කොළඹ කොටස් හුවමාරුවේ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (24) දිනයේ වාර්තා විය.
මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 17191.20 ක් දක්වා ඒකක 425.80 කින් ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 5133.90 ක් දක්වා ඒකක 142.72 කින් ඉහළ ගොස් තිබේ.
දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළවල හැසිරීම බොහෝ දුරට එම ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් තිබේ.
මැදපෙරදිග කලාපයේ කටාර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් ගණනාවකටම පෙරේදා (23) රාත්‍රිය වන විට එම උණුසුම දැනෙන්ට වුවත් ඊයේ (24) පෙරවරුව වන විට ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වීමක් ගැන වාර්තා සමග පවතින යුදමය වාතාවරණයේ සමනය වීමක් කෙටි කාලීනව දැකිය හැකිව තිබේ. මෙම වාතාවරණය හමුවේ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම කැපීපෙනෙන ලෙස ඊයේ දිනයේ දී ඉහළ යන ස්වභාවයක් වාර්තා වී තිබේ.
රු. බිලියන 5.20 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනය තුළ වාර්තා විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත