බොහෝ ඉතිහාසඥයන්, ලේඛකයන්, දේශකයන් කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා කුමරිය දකින්නේ තවත් කුවේණියක් ලෙසය. ඔවුන්ගේ ආකල්පය වී තිබෙන්නේ බලලෝභි පුරුෂාදිපත්‍යයට නතුවීම නිසා කුවේණියට මෙන්ම කුසුමාසන දේවියටත් බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට සිදුවූ බවය. එමෙන්ම විමලධර්මසූරිය රජු පිළිබඳව ද කතා කරන බොහෝදෙනාගේ අදහස වී තිබෙන්නේ රජකම ලබාගැනීම සඳහා එම රජු කුසුමාසන දේවිය විවාහ කරගත් බවය.
එම ආකල්පවලින් බැහැරව කුසුමාසන දේවිය මෙන්ම විමලධර්මසූරිය රජු දෙස ද නැවුම් ආකාරයකින් බලන සිනමා පටයක් පසුගිය දා අපට දැකබලා ගතහැකි විය. ඒ ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු ද වන ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දේවි කුසුමාසනය’.
ඉහතින් සඳහන් කළ ඉතිහාසඥයන් ඇතුළු පිරිසේ අදහස වී තිබෙන්නේ කුසුමාසන දේවිය පේදුරු ලෝපැස් ද සෝසගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි හමුදාව සහ ලස්කිරිඤා හමුදාව සමග සෙංකඩගල (මහනුවර) ප්‍රදේශයට ගමන් කිරීමෙන් අනතුරුව කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය රජුගේ හමුදාව විසින් පරාජයට පත්කිරීමෙන් පසු කුසුමාසන දේවිය කොනප්පු බණ්ඩාරගේ ග්‍රහණයට හසු වූ බවයි. ඉන් අනතුරුව කොනප්පු බණ්ඩාර විසින් රජකම ලබාගැනීමේ චේතනාව ඇතිව පමණක් කුසුමාසන දේවිය විවාහ කරගත් බවත් එම ඉතිහාසඥයන් පවසති.
එහෙත් ජයන්ත චන්ද්‍රසිරි මහතා සිය නිර්මාණය මගින් නිරූපණය කර ඇත්තේ කුසුමාසන දේවියගේ පියා වූ කරලියද්දේ බණ්ඩාර සෙංකඩගල ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා ලෙස කටයුතු කළ සමයේදී පවා කුසුමාසන දේවිය සහ කොනප්පු බණ්ඩාර ප්‍රේමයෙන් වෙළී සිටිය බවයි. එවකට මෙරට පාලකයා ලෙස කටයුතු කළ සීතාවක රාජසිංහ විසින් කරලියද්දේ බණ්ඩාර බලයෙන් නෙරපා හරින්නේ ද කුසුමාසන දේවිය සහ කොනප්පු බණ්ඩාර ප්‍රේමයෙන් වෙළී සිටි රාත්‍රියකදීය. සමහර ඉතිහාස පොත්වල සඳහන් වී තිබෙන ආකාරයට කොනප්පු බණ්ඩාර පෘතුගීසින් සමග එක්වී කතෝලික ආගම වැළඳගෙන එරික්ත්‍රියාවේ දොන් ජෝන් යනුවෙන් නම පවා වෙනස් කරගෙන සිටි සමයේදී පෘතුගීසි ජාතික කාන්තාවක් සමග විවාහ වී සිට ඇත.
මෙම චිත්‍රපටයේ රූමත් පෙනුමැති පෘතුගීසි තරුණියක් කොනප්පු බණ්ඩාර තම වසඟයට ගෙන විවාහ කරගැනීමට උත්සාහ කළත් කොනප්පු බණ්ඩාර එම උත්සාහය ප්‍රතික්ෂේප කරන්නේ කෝපයෙන් යුතුවය. ඒ අන් සෑම දෙයකටම වඩා කුසුමාසන දේවිය හේතුවෙන් බව සිනමා නිර්මාණය තුළින් පිළිබිඹු වේ. ඒ තුළින් කොනප්පු බණ්ඩාර පෘතුගීසි කාන්තාවතක් සමග විවාහ වී සිටි බවට පවතින මතය ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් බැහැර කරන බව පැහැදිලිය.
කෙසේ වුවත් කුසුමාසන දේවිය සහ කොනප්පු බණ්ඩාර අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට ජයන්ත චන්ද්‍රසිරි මහතා ඉදිරිපත් කර ඇති මතය පහසුවෙන් බැර කළ නොහැකි බව පැහැදිලිය. මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ‘රෝහිණී’ නවකතාව රචනා කර ඇත්තේ දුටුගැමුණු රජ දවස පසුබිම් කොටගෙනය. එම නවකතාවේ එන ‘අතුල’ නමැති ප්‍රධාන චරිතය වික්‍රමසිංහ මහතාගේ නිර්මාණයකි. නමුත් කුසුමාසන දේවිය සහ කොනප්පු බණ්ඩාර අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට ජයන්ත චන්ද්‍රසිරි මහතා ඉදිරිපත් කරන තර්කය සහේතුක බව පැවසිය හැක්කේ එවකට කුඩා ප්‍රදේශයකට සීමා වී පැවති බව විශ්වාස කළ හැකි සෙංකඩගල ප්‍රාදේශීය රාජ්‍යයේ ප්‍රභූ පවුල් දෙකක තරුණියක සහ තරුණයකු දැන හඳුනාගෙන සිටීමට සහ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් පැවතීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි බැවිනි.
කොනප්පු බණ්ඩාර සෙංකඩගල ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමෙන් පසුව ප්‍රසිද්ධියේ කතෝලික ආගම අතහැර යළි බෞද්ධයකු බවට පත්වී ඇත. නමුත් කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා යළි සෙංකඩගල රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව පෘතුගීසීන්ගේ ග්‍රහණයෙන් නිදහස් වුවත් අවසන් මොහොත දක්වාම කතෝලික ආගම ඇදහූ බව සඳහන් වේ. එය එසේ වූයේ ඇයි ද යන කාරණය සාකච්ඡාවට බඳුන් වී ඇත. සමහරුන්ගේ මතය වී ඇත්තේ කුඩා දැරිවියක් ලෙස සිටි සමයේදී ඇය කතෝලික ආගම ඇදහූ පෘතුගීසීන්ගේ ග්‍රහණයට හසුවීම ඒ සඳහා හේතු විය හැකි බවයි. ඓතිහාසික තොරතුරු අනුව කුසුමාසන දේවිය මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 36 දී පමණය. ඒ අනුව නම් ඇය පෘතුගීසි ග්‍රහණයට හසු වනවිට එතරම්ම කුඩා දැරිවියක විය නොහැකි බව පැහැදිලිය. මෙම චිත්‍රපටයේ පෘතුගීසීන්ගේ ග්‍රහණයට හසු වූ අවස්ථාවේ සිට විමලධර්මසූරිය රජු සමග විවාහ වන අවස්ථාව දක්වා කුසුමාසන දේවියගේ චරිතය නිරූපණය කරන්නේ උදාරි වර්ණකුලසූරිය විසිනි. එම කාල සීමාව තුළ කුසුමාසන දේවිය බාහිර ස්වරූපයෙන් වෙනස් වන බවත් චිත්‍රපටය තුළින් නිරූපණය නොවේ. ඒ තුළින් කුසුමාසන දේවිය පෘතුගීසි ග්‍රහණයට හසුවූ අවස්ථාවේ සිට විමලධර්මසූරිය රජු සමග විවාහ වූ අවස්ථාව දක්වා වූ කාලය ශාරීරික වශයෙන් බාහිර ස්වරූපය වෙනස් වීමට තරම් කාලයක් ගතවී නොමැති බව නිරූපණය වේ. ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ කුසුමාසන දේවිය කතෝලික ආගම වැළඳගත් අවස්ථාව වනවිට ඇය කුඩා දැරිවියක නොවූ බවක් දැනුම් තේරුම් ඇති වයසේ පසුවූ තරුණියක් වූ බවයි. එම වයසේ පසුවන තරුණියකගේ ආගම වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය. එම සියලු සාධකයන්ට අනුව ජයගත් චන්ද්‍රසිරි මහතා ඉතිහාසඥයන්ටත් වඩා සියුම්ව එම ගැටලුව නිරීක්‍ෂණය කර කුසුමාසන දේවිය කතෝලික ආගම අත්නොහැරියේ ඇයිද යන ඓතිහාසික ගැටලුවට සිනමාරූපීව විසඳුමක් ලබාදී ඇති ආකාරය අපූරුය.

බොහෝ ඉතිහාසඥයන් කුසුමාසන දේවියත් තවත් කුවේණියක මෙන් දැක්කත් එය ඓතිහාසික ගැටලුවකි. රාජ්‍ය බලය ලබාගැනීම සඳහා විජයට කුවේණියගේ සහයෝගය ලැබුණත්, කොනප්පු බණ්ඩාරට බලය අල්ලා ගැනීම සඳහා කුසුමාසන දේවියගෙන් ලැබුණු සහයෝගයක් නොමැත. අපගේ 156 දෙනකුගෙන් පමණ සමන්විත වූ රාජ නාමාවලිය පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ, රාජ්‍ය උරුමය පියාගෙන් පුතාට සහ සහෝදරයාගෙන් සහෝදරයාට උරුම වී ඇති බවයි. අපගේ සම්ප්‍රදාය එය වුවත් සමහර රජවරුන්ට රාජ්‍ය උරුමය ලැබුණු ආකාරය ගැටලු සහගත වේ. ඒ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ සොලී ආක්‍රමණිකයන්ගෙන් රට මුදාගත් ෂ වන විජයබාහු රජුය.
එසේ වුවද කොනප්පු බණ්ඩාරට රජ වීම සඳහා පැහැදිලි උරුමයක් තිබූ බව පැහැදිලිය. ඒ ඔහුගේ පියා වූ වීරසුන්දර මුදලි සිහසුනට උරුමකම් කිවූ තීරවැල්ලේ පරම්පරාවේ සාමාජිකයකු වූ බැවිනි. සීතාවක රාජසිංහ රජු විසින් වීරසුන්දර මුදලි බොරු වළක දමා ඝාතනය කරන ලද්දේද එම හේතුව නිසා බව පැවසේ.
සැබැවින්ම පේදුරු ලෝපැස් ද සෝසා නම් පෘතුගීසි සේනාධිපති මුළු ලංකාවම පෘතුගීසි ග්‍රහණයට ගැනීමේ චේතනාව ඇතිව කුසුමාසන දේවිය ද සමග සෙංකඩගල බලා ගමන් ආරම්භ කිරීමටත් පෙරම, කොනප්පු බණ්ඩාර භෞතීස්ම කිරීමේදී පෘතුගීසින් විසින් ලබාදුන් එරිත්‍රියාවේ දොන් ජෝන් යන නාමය සහ කතෝලික ආගම ප්‍රසිද්ධියේ අතහැර බුද්ධාගම වැළඳගෙන විමලධර්මසූරිය යන නමින් රාජ්‍යත්වයට පත් වී තිබුණි. ලෝපැස් ද සෝසා සෙංකඩගල රාජධානිය අත්පත් කර ගැනීමේ සටනින් පරාජය වීමත් සමගම කුසුමාසන දේවිය, විමලධර්මසූරිය රජුගේ භාරයට පත්වෙන්නේ නිතැතිනි. ඒ අනුව විජය රජු විසින් කුවේණියට කළ අසාධාරණය බඳු අසාධාරණයක් විමලධර්මසූරිය රජු විසින් කුසුමාසන දේවියට කළ බවට පවතින මතයක්, කුසුමාසන දේවියගේ පිහිටෙන් විමලධර්මසූරිය රජ වූ බවට පවතින සාවද්‍ය මතයක් බිඳ දැමීම සඳහා ජයන්ත චන්ද්‍රසිරි මහතා ඉතිහාසය සිනමා කරණයට ලක්කර ඇති ආකාරය අපූරුය.
ඒ අනුව බැලූ කල මෙම සිනමා නිර්මාණය තුළින් විමලධර්මසූරිය රජු විසින් කුසුමාසන දේවිය තවත් කුවේණියන් බවට පත් කළ බවට පවතින සාවද්‍ය මතය බිඳ වැටී ඇති අතර, ඉතිහාසයේ සැඟවී ගිය ප්‍රේම කතාවක් යළි කරළියට ගෙන ඇත. කුසුමාසන දේවිය පිළිබඳ කතාව බොහෝ දෙනකු ශෝකාන්තයක් ලෙස දැක්කත්, ජයන්ත චන්ද්‍රසිරි මහතා එම කතාව දැක ඇත්තේ සුඛාන්තයක් ලෙසය. සැබැවින්ම මෙම සිනමාපටය කුසුමාසන දේවියගේ සහ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරියගේ ප්‍රේම කතාව ලෙස හැඳින්වුවත් එහි ඇති වරදක් නොමැත. ඒ අනුව ගාමිණි -රන්මැණිකා, සාලිය අශෝකමාලා යන ප්‍රේම කතා අතරට තවත් ප්‍රේම කතාවක් එක් වී ඇත.
මෙම සිනමාපටය සඳහා ඉතිහාසයේ ඉතා සංකීර්ණ කාලපරිච්ඡේදයක් සහ එම ඉතිහාසයේ සඳහන් වන සංකීර්ණ චරිත දෙකක් වන ෂ වන විමලධර්මසූරිය සහ කුසුමාසන දේවිය යන චරිත දෙකම පදනම් වී ඇත. එසේම කාලපරිච්ඡේදය නියෝජනය කළ තවත් බොහෝ චරිත සඳහා සාධාරණ කාලයක් මෙම සිනමාපටය තුළ වෙන් වී ඇතත් එම කාලය නියෝජනය කළ මඟහැරිය නොහැකි තවත් චරිතයක් වූ දෙවනගල රතනාලංකාර හිමියන්ගේ චරිතය සඳහා සාධාරණ කාලයක් වෙන්නොවූයේ ඇයිද යන්න නම් ගැටලුවකි.
ඓතිහාසික වීර චරිත පසුබිම් කොට ගෙන කරන සිනමා නිර්මාණ උදාන වාක්‍ය සටන් පාඨවලින් තොර වන්නේ නම් නැත. නමුත් මෙම සිනමාපටයේ එබඳු වාක්‍ය හෝ සටන් පාඨ සුලබ වන්නේ නැත. නමුත් හැඟීම් බර දෙබස් සහ නළු නිළියන්ගේ රංගනය තුළින් එම අභියෝගය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා ජයගෙන ඇති බව නම් මෙහිදී සඳහන් කළ යුතුවම ඇත.
ඓතිහාසික චරිත කතා කියවනවිට, ඔවුන් සැබැවින්ම කෙසේ වන්නට ඇත්ද යන පැනය අප හදවත් තුළ පැන නඟින්නේ නිතැතිනි. සැබැවින්ම විමලධර්මසූරිය රජුගේ කුසුමාසන දේවියගේ පේදුරු ලෝපේස් ද සෝසා විජේසුන්දර මුදලිගේ කරළියද්දේ බණ්ඩාරගේ ස්වරූපය කෙසේ වන්න ඇත්ද? එම චරිතවලට පණපෙවූ හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, ඇතුළු නළු නිළි කැළ එම චරිත ජීවමාන කර ඇත.
එරික් ගාමිණි ජිනප්‍රිය