නයිජීරියාව යනු කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා ලෝකයේ ඇති භයානකම රටයි. 2023 සංඛ්‍යා දත්ත මගින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ නවතම ඇස්තමේන්තුවලට අනුව, එරට කාන්තාවන් 100 දෙනකුගෙන් එක් අයකු දරු ප්‍රසූතියේදී හෝ ඉන් පසුව එළඹෙන ආසන්න දිනවලදී මිය යයි.
එම තත්ත්වය නම් කිසිදු රටක් විසින් අභිභවා යෑමට කැමැත්තක් නොදක්වන වගුවක නයිජීරියාව ඉහළින් ම රඳවා තැබීමයි.
2023 වසරේදී ලොව පුරා සිදු වූ සියලු මාතෘ මරණවලින් හතරෙන් එකකට වඩා, එනම් 29%ක් නයිජීරියාවෙන් වාර්තා විය.
දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය (පශ්චාත් ප්‍රසව රක්තපාතය ලෙස හඳුන්වන තත්ත්වය) වැනි වළක්වා ගත හැකි තත්ත්වයන්ගෙන් සිදුවන මරණ සංඛ්‍යාව විශාල වීම බොහෝ දෙනකු කලකිරීමට පත් වන කරුණක් වී තිබේ. මීට වසර පහකට පෙර ගිනිකොනදිග කලාපයේ ඔනිට්ෂා නගරයේ රෝහලකදී රුධිරය වහනය වීමෙන් මිය යන විට චිනෙන්යේ නුවේස් 36 හැවිරිදි වියේ පසුවූවාය. “වෛද්‍යවරුන්ට ලේ ඕන වුණා,” ඇයගේ සහෝදරයා වන හෙන්රි එඩේ සිය මතකය අවදි කරමින් පවසයි. “ඒගොල්ලෝ එහා මෙහා දුවමින් හිටියා. මගේ සහෝදරිය සහ මගේ මිතුරිය අහිමි වුණා, මේ වගේ දෙයක් සතුරෙකුටවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නෑ. මේ වේදනාව දරාගන්න බැහැ.” දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ සඳහා බලපාන අනෙකුත් පොදු හේතූන් අතරට ප්‍රසූත මාර්ගයේ සිදුවන අවහිරතා, අධි රුධිර පීඩනය සහ අනාරක්ෂිත ගබ්සා කිරීම් අයත් වේ.