත්මන් තත්ත්වය තුළ මාර්ග අනාරක්ෂිතභාවය නිසා දළ ජාතික නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අනතුරු නිසා ඇතිවන උපද්‍රවවලට වැය කිරීමට සිදුව තිබෙනවා. මෙය වළක්වා ගැනීමට රියැදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්ය කිරීමට පියවර ගත්තා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.
සුජීව තත්සර