ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හිටපු ඇමැතිවරයකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා ඔස්සේ ලියැවෙන දෙවන දිගහැරුම ‘හෘද සාක්ෂිය’ දොරට වැඩුම ජුනි 25 වැනිදා (බදාදා) ප.ව. 4.15ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
එහි ඇතුළත් ඔහු පාර්ලිමේන්තුවේදී වරෙක කළ කතාවක ඡේද කිහිපයකි මේ.
බලෙන් අත්පත් කරගත් භූමි ප්‍රදේශ විවෘත සිර කඳවුරු බවට පත් කරගනිමින් ගොඩබිමෙන්, ගුවනින් මිසයිල ප්‍රහාර පවා එල්ල කරමින් කරන්නා වූ ඝාතන, දේපළ විනාශ කිරීම් මෙන්ම තුවාලකරුවන්ට වෛද්‍ය පහසුකම් ලබාදීමට ඇති මාර්ග පවා අහුරමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ම්ලේච්ඡ, අමානුෂික ක්‍රියාදාමයක්. අද අපි පලස්තීන භූමියේ මේ දකිමින් සිටින්නේ ලෝක ප්‍රජාව වෙනුවනේ ගෝලීය යුක්තිය global justi ඉටු කිරීමේ වගකීම් පැවරී ඇති ආයතනවලට විවෘතව අභියෝග කරමින් සිටින ආකාරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මානව හිමිකම් කොමිසමට, ජාත්‍යන්තර අධිකරණයට හුදු වාර්තා ඉදිරිපත් කිරීම් සහ ප්‍රකාශ නිකුත් කිරීම් හැර ගෝලීය යුක්තිය වෙනුවෙන්, මූලික මානව හිමිකම් වෙනුවනේ, ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් කිසිදු නීතිමය හෝ සදාචාරමය වගකීමක් ඉටු කරලීමට ඉඩ නොදෙන හැසිරීමක් තමයි අපි දිගටම දකිමින් සිටින්නේ.
පලස්තීනයේ සිදුවෙමින් පවතින බියකරු භීෂණය පිළිබඳව සිත් සසල කරන උදාහරණ ඕනෑ තරම් මට දිය හැකියි. මම කැමැතියි, උදාහරණ දෙකක් පමණක් මේ සභාවට ඉදිරිපත් කරන්න. මෑතදී සිදුවූ පලස්තීන, ක්‍රිස්තියානි ජාතික අභීත මාධ්‍යවේදිනියක් වූ ෂිරීන් අබු අක්ලේ ඝාතනය සහ ඒ සම්බන්ධයෙන් වන ස්වාධීන පරීක්ෂණවලට ඉඩ නොදෙමින් අනුගමනය කරන සදාචාර විරෝධී, නීතියට ඉහළින් යන හැසිරීම් ගැන හිතලා බලන්න. දෙවැනි උදාහරණය, ඊශ්‍රායල පුරවැසියන්ට වෛද්‍ය ප්‍රතිකාර කරමින් හිටපු පලස්තීන වෛද්‍යවරයාගේ දරුවන් සියලුදෙනා ඝාතනය වූ සුප්‍රසිද්ධ සිද්ධිය. ඒ වෛද්‍යවරයා වරක් ගාල්ලේ පැවැති සාහිත්‍ය උළෙලකට කැනඩාවේ සිට පැමිණ සිටියා. ඔහු ලියා තිබූ .’I Shall Not Hate’ හෙවත් ‘මම වෛර නොකරන්නෙමි’ යන පොත මට කියවන්න ලැබුණා. මැද පෙරදිග සම්භවයකින් යුක්ත ඒ වෛද්‍යවරයාගේ දියණියන් තිදෙනා මෙන්ම එම නිවසේ සිටි ඔහුගේ සොහොයුරියගේ දියණිය ද වරක් සති කිහිපයක් ිතිස්සේ ගාසාවට එල්ල වූ ආක්‍රමණවලදී ඝාතනය වුණා. තම දරුවන් ඝාතනය කළ අවස්ථාවේදී ඊශ්‍රායල ජාතික සිය මාධ්‍යවේදී මිතුරාට ඔහු ඇමතුමක් දී තිබෙනවා. ඊශ්‍රායලයේ රූපවාහානි සේවා මැදිරියක සජීවී සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටි එම මාධ්‍යවේදියා තම මිත්‍ර වෛද්‍යවරයාගේ දුරකථන ඇමතුම දැක, හැමවිටම ඉතා වැදගත් කරුණක් සම්බන්ධයෙන් පමණක් තමන් අමතක කෙනකු වන හෙයින් සාකච්ඡාව අතරතුරම දුරකථන ඇමතුමට පිළිතුරු දී තිබෙනවා. එවිට එම ඇමතුමෙන් ඔහුට ඇසී ඇත්තේ විලාප හඬක්. ‘අනේ ෂියෝමි, මගේ දරුවන් මරා දමලා. මගේ පවුල ඔවුන් මරා දැමුවා. අනේ දෙවියනේ, මගේ දූවරුන්’ සජීවී ලෙස වෛද්‍යවරයාගේ එම විලාප හඬ ඊශ්‍රායල ජනතාවට මෙන්ම ලොවට ද ඇහුණා. දුරකථනයෙන් විලාප හඬ ඇසෙද්දී එම මාධ්‍යවේදියා ‘මට සමාවෙන්න, තවදුරටත් මට මේ මැදිරියේ සිටිය නොහැකියි, මට ඉවතට යන්න අවසර දෙන්න’ කියමින් ඉවතට යන අයුරුත් රූපවාහිනියෙන් දර්ශනය වුණා. ඒ සිද්ධිය පිළිබඳව නිපදවා තිබුණු චිත්‍රපටයක විලාප නංවමින් ඝාතන සිදු වූ තැන් පෙන්වමින් ඔහු මාධ්‍ය වෙත කතා කරන ආකාරය දක්වා තිබුණා. ඔහුගේ වචනවලින්ම මම එය කියන්නම්. ‘මෙතැන සටන්කාමීන් සිටියේ නැහැ. ආයුධ තිබුණේ නැහැ. අපට සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ යුද්ධ අපේ ජීවිත නැති කරනවා. යුද්ධයකට පක්ෂ වෙන්න කාටද පුළුවන්? අද ගාසාවේ ආහාර නැහැ. බඩගින්න වැඩියි. රස්සා නැහැ. බෙහෙත් නැහැ. අධ්‍යාපනය ලබන්න බැහැ. නිදහස නැහැ. වචන වැඩක් නැහැ. දෙවියනේ, අපි මිනිස්සු! ඔවුන් මේ වැරැදි පිළිගන්නේ නැහැ. මට වේදනාව මේ නිසායි’ එලෙසයි ඔහු පවසා තිබුණේ.
ඊශ්‍රායලය සහ පලස්තීනය යන ස්වාධීන රාජ්‍යයන් දෙක යථාර්ථයක් බවට පත්කර ඒ රාජ්‍යයන්හි වෙසෙන යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් සියලුදෙනාට සමානව සාධාරණව. එකිනෙකා තේරුම් ගනිමින්, එකිනෙකාට ගරු කරමින් වෙනස්කම් දැක්වීම්වලින් තොරව ජීවත් වෙන හෙට දවසක් අවශ්‍යයි. ඒ යුක්තිය හා සාධාරණත්වයයි මේ යෝජනාව තුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද අවධාරණය කර සිටින්නේ.
එදා බටහිර බලගතු ටවල බලය පාවිච්චි කරමින් පලස්තීනයේ සැබෑ උරුමකරුවන්ගේ විරෝධතා නොතකමින් මේ ඊශ්‍රායල රාජ්‍ය නිර්මාණය කිරීමේදී ස්වාධීන රාජ්‍යයන් දෙකක් නිර්මාණය කිරීමේ පොරොන්දුව සහ සහතිකය දී තිබුණා. එහෙත් අද වනවිට ස්වාධීන පලස්තීන රාජ්‍යයට වෙන් කර ඇති භූමියෙන් අතිබහුතරයක් බලයෙන් අත්පත් කරගෙන සිටිනවා පමණක් නොව, ඉන් ද සෑහීමකට පත් නොවී එම ව්‍යාප්තවාදය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ සිතියම දිහා බැලුවොත් එය තේරුම් ගන්න පුළුවන් වේවි. ඊට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් අතිබහුතරයක් පැහැදිලි යෝජනා සම්මතයකින් තීන්දු – තීරණ ගෙන තිබියදීත් ඒවා ඉටු කරනු වස් පියවර ගැන්ම දිගටම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට නිගා දෙමින් තවමත් වළක්වාගෙන සිටින ආකාරය අපි දකිනවා.
මේවා ගැන කතා කරද්දී මගේ මතකයට නැඟෙන්නේ දකුණු අප්‍රිකාවයි. දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් ද මෙවැනිම වර්ණභේදය Apartheid – සහිත මර්දනකාරී යටත් විජිත පාලනයකට මුහුණ දුන්නා. එදා දකුණු අප්‍රිකාව සම්බන්ධයෙනුත් හිස් වචන මිසෙක ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළකට නොයමින් දිගටම ඒ හිට්ලර් පන්නයේ මර්දනයට සහ භූමියේ උරුමකරුවන්ගේ සම්පත් සූරා කෑමකට, වර්ගවාදී පාලනයකට ඉඩ දී බලවතුන් බලා සිටි අයුරු මට මතක් වෙනවා. අද පලස්තීනයේ අප දකින්නේත් මේ තත්ත්වයම නොවේද?

අද දවස නෙල්සන් මැන්ඩෙලාගේ ගුණ සමරු දිනයයි. අද මුළු ලෝකයම ඔහුගේ ශ්‍රේෂ්ඨ බව සමරනවා. එදා ඒ තත්ත්වයන්ට එරෙහිව නැඟී සිටි මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ට ලොව අවි ආයුධ නිපදවන සමාගම්වල සහ ලෝක ආර්ථිකය පාලනය කරන ප්‍රධාන ධනවත් බලවේගවල හිමිකාරත්වයට යටත් වී ඇති ලොව ප්‍රවෘත්ති බෙදාහරින ප්‍රවෘත්ති ඒකාධිකාරයන් මැන්ඩෙලාගේ නම මාධ්‍ය තුළ පාවිච්චි කරන හැමවිටකම ‘ත්‍රස්තවාදී’ කියන විශේෂණ පදය ඔහුගේ නමට ඉදිරියෙන් එදා පාවිච්චි කළා. නිදහස සඳහා ආක්‍රමණික හමුදාවලට එරෙහිව කරන නැඟිටීම නිදහස සඳහා වන අරගලයක් නොව ත්‍රස්තවාදයක් ලෙස ලොවට හුවා දක්වන්නටයි එමගින් එම ප්‍රවෘත්ති ඒකාධිකාරයන් උත්සාහ කළේ. එමගින් ලෝක ජනතාවගේ මොළ හෝදන්නයි ඔවුන් එදා උත්සාහ කළේ. මෙය මේ ආකාරයෙන්ම පලස්තීන විමුක්ති සටනේ ආරම්භක නායකයා වූ යසර් අර්ෆර් සම්බන්ධයෙන් ද සිදු කළා.
මැන්ඩෙලා වසර විසි ගණනක් අඳුරු සිර කූඩුවල හිර කර තිබුණා. දකුණු අප්‍රිකාව නිදහස ලබපු මොහොතේ නෙල්සන් මැන්ඩෙලා කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් සිහිපත් කරන්න මම කැමැතියි. මා එය උපුටා දක්වනවා. ‘වසර ගණනක පරාධීනත්වයෙන් පසු අද අපි නිදහස් රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. එහෙත් පලස්තීන භූමිය නිදහස් රාජ්‍යයක් බවට පත්වන තෙක් අප ලද නිදහස සම්පූර්ණ වන්නේ නැහැ’ මැන්ඩෙලාගේ ඒ අධිෂ්ඨානය සහ ඒ නිවැරදි දැක්ම ඇතිව අදත් දකුණු අප්‍රිකානු ජනතාවත් දකුණු අප්‍රිකානු රාජ්‍යයත් නිර්භීත ලෙසින් පලස්තීනය සම්බන්ධව ස්ථිර ප්‍රතිපත්තියක සිටිමින් කටයුතු කරන බව අපි දකිනවා. කුමන වාසි ප්‍රයෝජන, ආර්ථික ලාභ ලැබුණ ද තම විදේශ ප්‍රතිපත්තිය ගණිකා වෘත්තියක යොදවන්නට තමන් සූදානම් නොමැති බවට තවත් දකුණු අප්‍රිකානු නායකයකු කළ නිර්දය ප්‍රකාශය මගේ සිහියට නැඟෙනවා.
බලගතු සුපිරි රාජ්‍යයන් විසි කරන ආකර්ෂණීය වූ තාවකාලික ආර්ථික වාසි සහ ඊට සමගාමීව සිදුකරන දරුණු බලපෑම් මධ්‍යයේ මිනිස් සංහතියේ අභිමානය, මූලික මිනිස් අයිතිවාසිකම්, විශේෂයෙන් පුරවැසියන් ලෙස ගෞරවයෙන් ජීවත් වීමේ අයිතිය ආදිය බිලිදීමේ නිවට ප්‍රතිපත්තියකට නොයමින් ශ්‍රේෂ්ඨ මැන්ඩෙලා පෙන්වූ මඟපෙන්වීම තුළ නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා දකුණු අප්‍රිකාව අදත් නිර්භීතව නැඟී සිටින ආකාරය සාධාරණත්වය අගය කරන ලෝකයේ සියලු රටවලට ලබාදෙන්නේ මහඟු ආදර්ශයක් බව සඳහන් කරන්නට මම කැමැතියි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකාර්
(හෘද සාක්ෂිය ග්‍රන්ථයෙනි)