මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ සම්පූර්ණ ජයක්
කිසිවකු තමා සිදු කිරීමට යන්නේ කුමක්දැයි නොදන්නා බව පවසමින් තමා ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානාවලට නියෝග කරනවාද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පවසා තිබේ. ඉරානය ටෙහෙරාන් අගනුවර පවත්වාගෙන යන සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා සිය නියෝජිතයන් පිරිසක් ධවල මන්දිරය වෙත එවීමට සැරසුණු බවත් ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරයන් නැවත්වීම එහි අරමුණ වී තිබූ බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ. “ඉරානය ධවල මන්දිරයට සාකච්ඡා සඳහා නියෝජිතයන් පිරිසක් එවීමට තැත් කළ අවස්ථාවේදී දැන් ඒ සඳහා බොහෝ ප්‍රමාද වැඩි බව මා ඔවුන්ට පැවසුවා. එහෙත් අපට ඇතැම් විට මුණගැසී සාකච්ඡා කළ හැකි බව ඔවුන්ට පැවසුවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර ජනාධිපති ට්‍රම්ප් දැනටමත් ඉරානයට පහර දීමේ ඇමෙරිකානු සැලැස්මට අනුමැතිය ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව බීබීසී ප්‍රවෘත්ති සේවය විසින් ඊයේ වාර්තා කර තිබිණි.
කෙසේ වුවද දැනටත් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරීම සඳහා ඉරානයට කල් ඇති බව සඳහන් කර ඇති ජනාධිපති ට්‍රම්ප් සතියකට පෙර පැවති තත්ත්වයට වඩා දැන් පවතින තත්ත්වය වෙනස් බවත්, දැන් තමාට අවශ්‍යව ඇත්තේ සටන් විරාමයක් නොව සම්පූර්ණ ජයග්‍රහණයක් බව අවධාරණය කර තිබේ. මේ අතර සිය “ට්රුත් සෝෂල්” සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘ඇමෙරිකාව ඉරානයේ උත්තරීතර නායකයා බව කියන අයතුල්ලා අලි කුමේණි සැඟව සිටින ස්ථානය හොඳින් දන්නා බවත් ඔහු දැනට එම ස්ථානයේ ආරක්ෂිතව සිටින බවයි’ ඉරානය සිය රටට බොහෝ වතාවක් තර්ජනය කර ඇති බවත් ලබන සතිය ඉතාමත් වැදගත් සතියක් වනු ඇති බවද ජනාධිපතිවරයා පවසා තිබේ. තමා ඉරානයට පහර දීම සඳහා බෝම්බ ප්‍රහාරක යානාවලට අණ කිරීමට හෝ අණ නොකිරීමට ඉඩ ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.