අත පය තලා දමන තරම් දැඩි වේදනාවක් ගෙන දෙන වෛරස් රෝග ගණනාවක් තිබුණ ද එක් වරක් හෝ ඩෙංගි හෝ චිකුන්ගුන්‍යා වැළඳුණු කෙනකුට කියවෙන්නේ “අම්මෝ ඩෙංගි, චිකුන්ගුන්‍යා තරම් ඇට කැඩෙන්න තරම් වේදනාවක් දැනෙන වෙන රෝගයක් නැහැ” කියායි. විශේෂයෙන් මේ දෙකෙනුත් චිකුන්ගුන්‍යාවලට ලැබෙන්නේ මුල් තැනකි. ශ්‍රී ලංකාවෙන් මුල්ම චිකුන්ගුන්‍යා රෝගියා වාර්තා වන්නේ හැටේ දශකයේ මුලදීය.
කාලයෙන් කාලයට රෝගීන් වාර්තා වුව ද එය ඇතැම් වසරවල සැළකිය යුතු මට්ටමින් ඉහළ යයි.
මෙවර පැතිරෙන්නේ අලුත්ම ප්‍රභේදයක්
වත්මනේ ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවී පවතින ප්‍රභේදය වෙනස් වී ඇති බව වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරන්නීය. ඩෙංගි ඇති කරන ඊඩ්ස් ඊජිප්ටා මුදුරු වර්ගයෙන් මෙවර පැතිරෙන චිකුන්ගුන්‍යා ප්‍රභේදය වැළඳේ. ඩෙංගිවලදී මෙන්ම මෙහිදී ද මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටීම වැදගත් ය. මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම රෝග දෙකින්ම වැළකී සිටීමට වැදගත්වේ. සිකා වෛරසය ද වැළඳෙන්නේ ඩෙංගි, චිකුන්ගුන්‍යා ඇති කරන මදුරුවාගෙන් මය.
රෝගයේ අධි අවදානම් කලාප වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩවත, ගොතටුව, බත්තරමුල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලය. මේ වන විට ලංකාවේ පැතිරෙන රෝග පිළිබඳ ලොවේම අවධානය යොමුවී පවතී. දැනටමත් ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යය ලංකාවේ අවදානම පිළිබඳව සිය වැසියන් දැනුවත් කර අවසන්ය.
රෝග ලක්ෂණ මොනවාද ?
ඩෙංගි සහ චිකුන්ගුන්‍යා දෙකම ව්‍යාප්ත වන කාලයක චිකුන්ගුන්‍යා රෝග ලකුණු වෙනම හඳුනා ගැනීම වැදගත්ය. මේ රෝග තත්ත්ව දෙකේදීම මුල් අවස්ථාවේදී අධික උණ, අතපය වේදනාව (විශේෂයෙන් හන්දි සහ මාංශ පේශීන්වල), හිසේ වේදනාව, වමනය වැනි රෝග ලකුණු ඇතිවේ. එහෙත් දින කිහිපයක් යන විට චිකුන්ගුන්‍යා රෝගයේදී බරපතළ ලෙස සන්ධිවල (උරහිස්, දණහිස්, වැළමිටි) සහ මාංශපේශීන්වල වේදනාවක් දැනෙයි.
කලාතුරකින් නිදන්ගත ආතරයිටිස් තත්ත්වයට ද ගොදුරු වීමට පුළුවන. මාංශපේශි වේදනාව ඉතා දරුණු ලෙස දැනෙයි. දවස් කීපයකට පසු හමේ පැහැදිළිව පලු දැමීමක් (රෑෂ්) දැකිය හැකියි. එදිනෙදා වැඩ කර ගැනීමට බැරි තරම් සිරුරට දුබල වෙයි. දින කිහිපයකදී නැඟිටීමට, ඇවිදීමට පවා අසීරුවේ. කෑම අරුචිය ඇතිවේ. වමනය පිටවේ. බිබිලි සිරුර පුරාම පැතිරෙන අතර වැඩිපුරම මුහුණ පුරා රතු පැහැ බිබිලි දකින්නට ලැබේ. නාසය ද අධික රත් පැහැයක් ගනී. ටික දිනකින් රතු පැහැ බිබිලි දුර්වර්ණ වන අතර ඇතැම් විට කසනසුළු බවක් ද දැනෙයි. චිකුන්ගුන්‍යා රෝග ලකුණු සති කීපයක්, මාස කීපයක් පැවතිය හැකිය. උණ නැතත් රෝගියාට සන්ධිවල, පේශිවල ඇතිවන අධික වේදනාව, සිරුරේ දුබලබව, එදිනෙදා වැඩ කිරීමට නොහැකි වීම යන ලකුණු කලක් පුරා පවතී.
චිකුන්ගුන්‍යා වැළඳුණු කෙනකුගෙන් තවත් අයකුට රෝගය බෝවන්නේ නැත. රෝගය වැළඳෙන්නේ වෛරසය ශරීරගතවුණු මදුරුවාගෙන්ම පමණි. මදුරුවන් බෝවන තැන් නැති කිරීම රෝගය මැඬලීමේදී වැදගත් වන්නේ එබැවිනි.
දරුවන්ට බලපෑම වැඩියි
ඕනෑම රෝගයක් දුරුණුව බලපෑමට හැක්කේ දරුවන්ටය. වැඩිහිටියන්ටත් දරුවන්ටත් රෝගය මුල් අවස්ථාවේදී දරුණුවට බලනොපාන නමුත් දින කිහිපයකට පසු රෝගය දරුණු වීමට ඉඩ තිබේ. වෛරසය ශරීරගත වුණ ද සමහර දරුවන්ට රෝගය බලනොපායි. තවත් දරුවන්ට සුළු වශයෙන් රෝග ලකුණු ඇතිවේ. තවත් දරුවන්ට වෛරසය දරුණු ලෙසින් බලපායි.
කලාතුරකින් ඉතා කුඩා දරුවන්ට ස්නායු සංකූලතා ඇති වීමට ද මෙමඟින් මුල පිරෙයි. එන්සෙෆලයිටිස් තත්ත්වය දක්වා රෝගය බරපතළ වීමට පුළුවන. චිකුන්ගුන්‍යා වැළඳී සිටින දරුවකු නිදිමත ගතියෙන්, ව්‍යාකූල බවින් සිටිනවා නම් දෙපා අප්‍රාණික නම් මේ තත්ත්වයට පත්වී ඇතැයි සැක කළ හැකිය.
වෛරසය මොළයට ගිය විට මෙනින්ජයිටිස් සෑදිය හැකි සේම අක්මාවට බලපා හෙපටයිටිස්, හෘද ආසාදනයන්, පෙණහලුවලට බලපා නියුමෝනියා වැනි තත්ත්වයන් ද ඇති විය හැකියි.
විශේෂ රුධිර පරීක්ෂණයකින් චිකුන්ගුන්‍යාවලට එරෙහි ප්‍රතිදේහ (IgM and IgG) ඇත්දැයි කියා තහවුරු කර ගැනීමට පුළුවන. ඊට අමතරව පීසීආර් පරීක්ෂණය ද (PCR testing) මේ සඳහා යොදා ගනී.
චිකුන්ගුන්‍යා සඳහා විශේෂ ප්‍රතිකාරයක් නැත. ඇඳ විවේකයත්, විජලනයට පත් නොවී තබා ගැනීමත්, පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය නිර්දේශය පරිදි ලබා දීමත් ඉතා වැදගත්ය. ඇස්ප්‍රීන් වැනි ඖෂධ කිසි විටකත් ලබා නොදිය යුතුය.
බොහෝවිට බරපතළ ගැටලුවක් මතු නොවී වැඩි දෙනෙක් සුවය ලබති.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බී. ජේ. සී. පෙරේරා විසින් සිලෝන් මෙඩිකල් ජර්නලයට සැපයූ කරුණු ඇසුරිනි.
සී. ඩී. කුලසිංහ