බුද්ධගයාව බෞද්ධයින්ගේ පාලනයට පවරන්නැයි උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය. බෞද්ධ ප්‍රජාව ඉල්ලා සිටින්නේ 1949 බුද්ධගයා විහාර පනත අවලංගු කරන ලෙසත්, එම විහාරය සම්පූර්ණ බෞද්ධ පාලනයකට නතුකරන ලෙසත්, බෞද්ධ ආගමික කටයුතුවලට රාජ්‍ය මැදිහත්වීම් අවසන් කරන ලෙසත්ය. කෙසේ වෙතත් බුද්ධගයාව සම්පූර්ණ බෞද්ධ පාලනයකට ලක්කරන ලෙස ඉල්ලීමේ ව්‍යාපාරයේ වසර 100ක ඉතිහාසය
ගැන දන්නේ ස්වල්ප දෙනෙක් පමණි. සමස්ත ඉන්දීය බෞද්ධ සංසදයට සම්බන්ධ ධර්ම දේශකයකු වන අශිෂ් බරුවා පවසන්නේ “මහාබෝධි මහා විහාරය බෞද්ධයන්ට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපාරය මුලින්ම නීත්‍යානුකූලව සහ ගෝලීය වශයෙන් ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල විසිනි. මෙම ගැටලුව මහත්මා ගාන්ධි වෙත ඉදිරිපත් කළ විට, ඉන්දියාවේ නිදහසින් පසු මහාබෝධි මහා විහාරය බෞද්ධයන්ට භාර දෙන බවට ඔහු සහතික විය. කෙසේ වෙතත්, නිදහසින් දශක ගණනාවක් ගත වුවද, එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණය සඳහා අරගලය ගෝලීය වශයෙන් දිගටම පවතී.
1942 දී, ගයා හි පැවති සමස්ත ඉන්දීය කොංග්‍රස් රැස්වීමකදී, ප්‍රමුඛ විද්වතකු සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජිකයකු වූ රාහුල් සංකෘත්‍යයන්, මහාබෝධි මහා විහාරය නිදහස් කරන ලෙස විධිමත් ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, කොංග්‍රස් නායකයින් එම ඉල්ලීම නොසලකා හැරිය අතර, ඊට විරෝධය පළ කරමින් සංකෘත්‍යයන් සමස්ත ඉන්දීය කොංග්‍රස් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙළඹුණි. මෙම ගැටලුව මහත්මා ගාන්ධි වෙත ගෙන ආ විට, ඉන්දියාවේ නිදහසින් පසු මහා විහාරය බෞද්ධයන්ට භාර දෙන බවට ඔහු සහතික විය. “පළමුව ඉන්දියාවට නිදහස ලබා ගැනීමට ඉඩ දෙන්න, පසුව අපි බලමු,” ගාන්ධි පැවසීය. මෙම සහතිකය බෞද්ධයන්ට බලාපොරොත්තුවක් ලබා දුන් නමුත්, එය දශක ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ අතර, එම ගැටලුව පුස්කෑමට ලක්විය.
1891 දී අනගාරික ධර්මපාල, ඔහුගේ ජපන් මිතුරකු වූ භික්ෂු කොජුන් භික්ෂුව සමග බුද්ධගයාවට ගියේය. ධර්මපාලතුමා බුද්ධගයාවේදී දුටු දේ ඔහු දැඩි ලෙස කම්පනයට පත් කළේය. එදා බුද්ධගයාව හින්දු කෝවිලක් වී තිබිණි. 1893 දී, ධර්මපාලතුමා චිකාගෝ හි පැවති ලෝක ආගමික පාර්ලිමේන්තුවේදී බුද්ධාගම පිළිබඳ උද්යෝගිමත් කතාවක් පැවැත්වූ අතර, බුද්ධිමතුන් ආකර්ෂණය කර ගනිමින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගත්තේය. ඉන්දියාවේ එතරම් සහයෝගයක් නොතිබූ ඔහු, සහයෝගය රැස් කිරීම සඳහා ජපානය, චීනය, කොරියාව, එංගලන්තය, ජර්මනිය, තායිලන්තය, බුරුමය සහ ඇමරිකාව යන රටවලට පුළුල් ලෙස සංචාරය කළේය. 1895 දී ධර්මපාලතුමා ජපන් බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන ලද බුද්ධ ප්‍රතිමාවක් බුද්ධගයාවේ ස්ථාපනය කිරීමට උත්සාහ කළේය. හින්දුමහන්තාවරු එම පියවරට ප්‍රචණ්ඩ ලෙස විරුද්ධ වූ අතර ධර්මපාලතුමාට සහ ඔහුගේ ආධාරකරුවන්ට පහර දුන්හ. මෙය බුද්ධගයා නඩුවට මඟ පෑදූ අතර, එය මුලින් බෞද්ධයන්ට පක්ෂව තීන්දුවක් ලබා දුන් නීතිමය සටනකි. මහා විහාරය කෙරෙහි බෞද්ධ අයිතිවාසිකම් පිළිගනිමින් මහාධිකරණය පවා එම තීරණය තහවුරු කළේය. කෙසේ වෙතත්, ජපන් බෞද්ධ බැතිමතුන් මහා විහාරය අසල විවේකාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ජපන්-ඉන්දියානු සංගමය ආරම්භ කළ විට අරගලය නරක අතට හැරුණි. බි්‍රතාන්‍ය රජය මෙය කුමන්ත්‍රණයක් ලෙස සලකමින් සියලුම බෞද්ධයන් බුද්ධගයාවෙන් නෙරපා හැරීමට කටයුතු කර තිබිණි. බි්‍රතාන්‍ය පාලකයින් මහන්තාට සහාය දුන් අතර, බෞද්ධයන් බුද්ධගයාවෙන් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. 1933 දී ජවහර්ලාල් නේරු, ඔහුගේ බිරිඳ, සහෝදරියන් සහ දියණිය ඉන්දිරා සමග සාරානාත් විහාරයට ගියේය. 1933 අප්‍රේල් 29 වන දින ධර්මපාල භික්ෂුව අපවත් වූයේ සදාකාලික උරුමයක් ඉතිරි කරමිනි. එතුමාගේ අවසාන ආශාව ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කළේය: “බුද්ධ ඉගැන්වීම් දිගටම ප්‍රචාරය කිරීම සඳහා මම විසිපස් වතාවක් ඉන්දියාවේ උපත ලබමි.”
මේ ඉතිහාසය සිහිකරන්නේ අනගාරික ධර්මපාලතුමාට එරෙහිව හින්දු අන්තවාදීන් වැරදි ප්‍රචාර යවන නිසාය. ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේ අයිතිය සම්බන්ධව බෞද්ධ – හින්දු ප්‍රශ්නය ඇති කළේ අනගාරික ධර්මපාලතුමා බව දැඩි හින්දු ජාතිකවාදී ඉන්දීය පුවත් අඩවියක් කියා සිටියේ පසුගිය සතියේය.
මේ සම්බන්ධව විනාඩි හයක වාර්තාවක් ද Opindia යූටියුබ් නාලිකාවේ විකාශය කර තිබේ. එම වාර්තාව Mahabodhi Temple Dispute | Neo- Buddhists vs Hindus යනුවෙන් රිතිකා චන්දොලා නම් මාධ්‍යවේදිනිය විසින් එය ඉදිරිපත් කර තිබිණි. මෙහි අනගාරික ධර්මපාලතුමාගේ පියා එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා ක්‍රිස්තියානි පුද්ගලයකු ලෙසට වැරදි තොරතුරු ද අඩංගුව තිබේ. මෙම වාර්තාව කෙළින්ම අනගාරික ධර්මපාලතුමාට නිග්‍රහ කිරීමට සැකසී තිබේ. හින්දි භාෂාවෙන් මෙම යූටියුබ් වාර්තාව ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව කෙටියෙන් මෙවැනි අදහසක් කියයි. බුද්ධගයා හි මහාබෝධි විහාරය පිහිටා ඇත්තේ හින්දු භක්තිකයන් සියවස් ගණනාවක් තිස්සේ ශිව ලිංගයක් වන්දනාමාන කළ පූජනීය භූමියක වන අතර, සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වයට පත් වී බුදුන් බවට පත් වූයේ එම භූමියම වේ. 1949 බුද්ධගයා විහාර පනත බලාත්මක කිරීමෙන් පසුව, පාලනය සහ අනන්‍යතාවය පිළිබඳ විවාද නැවත මතු වී තිබේ. නැවතත් බෞද්ධ කණ්ඩායම් හින්දුන් මෙහි පාලක මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිති. මේ බෙදීම ආරම්භ කළේ අනගාරික ධර්මපාල විසිනි.
අද ඉන්දියාවේ හින්දු ජාතිකවාදය වඩා ප්‍රබලව තිබේ. එම නිසා බුද්ධගයාව බෞද්ධයන් වෙත ලබා ගැනීම ලේසි කටයුත්තක් නම් නොවේ. ඉන්දීය අගමැති අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී බුද්ධගයාව බෞද්ධයින්ට පවරන මෙන් මෙරට මහනාහිමිවරු අත්සන් කළ ලිපියක්ද භාරදුන් නමුත් එය බ්‍රාහ්මණ පාලකයින් හමස් පෙට්ටියට දමා ඇති බව සහතිකය. ඇත්තෙන්ම බුද්ධගයාවේ ඇත්තේ බ්‍රාහ්මණ – බෞද්ධ ගැටුමකි. එනිසා නැවතත් ධර්මපාලතුමා සිහිකර ඔහුට නිග්‍රහ කරති. එදා සැබවින්ම බ්‍රහ්මණ ආධිපත්‍යයට අභියෝග කළේ සිංහල ධර්මපාල පමණි. මහාබෝධි විහාරස්ථානයේ විරෝධතාව වෙනස් කතාවක් ගෙන යයි. එහි මුස්ලිම් ආක්‍රමණයක් නැත, නමුත් බ්‍රාහ්මණ පාලනය යටතේ ඇති පන්සලකි. ‘පුරාණ ඉන්දියාවේ විප්ලවය සහ ප්‍රති-විප්ලවය’ යන ලිපියේ බී. ආර්. අම්බෙඩ්කාර් සඳහන් කළේ ඉන්දියානු ඉතිහාසය බුද්ධාගම සහ බ්‍රාහ්මණවාදය අතර දෘෂ්ටිවාදාත්මක සටනක් ලෙස තේරුම් ගත යුතු බවයි. අම්බෙඩ්කාර්ට අනුව, බුද්ධාගම සමානාත්මතා දර්ශනයක් වූ අතර, බ්‍රාහ්මණවාදය ශ්‍රේණිගත අසමානතාවය මත ස්ථාපිත විය. විශේෂයෙන්, බුද්ධාගම විනාශ වූයේ ඉස්ලාමය නිසා නොව, බෞද්ධ භික්ෂූන්ට පහර දීම සඳහා හමුදාවක් යෙදවූ බව කියන බ්‍රාහ්මණ රජකු වන පුෂ්‍යමිත්‍ර සුංග නිසා බව අම්බෙඩ්කාර් කියයි.
මහාබෝධියේ නිදහස සඳහා වූ අරගලය කිසිවෙකුට බැහැර කළ නොහැකිය. 1949 බුද්ධගයා දේවාල පනත අවලංගු කරන ලෙස බෞද්ධ ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම සැබෑ ව්‍යවස්ථාමය ඉල්ලීමකි. 1892 දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් කරන ලද පුරාවිද්‍යාත්මක සමීක්ෂණයකින් තහවුරු වූයේ මහාබෝධිය එදා සිට බෞද්ධ ස්ථානයක් බවයි. හින්දු කෝවිල් කමිටුවල මෙහෙයුම් පාලනය කරන වෙනත් ආගම්වල පුද්ගලයින් සොයා ගැනීම දුෂ්කර ය. මහාබෝධිට වෙනසක් නොවිය යුතුය. බෞද්ධයන් සඳහා, මහාබෝධි විහාරය අනන්‍යතාව ශ්‍රද්ධාව සහ පූජනීයත්වය නියෝජනය කරයි. එය පාලනය කිරීමට බෞද්ධයන්ට අයිතියක් ඇත. එය කිසිවකුට බැහැර කළ නොහැකිය.
කවරක් නමුත් එදා සමහර පුවත්පත් ධර්මපාලතුමා හඳුන්වා ඇත්තේ ‘මුට්ටකාසිකාරයා’ යන නමිනි. ඔවුන් ධර්මපාලතුමාගේ ශාසනික ව්‍යාපාර හෑල්ලුවට ලක්කරමින් සිය පුවත්පත්වල ලිපි පළ කරන ලදි. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය අඩපණ කිරීම සඳහා මෙරට සිටි ඇතැම් අධිරාජ්‍යගැති ස්වදේශිකයන්ද රජයට තොරතුරු සැපයූ බව පෙනේ. 1907 ඔක්තෝබර් 21 වැනි දින සයිමන් ද සිල්වා මුදලි රජයට සැපයූ වාර්තාවකින් කියා සිටියේ ‘ධර්මපාල මහතාගේ මහාබෝධි සමාගම අන්තරාදායක එකක් බවත්, එය නිතරම ජාතික ආගමික වෛරය ඇවිස්සීමට ආශාවෙන් පසුවන බවත්ය. ‘ලක්මිණ’ පුවත්පතේ කර්තෘ ඒ. රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු ද ධර්මපාලතුමාගේ ව්‍යාපාරයට එරෙහි වූවෙකි. ඔහු යටත්විජිත භාර ලේකම්වරයාට ලියමින් කියා සිටියේ ‘ධර්මපාලගේ රාජ්‍ය විරෝධී ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාකළ යුතු බවය.’ හෙතෙම මෙසේද ලියා තිබේ. ‘සිංහල බෞද්ධ සේනාවක් සමග කොළඹට නුදුරු පෙදෙසක කිසියම් උදෑසනක ධර්මපාල මහතා සිටිනු දක්නට ලැබෙතොත් මම පුදුමයට පත් නොවෙන්නෙමි.’
චතුර පමුණුව